අලිගැටපේරවලින් කරන බියුටි සත්කාර ⋆ ධරණී

0
18

මෙක්සිකෝවේ ටැන්සිටරෝව කියලා නගරයක් තියනවා. හැබැයි මේ නගරයට එහෙම ලේසියට කාටවත් ඇතුළු වෙන්න බෑ. ඒකට විශේෂ අවසරයක් ඕනෑ. මොකද නගරයට ඇතුළුවෙන තැන ඉඳල දිගටම තියෙන්නේ මුරකපොලු. ඒ හැම මුර කපොල්ලකම සුර අසුර යුද්ධෙට යන්න වගේ අවිආයුධ අමෝරාගත්තු පිරිසක් ඉන්නවා. හැබැයි මේගොල්ලො ඇත්තටම ඒ විදියට අවි අමෝරාගෙන ඉන්නේ යුද්ධ කරන්න නෙවෙයි. සංවිධානාත්මක අපරාධ කල්ලිවලින් ඒ අයගේ ‘අලිගැටපේර’ ටික ආරක්ෂා කරගන්න. 

මොකද දැනට ලෝකයේ සමස්ත අලිගැටපේර අවශ්‍යතාවයෙන් 45%ක්ම සම්පූර්ණ කරන්නේ මෙක්සිකෝව. ඉතින් මෙක්සිකෝවේ ගජරාමෙට සිද්ධ වෙන මේ අලිගැටපේර බිස්නස් එක ලාභදායී එකක් නිසා සංවිධානාත්මක අපරාධකරුවන් පවා මේ ඉසව්වට නිතරම ඇහැ ගහගෙනයි ඉන්නේ. අර කලින් කියපු පිරිස ආයුධ සන්නද්ධව ඉන්නේ අන්න ඒ අපරාධකරයින්ගෙන් අලිගැටපේර ටික බේරගන්න. 

කොහොම නමුත් ඒ රටේ උදවියගේ ප්‍රධාන අදායම් මාර්ගයක් වෙච්ච අලිගැටපේරවලට ඒ උදවිය කියන්නේ කොළ රත්‍රං කියලයි. අලිගැටපේර සල්ලි කරන්න පුළුවන් නිසා ඒ ඇත්තෝ එහෙම කිව්වට මොකද ලස්සන වෙන්න කැමති අයටත් අලිගැටපේර කියන්නේ රත්තරන් වටින පළතුරක්. ඒ නිසා අලිගැටපේරවලින් කරන බියුටි සත්කාර කිහිපයක් ගෙදරදීම කරලා බලන්න ඔය උදවියට කාගෙන්වත් බාධාවක් නැහැ. මේ කියන්න යන්නේ අන්න ඒ විදියට කරන සත්කාර කිහිපයක් ගැනයි.

අලිගැටපේරවල විටමින් A, B, C වගේම E අඩංගුයි. ඒ විතරක් නෙමෙයි පොටෑසියම්, කැල්සියම්, ඛනිජ ලවණ වගේ ගොඩක් පෝෂක සංඝටකත් අලිගැටපේරවල තියෙනවා. මේ ළඟකදී පර්යේෂණයක් කරපු මහත්වරු කණ්ඩායමක් කියලා තිබුණේ අලිගැටපේරවල Glutathione තියෙනවා කියලා. Glutathione මඟින් වයසට යාම පාලනය කරනවා. තව අලිගැටපේරවල අඩංගු පෝෂණ සංඝටක මගින් සිරුරේ තියෙන අතිරික්ත සෝඩියම් ඉවත් කරනවා. ඊට අමතරව එහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණයට පිළිකා වුණත් මට්ටු කරන්න බැරිකමක් නෑ. සිහින් සිරුරකට වගේම පැහැපත් සමකටත් අලිගැටපේර ගොඩක් හොඳයි.

සම පැහැපත් කරගන්න ඕනෑ නම් බ්ලෙන්ඩ් කරගත් අලිගැටපේර හා කෝමාරිකා මදය  මිශ්‍රණයට ලෙමන් බිංදු කිහිපයක් එක්කරලා එයින් අයිස් කැට කිහිපයක් හදාගන්න. ඒ මිශ්‍රණය අයිස් කැට හදන කන්ටේනර් එකකට දාල ෆ්‍රීසර් එකෙන් තිබ්බම මේ විදියට කැට හදාගන්න පුළුවන්. ඊටපස්සේ රෑට නින්දට යන්න කලින් ඒ අයිස් කැටයකින් මුහුණ සම්බාහනය කරගන්න.

ඒ වගේම අලිගැටපේර, කෙසෙල් සහ මීපැණිත් හොඳට කවලම් කරලා මුහුණේ ආලේප කරලා විනාඩි 20කින් හේදුවොත් මුහුණ පැහැපත් වෙන්නේ බලාගෙන ඉද්දිමයි.

ඔබට තියෙන්නේ තෙල් සහිත සමක් නම් අලිගැටපේරවලට ආමන්ඩ් තෙලුයි, ලෙමන් යුෂයි  එක් කරලා මුහුණේ ආලේප කරන්න.

ඉදුණු අලිගැටපේර ගෙඩි බාගයකයකට ඔලිව් ඔයිල් මේස හැන්දක් දාලා සමේ අලේප කිරීම කොරළ සහිත සමකට වඩාත් සුදුසුයි.

අලිගැටපේර, ප්ලේන් යෝගට්, ලෙමන් වගේම රෝස වතුරත් හොඳට කවලම් කරලා මුහුණේ ගාලා විනාඩි 20කින් සේදීමෙන් පැහැපත් සමක් පහසුවෙන්ම ලබාගන්න පුළුවන්.

ඇස් වටේ කළුවෙන එක වළක්වා ගන්න ඕන නම්  අලිගැටපේර මදයට එළකිරි හෝ යෝගට් එක්කරලා ඇස් වටේ ගාලා විනාඩි 20ක් තියලා සෝදා ඉවත් කරගන්න.

වියළි දුර්වර්ණ පළුදු හිසකෙස්වලට ඉදුණු අලිගැටපේර මදයක් සූරා ආලේප කරලා සෝදන එකයි කරන්න ඕනෑ.

අලිගැටපේර ගෙඩියකින් බාගයක් අරන් ඒකට බිත්තරයක්, ඔලිව් තෙල් මේස හැන්දක් වගේම මී පැණි මේස හැන්දකුත් දාලා තලපයක් වගේ හදාගන්න. ඊටපස්සේ තෙමාගත් හිසකෙස්වල ආලේප කරලා හොඳට සම්බාහනය කරගන්න.

අලිගැටපේරයි, ඔලිව් ඔයිලුයි මිශ්‍ර කරලා හිසකෙස්වල ගාලා විනාඩි 30ක් ආවරණය කරලා තියලා සෝදා හරින්න.

නෙත්මි තෂාරා

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here