ඇමරිකාවේ දේශපාලන විද්‍යාව පිළිබඳව හැදෑරු විද්වතුන් සහ ඉතිහාසඥයන් විසින් විටින් විට තමන්ගේ රටේ නරකම ජනාධිපතිවරයාගේ ඉඳන් හොඳම ජනාධිපතිවරයා දක්වා පෙළගැස්වීම සිදු කරනවා. ඒ සඳහා ඔවුන්ගේ පාලන කාලය තුළ මුහුණදෙන්නට සිදුවුණු අභියෝග මෙන්ම එම පාලන කාල නිසා අනාගතයේ දී ඇති වූ අභියෝග පිළිබඳවත් සැලකිල්ලට ලක් කෙරෙනවා. අපි අද මේ ලැයිස්තුවෙන් කියන්නේ නරකම ඇමරිකානු ජනාධිපතිවරු හත්දෙනා ගැනයි.
ඇමරිකා එක්සත් ජනපදයේ පහළොස්වැනි ජනාධිපතිවරයා වූ ජේම්ස් බියුකැනන් සැලකෙන්නේ එතෙක් මෙතක් එරට ඉතිහාසය තුළ බිහි වූ අසාර්ථකම ජනාධිපතිවරයා විදිහටයි. ඒ සඳහා ප්‍රධානම හේතුව වන්නේ ඇමරිකාවේ වහල් මෙහෙය තහනම් කිරීමට විරුද්ධව ඔහු විසින් කටයුතු කිරීමත් එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ පාලන කාලයෙන් අනතුරුව ඇමරිකානු සිවිල් යුද්ධය ඇතිවීමයි. මේ නිසාම ඇතැම් අය මෙම සිවිල් යුද්ධය “බියුකැනන්ගේ යුද්ධය” ලෙස හැඳින්වීමට පෙළඹී තිබුණා. කෙසේ වෙතත් බියුකැනන් විසින් එසේ ඇතිකොට ගිය ප්‍රශ්නය මනා ලෙස කළමනාකරණය කරගත් එබ්‍රහම් ලින්කන්, ඇමෙරිකා එක්සත් ජනපදයෙන් බිහිවූ හොඳම ජනාධිපතිවරයෙක් පමණක් නොව ලෝක ඉතිහාසයේ යුග පුරුෂයෙක් බවටත් පත්වුණා.
ඒබ්‍රහම් ලින්කන්ගේ ඝාතනයත් සමඟ ඔහුගේ උප ජනාධිපතිවරයාව සිටි ඇන්ඩෘ ජොන්සන් දහහත්වෙනි ජනාධිපතිවරයා බවට පත් වුණා. දකුණු දිග ප්‍රාන්ත ඇමරිකා එක්සත් ජනපදයෙන් වෙන්වීමට උත්සාහ කරද්දී එම ප්‍රාන්තය නියෝජනය කළ සෙනට් සභිකයකු වූ ජොන්සන් ඇමරිකා එක්සත් ජනපදයේ මූලික අභිලාෂය වෙනුවෙන් පෙනී සිටියා. කෙසේ වෙතත් යළිත් මෙම ප්‍රාන්ත සමග සමගි සන්ධානයකට එළඹීමේදී වහල් සේවය අහෝසි කිරීම වෙනුවෙන් ඔහු එතරම් ප්‍රමුඛතාවයක් ලබා දුන්නේ නැහැ. මෙම නිසා දිගින් දිගටම කොංග්‍රසය සමග ගැටුම් ඇති වුණු අතර අවසානයේ දී ඔහු වෙත දෝෂාභියෝගයක් එල්ල වුණා. නමුත් එක ඡන්දයකින් එම දෝෂාභියෝගය ජය ගැනීමට ජොන්සන් සමත්වුණා.
ඇමෙරිකානු සිවිල් යුද්ධය ඇතිවීමට තවත් වගකිවයුතු ජනාධිපතිවරයෙකු ලෙස සැලකෙන්නේ එරට දාහතරවන ජනාධිපතිවරයා වූ ෆ්‍රෑන්ක්ලීන් පියර්සුයි. ආරම්භයේ දී අතිශයින් ජනප්‍රිය ජනාධිපතිවරයෙකු වූ ඔහුගේ කඩාවැටීමේ ආරම්භය ලෙස සැලකෙන්නේ ස්පාඤ්ඤයෙන් කියුබාව අත්පත් කර ගැනීමට උත්සාහ කිරීම නිසායි. එසේම වහල් මෙහෙයට විරුද්ධ වූ උතුරුදිග ප්‍රාන්තවල දැඩි උදහසටත්, වහල් මෙහෙයට පක්ෂ වූ දකුණුදිග ප්‍රන්තවල ගෞරවයටත් ඔහු පාත්‍ර වූයේ කැන්සාස්, නෙබ්‍රස්කා ප්‍රාන්තවල වහල් මෙහෙය දිගටම පවත්වාගෙන යෑමට ලබාදුන් දායකත්වය නිසයි. මේ හරහා එම ප්‍රාන්තවල ජීවත් වූ රතු ඉන්දියානුවන්ට තිබූ බොහෝ අයිතිවාසිකම් නැතිව ගියා.
ඇමරිකා එක්සත් ජනපදයේ විසිනම වැනි ජනාධිපතිවරයා ලෙස හාඩින්ග් හට සේවය කිරීමට ලැබුණේ වසර දෙකක් පමණයි. හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මිය ගිය අතර මෙම පුවත මුළු මහත් ජාතියම මහත් කම්පනයකට ලක් කිරීමට සමත් වුණා. සැන් ෆ්‍රැන්සිස්කෝවේ සිට වොෂින්ටනය දක්වා ඔහුගේ දේහය විශේෂ දුම්රියක් මගින් ගෙන ගිය අතර මිලියන නමයකට අධික ජනකායක් ඔහුට සිය ගෞරවාදරය දැක්වුවා. එතෙක් සිටි ජනාධිපතිවරු අතරින් ජනතාව වැඩියෙන්ම ආදරය කළ ජනාධිපතිවරයා ලෙස හාඩින්ග්ව සැලකුණා. නමුත් ඔහුගේ මරණයෙන් පසුව ඔහුගේ අනුදැනුම යටතේ සිදූවූ මූල්‍ය වංචා සහ විවිධ දූෂණ පිළිබඳව හෙළිදරව් වුණා. මේ නිසා ජීවත්ව සිටියදී අතිශයින් ගෞරවාදරයට ලක් වූ මෙම ජනාධිපතිවරයා මරණයෙන් පසුව ඇමරිකානුවන්ගේ කෝපයට ලක් වුණා.
Saru Fm Media