මිනිත්තු හතරක කෙටි චිත්‍රපටයක් වුණත් එහි රඟපෑ චරිත පාවිච්චි කළේ නවීන පන්නයේ ජංගම දුරකතන වැනි මෙවලම්. ඔවුන් පැදවුයේ කුඩා ප්‍රමාණයේ රූපවාහිනී යන්ත්‍ර සවි කළ කාර්, නැරඹුවේ ඇස් ඉදිරියේ රූප මවන හෙලෝග්‍රෑම් ආදියයි. අද ඒ උපකරණ අමුතු දේවල් වුනත් මේ අපූරු චිත්‍රපටය තැනූ 1947 දී එවැනි දෙයක් ගැන ලෝකයා අහලාවත් තිබුණේ නැහැ.
ටෙලිවිශනය අනාගතයේ ඇස යන අරුත් ඇති ‘ටෙලිවිශන් ඔයි ඩි ඩිමේන්’ (Télévision: Oeil de Demain) නම් වූ ඒ චිත්‍රපටයේ අද අප අතර භාවිත වන නවීන මෙවලම් යෙදා ගෙන තිබුණා පමණක් නොව ඒවා නිසා අප අද ලබන අත්දැකීම් පවා රූගත කර තිබුණා. ටෙලිවිශනය නිපදවා තිබුණත් කාර් සඳහා ටෙලිවිශන් තනා තිබුණේ නැහැ.
අද අප අතර ඇති ස්මාර්ට් ජංගම දුරකථනයට සමාන එකක් අතින් ගෙන ඒ දෙස බලමින් ඇවිදගෙන ගොස් වෙනත් අයගේ ඇඟෙහි හැපෙන අයුරුත්, එවැනි මෙවලමක් බලමින් ගොස් රිය අනතුරු වන හැටිත් එහි දැක්වෙනවා.
කළු සුදු චිත්‍රපටයක් වන එය දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසුව තිරගත කරනු ලැබූවක්. රෙනේ බාජ්වාල්ගේ රචනයක් ඇසුරෙන් මේ අපූරු චිත්‍රපටය, ජේ.කේ. රේමන්ඩ් මිලේගේ නිෂ්පාදනයක්.
බාජ්වාල්ගේ රචනය මගින් ස්මාර්ට් ෆෝනය ගැන කෙළින් ම පැහැදිලිව සඳහන් කර නොතිබුණත් එය අපේ චර්යාවන්ට බලපාන ආකාරය හොඳින් විස්තර කර තිබුණා.
වසර 73කට පෙර ප්‍රදර්ශනය කළ මේ කෙටි චිත්‍රපටය මගින් උයනක තැන තැන හිඳි මිනිසුන් ‘ස්මාර්ට් ෆෝන්’ වැනි මෙවලමක් දෙස ඇස් දල්වා ගෙන බලා සිටින අයුරු දැක ගත හැකියි.
මේ අතේ ගෙන යාහැකි මෙවලම පුවත් සැපයීම අතින් පුවත්පත්වලට වඩා ඉදිරියෙන් සිටින බව ඒ චිත්‍රපටයෙන් කියැවුණා.
ඊළඟට කැමරාව ජනාකීර්ණ පෙදෙසක කුඩා අවන්හලකට යොමු වෙනවා. එහි ඒ යුගයට ගැළපෙන ඇඳුමකින් හා හිස් වැස්මකින් සැරසුණු කතක් තනිවම මේසයක් අසල වාඩි වී සිටිනවා. ඇය තනිකම මකා ගෙන කාලය ගත කරන්නට අත් බෑගයෙන් උපකරණයක් අතට ගෙන ඊට දෑස් යොමු කරනවා.
තවත් අයෙක් මෝටර් රථයේ ඉදිරිපස සුක්කානම අසල සවි කර ඇති කුඩා තිරයක් දෙස බලන්න යාමෙන් වාහනය මං තීරුවෙන් පිට පැන වාහන තදබදයක් ඇති වෙනවා. ඒ වගේ ම තවත් රියැදුරෙක් වරින් වර තිරයේ සිදුවන දෑ බලමින් යද්දී වංගුවක දී රථය පාරෙන් පිට ගසක හැපෙනවා.
චිත්‍රපටය අවසානයේ දී නරඹන්නන් කැඳවා ගෙන යනවා යුවළක් නිදා සිටින කාමරයකට. එහි කාන්තාව නිදා සිටන අතර පිරිමියා නින්ද නොයාමෙන් පීඩාවට පත් වූ බව පෙනෙනවා. ඔහු හදිසියේ ම ‘හොලෝග්‍රෑමයක’ මගින් නටන නිළියක් ඇඳ පාමුලට කැඳවනවා. ඔහු නින්ද එනතුරු එය නරඹනවා.
Saru Fm Media