අපේ දුම්රිය සේවය මේ දවස්වල හරි හරියට අලුත් වෙලා ලස්සන වෙනවා. පරණ රතුපාට පෙට්ටි ටික වෙනුවට අලුත් පවර් සෙට් දැන් දුම්රියවලට එනවා. ඒ වගේම දුම්රිය කීපයක් අලුතින්ම අපේ ට්‍රැක් වලට වැටිලා තියෙනවා. මේ දුම්රිය සේවාවට අලුතින් ආපු කෝච්චි යාළුවෝ ටික ගැන අපි විස්තර ටිකක් දැනකියාගනිමු.
2018 වර්ෂයේ මුලින්ම ආපු එස් 13 එන්නේ ඉන්දියාවෙන්. ඊට පෙර අපි අවසානයට පවර් සෙට් හෙවත් බලවේග කට්ටල ලංකාවට ගෙනල්ල තිබුනේ 2012 වර්ෂයේදී. ඊට වසර 6කට පසු අපේ දුම්රිය සේවයට එකතුවෙන එස් 13 පෙනුමින් නවීන පෙනුමක් ගන්නවා. අපේ ට්‍රැක් වලට හරියන දුම්රිය ගැන අදහසක් ඉන්දියාවට තියෙනවා. මේ අලුත් දුම්රියවල වායුසමන මැදිරි සහිත දුම්රියත් ආවා. එස් 13 කට්ටල වල සෑම මැදිරියකම එල් ඊ ඩී තිරයක් සවිකර තියෙනවා. දුම්රියේ ඇති ජී පී එස් කට්ටලය නිසා ඊලඟ දුම්රිය ස්ථානය මගීන්ට ඒ තුලින් බලාගන්නට හැකියාව තියෙනවා. පැයට කිලෝමීටර 100කට ආසන්න වේගයකට වුනත් යන්න පුළුවන් මේ දුම්රිය ලංකාවේ ට්‍රැක් වලනම් එච්චරටම වේගයකින් යන්නේ නැතුව ඇති.
ඉන්දියාවෙන් කලින් ගෙන්වාපු බලවේග කට්ටලවලට වඩා චීනයෙන් ගෙන්වාපු බලවේග කට්ටල බොහොම ශක්තිමත්. ඒ වගේම කල්පැවැත්මෙන් වැඩියි කියලා අපිට පසුගිය කාලේ ගෙන්වාපු බලවේග කට්ටල අනුව පේනවා. මේ එස් 14 උඩරට මාර්ගයේ ධාවනයට තමයි මුලින්ම හඳුන්වාදෙන්න යන්නේ. ලංකාවට ගොඩ බැහැලා මාස දෙක තුනක් ගියාට තාමත් එස් 14 පර්යේෂණ සඳහා රට වටේ ධාවනය වෙනවා. ලංකාව තුළ පාවිච්චි වන දුම්රිය මාර්ග වලට වඩා චීනයේ දි පාවිච්චි කරන දුම්රිය මාර්ගවල පළල වෙනස්. ඒ කියන්නේ රේල් ගේජ් වෙනස්. ඒ නිසා ලංකාවට එන චීන දුම්රිය චීනයේදී ධාවනය කරන්නට තියෙන්නේ අඩු ඉඩකඩක්. ඒ නිසා ඔවුන් ලංකාවට ගෙනත්ම ටෙස්ට් රයිඩ් දුවන්න කටයුතු කරනවා වෙන්නට පුළුවන්. අලුත් එස් 14 අවසානයට චීනයෙන් ගෙන්වූ එස් 12 ට වඩා පෙනුමෙන් පොඩ්ඩක් වෙනස්.
දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග වල තිබුන විදියට නම් ඉස්සරහට අමරිකාවේ ජෙනරල් මෝටර්ස් සමාගමේ එන්ජින් කිහිපයක්ද අපේ දුම්රිය සේවයට එකතු වෙන්න නියමිතව තියෙනවා. ඉන්දියාවෙන් ගෙන් වූ බරසාර සාමාන්‍ය එන්ජින් වලට වඩා වැඩි දිග එම් 11 දුම්රිය එන්ජින් ආවා. ඒ දුම්රිය මෙතෙක් ලංකාවට ගෙන්වූ දුම්රිය අතර බලයෙන් වැඩිම එන්ජිම වුනා. මේ එන්ජිම ටොන් 120ක් තරම් අධික බරකින් යුක්ත නිසා අපේ ට්‍රැක් ටික එන්ජිමට හරියන්න නවීකරණය වෙන්න ඕනි කියලත් කතාවක් දෙපාර්තමේන්තුව ඇතුලෙන්ම ඇවිල්ලා තිබුනා. කොහොම වුනත් යාල් දේවී සහ පුත්තලම් මාර්ගයේ ධාවන කටයුතු වලට දැනට ලංකාවේ තියෙන බලයෙන් වැඩිම මේ එම් 11 එන්ජිම දායක වෙලා තියෙනවා.
එතෙක් වව්නියාවට විතරක් ගිය දුම්රියක් යන වෙලාවටම ඊට වඩා දිග අලුත් දුම්රියක් ආවා. ඒ අලුත් දුම්රිය ශ්‍රී දේවි කියලා හඳුන්වනවා. ඉන්දීය එස් 13 බලවේග කට්ටලයකින් ධාවනය වෙන ශ්‍රී දේවී කොටුවෙන් හවස 3.55ට පිටත්වෙනවා. ඒ දුම්රිය රාත්‍රී 10.16ට කන්කසන්තුරයට ලඟාවෙන්නට නියමිතව තියෙනවා. යාපනය සහ උතුරු පළාතේ යන උදවියට කොටුවෙන් හවස ගිහින් රෑ වෙන්න යාපනයට ලඟාවෙන මෙම කෝච්චිය වටිනවා. කොළඹට කාර්යාල වැඩක් කරගන්න ආපු උදවියට කලින් වැඩේ ගොඩදාගන්න හැකි වුනොත් එදාම හවස මේ කෝච්චියේ නැගලා ආයේ යාපනයට යන්න පුළුවන්. මේ දුම්රියේ ආසන වෙන් කරගන්න පහසුකමත් තියෙනවා.
පොලොන්නරුවට දුම්රිය ස්ථානයක් තියෙනවාය, පොලොන්නරුවට කෝච්චියෙනුත් යන්න පුළුවන්ය කියලා නොදන්න පිරිසකුත් ලංකාවේ ඉන්නවා. මොකද පොලොන්නරුවට කියලා මීට කලින් කෝච්චි අමුතුවෙන් ගියේ නැහැ. මඩකලපු යන කෝච්චි තුනක් තමයි පොලොන්නරුවේ නතර කරගෙන ගියේ. දැන් එන අලුත් පුලතිසි ශීඝ්‍රගාමී දුම්රිය පොලොන්නරුවට විතරක්ම තමයි යන්නේ. සීමිත වූ ස්ථාන කිහිපයක විතරක් නවත්වන නගරාන්තර ශීඝ්‍රගාමී පුලතිසි දුම්රියේ ටිකැට් එක නම් ටිකක් විතර මිල වැඩියි. කොටුවෙන් හවස 3.05ට පිටත්වෙන පුලතිසි දුම්රිය පැය හයකින් විතර පොලොන්නරුවට ලඟාවෙන්නට නියමිතයි. ඒ වගේම පාන්දර තුනයි හතලිස් පහට තමයි පුලතිසි දුම්රිය පොලොන්නරුවෙන් එන්නේ. මේ දුම්රිය පොලොන්නරුවට ලඟාවෙන්නෙත් රෑ කාලයේ. ඒ වගේම පොලොන්නරුවෙන් පිටත්වෙන්නෙත් පාන්දරම. බස් වලින් දුරබැහැර සිට පොලොන්නරුවට එන මගීන් කියලා තිබුනේ මේ දෙගොඩහරි ජාමෙට එන යන දුම්රිය ඒ අයට නම් වැදගත් නැති බවක් තමයි.
Saru Fm Media