අලුතින්ම පාරට බහින 150-200cc සීමාවේ හැඩකාර බයික් – Saru Media

0
117


“අජානේය ස්කූටර තුරඟා පිට වඩිනා

කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතනා”

යැයි කරුණාරත්න දිවුල්ගනේ මහතා ගායනා කරන මියුරු ගීයකි. එහෙත් තරුණයෙකු ස්කූටරයක නැංග කළ එහි එතරම් පිරිමි කමක් නොපෙනේ. කුඩා තරුණයෙකු වුවද සුවිශාල මෝටර් සයිකලයක නැගී පිඹගෙන එනවිට පාරේ පදික වේදිකාවේ සිටින යුවතියෝද ඒ දෙස හැරී බලති.

20 වන සියවසේ ලංකාවේ ගැමි තරුණයින් අති බහුතරයකගේ සිහිනයක් වූයේ පාපැදියක් මිලට ගැනීමය. ඉන් පසු හැකියාව තිබේනම් අමාරුවෙන් කාලයක් මුදල් ඉතිරි කොට ගෙන ජපානයෙන් එන එම්ඩී 90ක් (තැපැල් නයින්ටියක්), හොන්ඩා බෙන්ලියක් මිලදී ගැනීම එකල ගම්බද තරුණයින්ගේ බලාපොරොත්තුව විය. එහෙත් කාලය වෙනස් විය. ඉන්දියාවෙන් පැමිණි බයික් අපේ මාර්ග වසා ගන්නට විය. දැන් ඉන්දියාවෙන් එන, ඉන්ධන ටැංකිය විසල් කාන්තා උකුලක් මෙන් පුළුල් වූ 150 සී සී කාණ්ඩයේ බයික් එකක් මිලදී ගැනීම සාමාන්‍ය මට්ටමේ රැකියාවක් කරන තරුණයකුගේ මූලික අවශ්‍යතාවයක් වේ.

 

1. Suzuki Intruder

Source – motorbeam.com

අමුතුම මාදිලියේ රුවකින් දිස්වෙන සුසුකි ඉන්ටෲඩර්, සුසුකි බයික් ලොවට පැමිණි අලුත්ම හැඩකාරයාය. දුර ධාවනයට වඩාත් පහසුකම් සහිතව තැනූ සුසුකි ඉන්ටෲඩර් 154ක සිලින්ඩර ධාරිතාවක් ඇති එන්ජිමකින් සමන්විත වේ. එන්ජිමේ සහ පද්ධතිවල ඇති පහසුකම් අතින් සුසුකි ඉන්ටෲඩර් සුසුකි සමාගමේම වඩාත් ප්‍රකට ගික්සර් මාදිලිය හා සමාන වේ. මෙම බයික් එක ඉන්ධන ලීටරයකට කිලෝමීටර 44ක් හොඳ තත්ත්වයන් යටතේ ධාවනය කළ හැකිය.

 

2. Honda Hornet 160R

150 to 200 cc bikes

Source – thequint.com

හොන්ඩා හොනට් යනු ජපානයේ පවා ප්‍රකට වූ මාදිලියකි. ඉන්දියාවේ නිපදවන මේ 160R ඉන්දියානු බයික් ලෝලීන්ගේ අවශ්‍යතාවයන්ට වඩාත් ගැලපෙන ලෙස නිපදවා තිබේ. විශාල ඉන්ධන ටැංකිය, විශේෂිත ඉදිරිපස ලයිට්ස් හොන්ඩා160R වල පෙනුම ඉහළ නංවන්නට සමත් වී තිබේ. ඩිස්ක් බ්‍රේක් සහ සාම්ප්‍රදායික ඩ්‍රම් බ්රේක් වල සංකළනයකින් හොන්ඩා හොනට් ඉන්දියානු මාදිලිය සමන්විත වේ.

 

3. Yamaha FZ S

150 to 200 cc bikes

Source – maxabout.com

150 කාණ්ඩයේ ලාංකික වෙළඳපොළ තුළ ආකර්ශනීයම මාදිලිය ලෙස යමහා එෆ් සෙඩ් දැක්විය හැකිය. එහි ඇති ඉන්ධන පිරිමැසුම් තාක්ෂණය අනුව ලීටරයකින් කිලෝමීටර 45ක් සම්මත තත්ත්ව යටතේදී ධාවනය කළ හැකි ලෙස සඳහන් වේ. වේග 5 ගියර් පද්ධතියකින් හෙබි යමහා එෆ් සෙඩ්ට ලීටර 12ක ඉන්ධන ටැංකියක් ද ඇතුළත්ය. යමහා වෙබ් අඩවියේ සඳහන් වන ආකාරයට නව එෆ් සෙඩ් අලුත්ම මාදිලියේදී බයික් රථයේ බර අඩු කොට අඩුම කාලයකින් උපරිම වේගයක් ගත හැකි ආකාරයට නිපදවා තිබේ.

 

4. Bajaj Pulsar

150 to 200 cc bikes

Source – motorbeam.com

150 ධාරිතා මාදිලි සැලකූ විට වඩාත්ම අඩු මිලකට මිලදී ගත හැකි ප්‍රකට මාදිලිය වන්නේ බජාජ් පල්සර් වේ. පල්සර් මාදිලි ලංකාවේද මාර්ග වල හරි හරියට ජනප්‍රිය වී තිබේ. තෙල් සුවඳින් පවා කිලෝමීටරයක් දෙකක් දිවිය හැකි බවට ප්‍රසිද්ධ බජාජ් සමාගමේ වෙනත් බයික් මාදිලි සේම පල්සර් ද ලීටරයකට කිලෝමීටර 65ක් සම්මත තත්ත්වයන් යටතේ ධාවනය කළ හැකිය. නවතම බජාජ් පල්සර් මාදිලියේදී සස්පෙන්ෂන් පද්ධති වඩාත් නවීකරණය වී ඇති අතර ඒ තුළින් බයික් රථයේ යන අයට වඩාත් සුවපහසු අත්දැකීමක් ලැබෙන බව සඳහන් වේ.

 

5. Suzuki Gixxer

150 to 200 cc bikes

Source – overdrive.in

සාමාන්‍ය මැද මට්ටමේ ඉන්දියානු බයික් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවල මුල්ම ස්ථානයක් ලබාගැනීමට සුසුකි ගික්සර් සමත් වී තිබේ. ගික්සර් හි පෙනුම වඩාත් ස්ථායී ස්වරූපයක් ගනී. පැයට කිලෝමීටර 115ක සාමාන්‍ය උපරිම වේගයකින් ගමන් කළ හැකි ගික්සර් තෙල් ලීටරයකට කිලෝමීටර 47ක් සම්මත තත්ත්ව යටතේ ධාවනයට සමත් වේ. ටැංකියේ ඇති ඉන්ධන ප්‍රමාණය, ගියර් තත්ත්වය ආදී දත්ත රැසක් දක්වන ගික්සර් හි ඩිජිටල් ඩිස්ප්ලේ එක එහි ඇති සුවිශේෂී පහසුකමකි.

 

6. Apache RTR

150 to 200 cc bikes

Source – bikewale.com

TVS යනු ඉන්දියාවේ ජනප්‍රියතම මෝටර් සයිකල සහ ත්‍රී රෝද රථ නිපදවන සමාගමකි. ඔවුන්ගේ අපාචි කාණ්ඩයේ මෝටර් සයිකල් කිහිපයක්ම වෙති. සිලින්ඩර ධාරිතාවය 160 ට ආසන්න වන අපාචි අනෙක් 150 කාණ්ඩයේ සේම ගියර් 5කින් සමන්විත වේ. ඉහළින් බැලූ විට වඩාත් ආකර්ශනීය පෙනුමක් ලබාදෙන අපාචි ඉන්දියාවේ මෙන්ම ලංකාවේද තරුණයින් අතර ජනප්‍රිය වූ බයික් මාදිලියකි. ටීවීඑස් අඩවිය කියන පරිදි මෙය වේගයෙන් යන්නට ම තැනූ මෝටර් බයිසිකලයකි.

 

7. Bajaj V15

150 to 200 cc bikes

Source – motorbeam.com

පැරණි මාදිලියේ පෙනුමක් ඇති මෝටර් සයිකල් තවමත් ඇතැම් තරුණයින් අතර ජනප්‍රිය වේ. ඒ අතර ඉන්දියාවේදී නම් රෝයල් එන්ෆීල්ඩ් යනු එවැනි පැරණි මාදිලියේ, එහෙත් ප්‍රබල ඔරොත්තු දීමේ හැකියාවක් ඇති සුවිසාල මෝටර් සයිකලයකි. බජාජ් හඳුන්වාදෙන V 15 යනු එවැනි පැරණි වෝල්ටි, රෝයල් එන්ෆීල්ඩ් වැනි පෙනුම සහිත කුඩා බයික් එකකි. මෙම හැඩයේ ඇති සුපිරි මෝටර් සයිකල වලට වඩා බජාජ් V15 හි ඇති විශේෂත්වය වන්නේ එහි ඉන්ධන පිරිමැස්ම වැඩිවීමය. සිලින්ඩර ධාරිතාවය 150ක් වන බජාජ් V 15 ඉන්ධන ලීටරයකට කිලෝමීටර 57ක් දක්වා දුරක් ධාවනය කළ හැකිය.

150 සී සී බයික් ගැන යම් හෝ උනන්දුවක් තිබේ නම් මේ ලැයිස්තුව බොහෝ වැදගත් එකක් වේවි. මේ කාණ්ඩයේ බොහෝ ඒවායේ එන්ජින්, බ්‍රේක්, ගියර් වැනි පද්ධති වල එකිනෙකට විශාල වෙනස් කමක් නොමැති අතර තමුන්ට ඒ බයිසිකලයේ ඇති ගැලපීම මිලදී ගන්නට පෙර වරක් පැද බැලීමෙන්ම තහවුරු කරගන්නට හැකිය.

 
Cover Image Source – youtube.com
 

The post අලුතින්ම පාරට බහින 150-200cc සීමාවේ හැඩකාර බයික් appeared first on Saru Media.



Saru News