අපේ ජීවිතේ සුවඳ කරන කාන්තා චරිත 7ක් – Saru News Media

0
5

ඉපදුන මොහොතේ පටන් මියය​න මොහොත දක්වා ගෙවායන මේ දිවි ගමනේදී අපට බොහෝ අවස්ථාවල තවෙකෙකුගේ සරණක්, සහායක් ජීවිතේට උවමනා කරනවා. කුඩා කාලේදී මවගෙන් පෝෂණය වී, ඇය​ගේ සුළැඟිල්ලේ දැවටී සෙනෙහසේ පළමු පියවර තබ​න අපිට තරුණ අවධියේදී පෙම්වතිය, බිරිඳ නමින් අපේ ජීවිතයට ගොඩ වදින කාන්තාවගේ ආදරය, බැඳීම අවශ්‍ය වෙනවා. අපේ ජීවිත ගම​නේ හැඩය තීරණය කරන්නට, අපේ ජීවිතය හැඩ කරන්නට, සුවඳවත් කරන්නට මේ ගැහැණිය, එහෙමත් නැත්නම් කාන්තාවගේ දායකත්වය කොයි තරම්ද?.

ඉතින් මේ කාන්තා දිනයේදී අපි ඔබට කියන්නේ අපේ ජීවිත සුවඳ කරන්නට අපිට ජීවිත කාලය තුළදී හමුව​න එවන් වූ කාන්තා චරිත 7ක් ගැනයි.

 

අප හැමකෙනෙක්ගේම පාහේ ජීවිතයේ පළමු ආදරය වෙන්නේ අම්මා කියන චරිතයයි. බොහෝවිට අපි ජීවිතයේ මුමුණන මුල්ම වදන වෙන්නේත් “අම්මා” යන්නයි. ජීවිතයේ ගැඹුරුම වේදනාවකදී අපට මිමිණෙන්නේත් ඒ නමයි. අපේ ජීවිතේ මුල්ම මතකයන් සනිටුහන් වෙන්නේ ඇගේ කිරි සුවඳත් සමග මුසුවීගෙනයි. ජීවිතයේ මුල් කඩයිම් බොහොමයක් අපි පසු කරන්නේ සෙවනැල්ල සේ ඇය අපි අසලින් සිටින අතරතුරයි. ඇගේ අතේ එල්ලී නැගී සිට, ඇගේ සහායෙන් ඇවිද යන අපි යම් කාලයකදී ඇගේ අත අතැර ජීවිතේ මහා ඉහළ තළ වලට නැග්ගත්, කවදත් ඇයට අපි ඇගේ කුඩා දරුවාම පමණයි. අපගේ ජීවිතයේ අපට හමුවන මුල්ම කාන්තාව මෙන්​ම, සමහර වි​ට ජීවිතය අවසානය තෙක් නොවෙනස්වම අපට ආදරය කරන කාන්තාවද ඇයයි.

 

මවගේ ඇකයෙන් මොහොතකට මිදෙන ඇසිල්ලක දෙවැනි මවක් මෙන්, ඒ තරම්ම උණුහුමින් සහ ආරක්ෂාවෙන් අපිට සෙවන දෙන අනිත් කාන්තා චරිතය. ආදරණීය අත්තම්මායි. දරුවෙක්ගේ උපතක් සමගින් අත්තම්මා කෙනෙකුත් නැවත උපදිනවා සේ​ය. තමන්ගේ පරිණත බුද්ධිය පසෙකලා, ඇය අම්මාටත් වඩා පහසුවෙන් කුඩා දැරියක් බවට පත්වන්නීය. අපේ මිතුරියක් බවට පත් වන්නීය. ජීවිතය කුඩා අවධි​යේ මතක සුන්ද​ර වන්නට ඇගේ රස කතන්දරත්, අපේ දිව පිනවන්න​ට සෙනෙහසින් ඈ පිළියෙ​ළ කරන ලද රසම​සවුළුත් තරම් දායක වූ තව දේවල් තිබේ නම් ඒ අල්පයකි.

 

මවගේ සහ පවුලේ ආදරය කොතරම් වුවත්, යෞවනයට එළඹෙන කල්හී තරුණ සිත් වෙලාගන්නට ආදරයේ තවත් පැති කඩක් සමත් වෙයි. එනම් තමන්ගේ ලෙයින් නොසෑදුනත්, තමන්ගේ ජීවිතයට සමීප යැයි දැනෙන වෙනත් ප්‍රාණියෙක්ගේ ආදරයකට දැනෙන ලෝභ බවයි. සෑම ආදර කථාවක්ම මල් ඵල නොගත්තත් ජීවිතයේ යම් කාලයක අපේ අත, අත නොහැර ජීවන ගමන එක්ව ගෙවන්නට ගොඩ වදින තැනැත්තිය වන්නේ ආදරණීය බිරිඳයි. හය හතර නොදත් ළමා කාලයේ මෙන් නොව ඇය සමග ගෙවා යන්නට වන ගමන දෙදෙනාගේම අවබෝධයෙන් සහ ශක්තියෙන් තරණය කළ යුතු බැරෑරුම් ගමනකි. ඒ මගෙහි කොතරම් අවහිර, බාධක, කටු අකුළු තිබුණත්, ඒවා දරාගන්නට අපිට සුවඳ සහ ශක්තිය ලබා දෙන තැනැත්තිය බිරිඳයි. තරුණ අවධියේ සිට ජීවිතයේ මහළු අවධිය දක්වා ගමන් කරන්නට ඇගේ ආදරය සහ විශ්වාස​ය තරම් වෙන සවියක් කොයින්ද?

 

විටෙක දෙවැනි මවක් සේ ආදරයෙන්​ද, තවත් විටෙක ගුරුවරියක් සේ ආදර්ශයෙන්ද, විටෙක සැර පරුෂ තද ගතියෙන්ද අපේ ජීවිත හැඩ කරන්නට, සුවඳවත් කරන්න​ට දායක වෙන චරිතයක් වන්නේ අක්කායි. සමහර විට අප උපදින්​නේ එතෙක් ඈ තනිවම විඳිමින් සිටි පවු​ලේ හැමගේ ආදරයෙන් විශාල කොටසක් අප වෙතත් උ​දුරාගෙනයි. නමුත් ඈ ඉන් සැලෙන්නේ අඩුවෙනි. ඒ වෙනුවට ඇයට වෙනත් කාර්යයක් පැවරෙයි. ඒ අසීමිතව අපට ආදරය කරන්නටයි. බොහෝවිට ජීවිතයේ අපේ පළමු මිතුරිය වී ජීවිතය පුරාව​ට සුවඳ සලන්නේ ඇයයි. 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here