අපිට හිටපු ටීචර්ලා ටයිප් 7ක් – Teacher Types – Saru News Media

0
15

හරි ඉතිං මේ ගෙනියන්න යන්නෙ අතීතෙට. අපේ ඉස්කෝලවල අපිට දිරවගන්න අමාරුම ගුරුවරු වුනේ සර්ලනෙ. ඇයි ඉතිං එයාලා අපි හැරෙද්දි අපේ වැරදි දන්නවනෙ. හැබැයි ටීචර්ලව අන්දවගන්න පුළුවන් වුණු නිසා අපි ටීචර්ලාට එච්චර බයක් පෙන්නුවෙ නෑ. මේ කියන්න යන්නෙ අපිට පන්ති කාමරයෙදි හම්බුණු ටීචර්ලා වර්ග කිහිපයක් ගැන. මේ කට්ටියට ඔයාලා දාලා තිබුණු නම් මොනවද කියලත් අපිට කියන්න. හැබැයි ගතිගුණ නම් අපේ වගේම වෙන්නැති.

 

මෙයා කෙලින්ම පොලිස් පොල්ල දාගෙනම තමයි ඉන්නෙ. වාර විභාගෙට පන්තියෙ ඔක්කොම උන් අනූවට වැඩියෙන් අරගෙන තිබ්බත් එයාට කේන්තියි. කොටිම්ම සාමය වෙනුවෙන් පිදෙන නොබෙල් තෑග්ග අරන් ආවත් තක්කඩියා කියල බණින සීන් එකක් තමයි මෙයාගෙ තියෙන්නෙ. අන්න ඒ නිසා මෙයා වගේ ටීචර්ලව මගහැරලා ඉන්න එක හොඳයි.

 

මෙයා ඉතිං හරි හුරතලේ. කේන්ති ගියාම සැරයි. හැබැයි හරි හුරතල්. චූටියි. කටහඬත් මී පැටියෙක්ගෙ වගෙයි. හැබැයි එයා චූටි වුනාට දඩාර කොල්ලොන්ටවත් බය නෑ. කට්ටියව දැක්කම හොඳට කතා කරනවා. හැබැයි වැඩ කරද්දි වැඩ විතරයි. කතා කරද්දි හුරතල් වුනාට පාඩමේදි හුරතල් නෑ. කෙලින් වැඩ නිසා කොල්ලො මෙයාගෙ පාඩමේදි කැපවීමෙන් වැඩ කරනවා.

 

මෙයා ඉතිං බණවලටම තමයි ගැලපෙන්නෙ. කට ඇරියොත් ජීවන උපදෙස් විතරයි. වැරැද්දක් කරල අහුවුනොත් විනාසයි. ප්‍රින්සිපල්ට අහුවෙන එක හොඳයි කියලත් වෙලාවකට හිතෙනව. ඇයි ඉතිං පැය ගනං බැබිලෝනියාවෙ එළ හරක් ගාල් කරලා ඉද්දි උන්ට ගලකින් ගහපු කොල්ලට ආත්ම තුනකට පස්සෙ ඒ පව පඩිසන් දීපු හැටි කියලා තමයි කතාව පටන් ගන්නෙ. උදේ පීරියඩ් එහෙක වැරද්දක් කරලා අහුවුනොත් ඉන්ටවල් එකට ගෙනාපු බත් එක කන්න වෙන්නෙ හත්වෙනි පීරියඩ් එකේදි.

 

මෙහෙම අය ගොඩක් වැඩියි. සාම්ප්‍රදායික ගුරුවරු. පාඩම හොඳට ඉගැන්නුවට මොකද හැමදාම හැම පන්තියටම කියන කතා ටිකක් තමයි මෙයා සතුව තියෙන්නෙ. මේක තමයි මට අහුවෙච්ච ජරාම පන්තිය. අපි ඒ කාලෙ මෙහෙමයි ඉගෙනගත්තෙ. කලින් අවුරුදු වලින් මගෙන් ඉගෙන ගත්තු ළමයි හොඳට විභාගෙ පාස් වුණා. ඒත් මට උඹලා ගැන කිසිම විශ්වාසයක් නැහැ.

 

ඔන්න ඉතිං කොල්ලො වැඩිම වෙලාවක් පච හල හල ඉන්න කැමති ටීචර්. කවදාවත් බනින්නෙ නෑ. හුරතලේ හොඳ එක. ගෙදර වැඩ කරේ නැත්තං… අනේ අනේ හෙට කරන් එනවකො එහෙනං, සින්දු කිවුවොත්… අම්මො ප්‍රින්සිපල්ට ඇහුනොත් මටත් බැනුං, ගහගත්තොත්… හා හා දැන් ගිහින් ටැප් එකෙන් මූණ හෝදගෙන එන්න. වගේ කතා තමයි මෙයා කියන්නෙ. කොල්ලො විහිළු කරොත් ඉක්මණට හිත රිදෙනවා. කොල්ලො කතාවට අල්ල ගත්තොත් දවසම වුණත් කතා කිය කිය ඉඳීවි.

 

මෙන්න මේ විදියෙ ටිචර්ලා අවුරුදු ගානක් බාලක පාසල්වල සේවය කරලා මදිවට ගෙදරත් කර දඬු උස් මහත් වෙච්ච කොල්ලො දෙතුන් දෙනෙක් ඉන්න අම්මලා. ඉතිං හැරෙද්දි දන්නවා. සර්ලා වගේම තමයි. කොහෙද ගියේ? කෝ බලනව සාක්කු? මොකද මේ බැජ් එක නැත්තෙ? අර එහා කොණේ ළමයි මොනවද පිටිපස්සට මාරු කරපු පාර්සලේ? මෙහෙ ගන්නවා බලන්න.

 

අපි ඉතිං උන්නද මලාද නොදන්න, නමත් මතක නැති ටීචර්ලා තමයි මේ. ආවා, ආයුබොවන් කිවුව, පාඩම ඉගැන්නුවා, ගියා. ආයෙ ඉතිං හිනා කඳුලක් නෑ මූනෙ. ගෙදර වැඩ බැලුවා. ගහනවනං ගැහුවා. ආයුබොවන් කිවුව. ගියා. ආයෙ ඉතිං කතා ඇත්තෙම නෑ තමයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here