අතීත ලංකාව හෙල්ලූ පාතාලයෝ 7 දෙනෙක් – Saru News Media

0
3

පාතාලය කියන්නේ ලංකාවේ දේශපාලනයත් එක්ක අත්වැල් බැඳගෙන යන, කිසිදා නැසිය නොහැකි සමාජ පිළිලයක් හැටියටයි වැඩි දෙනෙක් සළකන්නේ. කාලෙන් කාලෙට එක එක නම් වලින් හඳුන්වන පාතාල ලෝක චරිත අපේ මාධ්‍ය හරහා ජනප්‍රිය වෙනවා. සමහරු පොරවල් වෙන්න, අතමිට සල්ලි හම්බුකරන්න හිතාගෙන පාතාල ලෝකයට ඇතුළත් වෙද්දි, තවත් සමහර අයව සමාජය විසින් පාතාලය දෙසට තල්ලු කරලා තියනවා කියල හිතෙන්නෙ ඒ අයගෙ අතීත කතා ගැන හොයලා බලද්දියි.

අපි මේ ලිපියෙන් හදන්නේ පාතාලේ අපරාධකරුවන්ව වීරයන් කරන්න නම් නෙමෙයි. කාලෙන් කාලෙට ලංකාවෙ පාතාලයේ නම රන්දපු, ඒ හින්දාම ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවුණ පාතාල ලොක්කෝ 7 දෙනෙක් ගැන ඔබේ මතකයට ගෙන එන්නයි.

 

දශක ගණනාවක් ලංකාවේ පාතාල ලෝකය මෙහෙයවූ නාවල නිහාල්ව සමහරු හඳුන්වන්නේ ලංකාවේ පාතාල ලෝකයේ හිටපු එකම ගෝඩ් ෆාදර් හැටියටයි. කොස්වත්තගේ දොන් ඩොනල්ඩ් නිහාල් වික්රමසිංහ තමයි නාවල නිහාල්ගේ සැබෑ නම. නිහාල් ඉගෙනුම ලබන්නේ කොළඹ පිහිටි ජනප්‍රියම පාසැලකයි. හැබැයි කුඩා අවධියේ පටන් ඉගෙනීමට වඩා දඩබ්බර වැඩ වලට නිහාල් ප්‍රසිද්ධව හිටියා කියලයි දැනගන්න ලැබෙන්නේ. නාවල නිහාල් අපරාධකරුවෙක් හැටියට මුලින්ම කරළියට එන්නේ 1960 ගණන් වල සිද්ධ වෙච්ච කොල්ලුපිටිය තැබෑරුම් මංකොල්ලය හරහායි. ක්‍රම ක්‍රමයෙන් එතැන් පටන් ලංකාවේ පාතාලේ නම රැන්දූ ගෝඩ් ෆාදර් හැටියට කිරුළ දැරීම දක්වා පාතාල ලෝකේ ඉහළටම නගින්නට නිහාල් සමත් වෙනවා. රටේ නමගිය පාතාල නායකයන් රැසකගේ ඉරණම තීන්දු කිරීම පිටුපස නිහාල්ගේ ශූර බුද්ධිය තිබුණ බවට තමයි කතා පැතිරිලා තියෙන්නේ. කොයි තරම් නමගිය පාතාලයෙක් වුණත් නාවල නිහාල් මත්ද්‍රව්‍ය වෙළඳාමට දැඩි ලෙස විරුද්ධව හිටියා කියලත් සමහරු කියනවා. 2006 අවුරුද්දේ මැයි මාසයේදී පැහැරගැනීමට ලක්වෙන නාවල නිහාල් අභිරහස් ලෙස අතුරුදන් වෙනවා.

 

ලංකාවේ අතීත පාතාලේ නාවල නිහාල් තරමටම ජනප්‍රිය වුණ චරිතයක් තමයි සොත්ති උපාලි කියන්නේ. අරඹවෙලගේ දොන් උපාලි රංජිත් තමයි ඔහුගේ නියම නම. පිහි පාරකට ලක්වීම නිසා උපාලිගේ අත විරූපි වී තිබුණ නිසා ඔහුට මේ නම පටබැඳුන වග තමයි පැවසෙන්නේ. මුල් කාලයේදී පිඩලි විකුණන ව්‍යාපාරයක නිරත වූ උපාලිට රජයේ විවිධ කොන්ත්‍රාත් ලැබීම හරහා ඉහළ පෙළේ දේශපාලකයන් හා ඇසුරු කරන්නට ලැබෙනවා. උපාලි පාතාල ලෝකයේ කෙරුමෙක් වීමේ ගමන ඇරඹෙන්නේ මේ දැන හැඳුනුම්කම් හරහායි. රජයේ ඉහළ පෙළේ ලොක්කන්ගේ දේශපාලන කොන්ත්‍රාත්තු ඉටු කරමින් ක්‍රම ක්‍රමයෙන් ප්‍රබල පාතාල නායකයෙක් බවට පත්වෙන උපාලි එකල පොලිසියෙන් පවා ගරු බුහුමන් ලබන තත්ත්වයක පසුවූවා කියලයි තොරතුරු දැනගන්නට ලැබෙන්නේ. ලංකාවේ පසු කාලීනව බිහිවුණ ප්‍රබල පාතාල නායකයින් දෙදෙනෙක් වන අමරසිංහ සොයුරන්ව පාතාලයට ඇද දැමීමට හේතු වුණෙත් උපාලිය කියලා සමහරු කියනවා.

දේශපාලකයන් නිසාම හයිකාරයෙක් වුණ උපාලිට, දේශපාලන පෙරළි නිසාම තටු සිඳගන්න සිද්ධ වෙනවා. 94 සිදුවූ දේශපාලන පෙරළිය සමග ඔහුගේ බලය පිරිහෙනවා. එයින් පසුව ඔහුට උදාවන්නේ නොයෙකුත් පැරණි අපරාධ වල නඩු හබ වලට පැටලෙමින් ගත කරන්න වෙන කටුක කාලයක්. 1998 දෙසැම්බර් මාසෙදි තමන්ට පෙනී හිටින්නට වුණු නඩු විභාගයක් අවසන් කර පැමිණ බස් රියෙන් බසින උපාලි වෙඩි වරුසාවකට ලක්ව මරුමුවට පත්වෙනවා.

 

Sri lankan Underworld

1960 ගණන් වලදී නාවල නිහාල් කොල්ලුපිටියේ මංකොල්ලය සිද්ධ කරන්නේ තනියෙන් නෙමෙයි. ඒ වෙද්දි හිටපු නමගිය පාතාලයෙක් වන නොයෙල් අමරසිංහ එක්ක තමයි නිහාල් ඒ අපරාධය කරන්නෙ. නොයෙල් අමරසිංහ කියන්නේ චින්තක අමරසිංහගේ මාමා කෙනෙක්. සොත්ති උපාලි විසින් මේ මාමාව සහ චින්තකගේ පියා ඇතුළු පවුලේ අයව ඝාතනය කිරීම චින්තකගේ පාතාල ආගමනයට හේතු වුණා කියලා තමයි අහන්නට ලැබෙන්නේ. ඉගෙනීමට දස්කම් දැක්වූ, දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වූ චින්තක අමරසිංහ පොතත් පිත්තත් පසෙක ලා තමන්ගේ ඥාතීන්ව මරා දැමූ අයගෙන් පළිගැනීම අරඹනවා. ඒ පළිගැනීම නතර වෙන්නේ අවසානයේදී ඔහුව ලංකාවේ පාතාල නායකයා බවට පත් කරමින් සහ තවත් අමතර අපරාධ රැසක් ඔහු අතින් සිදු කරමිනුයි. සොත්ති උපාලිව ඝාතනය කිරීමේ පරම අභිලාෂයෙන් පසුවූවායැයි කියන චින්තකට ඔහුගේ අරමුණ ඉටු කරගන්න නම් ලැබෙන්නේ නැහැ. 1996 අවුරුද්දේදී, කලක් ඔහුගේම පාතාල මිත්‍රයෙක්ව සිටි අයෙක් අතින් වෙඩි පහරවලට ලක්ව ඔහු මරුමුවට පත්වෙනවා.

 

පළිගැනීමේ චේතනාවෙන් චින්තක අමරසිංහ පාතාල ජීවිතය තෝරාගනිද්දී එයින් වෙනස් මගක් ගන්නට ඔහුගේ සොහොයුරු ධම්මික අමරසිංහටත් ඉඩක් ලැබෙන්නේ නැහැ. ඔහුත් නොයෙකුත් අපරාධ වලට සම්මාදම් වෙමින් පාතාලයේ නම සනිටුහන් කරනවා. චින්තක අමරසිංහව මරා දමන අවස්ථාවේදී ධම්මික අමරසිංහ දිවි ගලවාගත්තේ ඉතාම අසීරුවෙන් බවයි දැනගන්නට ලැබෙන්නේ. සොයුරාගෙන් ගිළිහුණ පාතාල කිරුළ තමන් අතට ගන්නා ධම්මික සොයුරාගේ මරණයට හේතු වූ අයගෙන් පළිගැනීම අරඹනවා. ධම්මිකව සමහරු හඳුන්වන්නේ ලංකාවේ හිටි දරුණුතම පාතාල නායකයා හැටියටයි. කලක් ලංකාවේ අපරාධ ලෝකයේ නම රැන්දූ චරිතයක් වූ බැද්දගානේ සංජීවගේ මරණයටත් චෝදනා එල්ල වන්නේ ධම්මික අමරසිංහටයි. සොත්ති උපාලිගේ මරණය පිටුපසත් ධම්මික අමරසිංහගේ හස්තය තිබූ බවට විශ්වාස කෙරෙනවා. ධම්මික අමරසිංහගේ අපරාධ ජීවිතයට නැවතුම් තිත තැබෙන්නේ 2004 වර්ෂයේදීයි. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළදී වෙඩි පහරට ලක්වීමෙන් ඔහු අවසන් ගමන් යනවා.

 

90 ගණන් වල ලංකාවේ පාතාලයේ නමගිය චරිතයක් තමයි බැද්දගාන සංජීව. මුල් කාලයේදී ෆිනෑන්ස් කොම්පැණියක වාහන සීස් කරන සීසර් රැකියාවක තමයි සංජීව නිරත වුණාය කියන්නේ. සංජීවට පාතාලේ කෙරුමෙක් වෙන්න මග පෑදෙන්නෙත් සොත්ති උපාලිට වගේ දේශපාලන හයිය නිසාවෙන් තමයි. ප්‍රබල දේශපාලනඥයින්ගේ ආරක්ෂක නිලධාරියා හැටියට වැඩ කරන්න ලැබෙන සංජීව ඒ නිළ තල අතින් වගේම පාතාල වැඩ අතිනුත් දිනෙන් දින ඉහළටම යන්න සමත් වෙනවා. සාමාන්‍ය පුද්ගලයෙක් හැටියට ජීවත් වෙමින් ඉඳලා ඉතාම ඉක්මනට අධි සුඛෝපබෝගී ජීවිතයක් ගතකරන්නෙක් දක්වා ඔහු වෙනස් වෙනවා. 90 ගණන් වල සිද්ධ වුණු දේශපාලන කොන්ත්‍රාත්තු රැසක් පිටුපස සංජීවගේ නම සටහන් වෙනවා. රූකාන්ත සහ චන්ද්‍රලේඛාට පහරදීම, සටන පුවත්පතේ කර්තෘ රෝහණ කුමාර ඝාතනය, අනෝජා වීරසිංහ මහත්මියගේ නිවස ගිනි තැබීම ඒ අතරින් කිහිපයක්. බැද්දගාන සංජීව කියන්නේ ඇමතිවරයෙකුටත් වඩා ප්‍රබල අයෙක්ය කියලා පාර්ලිමේන්තුවෙදිත් ඒ කාලෙ චෝදනා නැගෙනවා. දේශපාලන හයියෙන් පාතාලේ හොල්ලන් හිටපු සංජීව 2001 අවුරුද්දේදි ඝාතනයට ලක්වෙනවා. අපි කළින් සඳහන් කරපු ධම්මික අමරසිංහ මේ මිනීමැරුම පිටුපස ඉන්නවා කියලා තමයි සැකය යොමුවුණේ.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here