අවරදිග ආවර්ජනා: නාට්ටිය අවසන් වන තෙක් අත්පොළසන් දීමෙන් වළකින්න – Saru News

0
6


සමහරු නැති-බැරිකමට සොරකම් කරති. සමහරු, ජාන ස්වභාවයක් නිසා සොරකම් කරතැයි සිතෙන තරමට, සොරකම සහ වංචාව සිය ආත්මය කරගනිති. කෙහෙලිය රඹුක්වැල්ල අයත් වන්නේ මේ දෙවැනි ප්‍රවර්ගයටයි.
ප්‍රතිපත්තිගරුක සොරුද සිටිති. ඔවුහූ සරදියල් මෙන් නැති එකාගෙන් සොරකම් නොකර ඇති එකාගෙන් පමණක් සොරකම් කරති. සදාචාර සම්පන්න සොරුද සිටිති. ඔවුහූ වින්දිතයාට භෞතික/මූල්‍ය අලාභයක් මිස, ඔහුගේ/ඇගේ ජීවිත පරදුවට වැටෙන සොරකම් නොකරති. කෙහෙලිය අවසාන වරට සිය සොරකම සඳහා පරදුවට තිබ්බේ, අසරණ රෝගී ජනතාවකගේ ජීවිතයි. එයද, නැති-බැරි රෝගී ජනතාවකගේ ය. නැති-බැරි මිනිසුන්ගේ පිහිටට ඇති රජයේ රෝහල් පද්ධතිය ඔහුගේ මෙවර ගොදුර විය.

මේ මිනිහා මීට වසර ගණනකට පෙර ඕස්ටේ්‍රලියාවේ හෝටලයක තුන්වැනි තට්ටුවේ බැල්කනියකින් ඇද වැටුණි. ඉන් ලද තුවාලවලට ප්‍රතිකාර කිරීම සඳහා ඔහු ලංකාවේ ආණ්ඩුවෙන් රුපියල් කෝටි දෙකක් ලබාගෙන තිබුණි. ඊට අමතරව, ඉහත කී ඕස්ටේ්‍රලියානු හෝටලයෙන්ද විශාල වන්දියක් ලබාගෙන තිබුණි. ලංකාවේ ජනතා මුදලින් ලබා ගත් ප්‍රතිකාර ගාස්තු, හෝටලයෙන් ලබාගත් වන්දියෙන් ඔහු පියෙව්වේ නැත. ඉන්පසු, රාජ්‍ය ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ වව්චර් වංචනික ලෙස පාවිච්චියට ගනිමින් ඔහු තමාගේ දුරකථන බිල්පත් ගෙවා හසු විය. 2022 දී රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් වන විදුලි බිලකට ඔහු විදුලිබල මණ්ඩලයට පොල්ල තියා තිබුණි. තවත් අවස්ථාවක, ජනමාධ්‍ය ඇමති වශයෙන් සිටියදී, රූපවාහිනී සංස්ථාවේ මුදල් අවභාවිත කර ජී.අයි. පයිප්ප මිල දී ගැනීමක් ගැන අල්ලස් කොමිසම පැවරූ නඩුවක විත්තිකරුවෙකු වී විදෙස් ගමන් බලපත්‍රය පවා තහනම් කරගෙන තිබුණි.

කූට ක්‍රමවලින්, හොර සහතික ඉදිරිපත් කර, බාල ඖෂධ වර්ගයක් ආනයනය කර, ඒවා රජයේ රෝහල් පද්ධතිය තුළ බෙදාහැර අසරණ රෝගීන්ගේ ජීවිත අවදානමට හෙළීම ගැන ගිය සතියේ ඔහු අත්අඩංගුවට පත්විය. එම දූෂිත ක්‍රියාව සම්බන්ධයෙන්ම, ඔහු යටතේ සිටි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු ඉහළ පෙළේ තවත් සෞඛ්‍ය නිලධාරීන් ගණනාවක් අත්අඩංගුවෙට ගැනුණේ, ඊට සෑහෙන කලකට පෙර ය. එහෙත්, කෙහෙලිය රඹුක්වැල්ලට බලධාරීන් අතක් තිබ්බේ නැත. ඔහු අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතව සිටි සිවිල් ක්‍රියාධරයන් කිහිප දෙනෙකු රඹුක්වැල්ලට කලින් අත්අඩංගුවට ගැනුණි. කෙහෙලියට පැනවුණු ලොකුම ‘දඬුවම’ වුණේ, සෞඛ්‍ය අමාත්‍ය පදවියෙන්, පරිසර අමාත්‍ය පදවියට මාරු වීමක් ලබාදීම පමණි. ඒ තරමට, මොහුට පිටුබලය සැපයූ දේශපාලනික හස්තය සහ කඳවුර බලවත් විය. ඒ කෙතෙක්ද යත්, මොහුට විරුද්ධව විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව විශාල වැඩි ඡන්දයකින් පරාජය කිරීමට පවා ඒ සොරදෙටු දේශපාලන කඳවුර එදා සමත් විය.

අත්අඩංගුවට පත්වීමෙන් පසු මොහු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් විය. මෙය වනාහී, කැබිනට් ඇමතිවරයෙකු වශයෙන් සිටියදී කෙනෙකු දූෂණ චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාවයි. ඒ ගැන බොහෝ දෙනා සෑහීමකට පත්ව සිටින බවක් පෙනේ. එහෙත් ඒ අත්අඩංගුවට ගැනීම පසුපස ඇත්තේ, දූෂණයට එරෙහි රාජ්‍ය ප්‍රතිපත්තියකට වඩා, අදිසි දේශපාලනික අවශ්‍යතාවක් බව දැන් තියාම කිව හැකිය. ඔහුගේ පැත්තෙන් කෙරෙන සුළු කැප කිරීමකින් (කෙටි කාලයකට රක්ෂිත බන්ධනාගාරගත වීමෙන්) විශාල දේශපාලනික වාසියක් එම කඳවුරට අත්කරගැනීමේ අභිලාෂය මේ සමස්ත ක්‍රියාදාමය පසුපස තිබේ. අහවල් රටේ අහවල් ඇමතිවරයා අහවල් දූෂණ චෝදනාවට අත්අඩංගුවට පත්වූවත් ලංකාවේ එවැනි අවස්ථාවක් කිසි දවසක සිදුව ඇති බවක් දක්නට නැතැයි මෙතෙක් බොහෝ දෙනා නැඟූ ජනප්‍රිය චෝදනාව මින් පසුව අපේ පාලකයන්ට එරෙහිව නැඟිය නොහැකි තත්වයක් මේ සිද්ධිය මාර්ගයෙන් ඇති කර තිබේ. කළ යුතුව තිබුණේ, ඉල්ලා අස්වන තෙක් නොසිට, අස් කිරීමයි. එහෙත් එවැනි යහපාලන ප්‍රතිපත්ති අපේ ආණ්ඩුකරණයේ දක්නට නැත.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පාලකයන්ව මේ ආකාරයෙන් තල්ලු කිරීමම, මහජන මතයක් විසින් පාලකයන් කෙරෙහි ඇති කෙරුණු බලපෑමේ සහ තෙරපීමේ සාර්ථකත්වයකැයි සැලකීමේ කිසි වරදක් නැත. එහෙත් අපරාධය සඳහා දඬුවම නමැති කතාවේ පරිසමාප්තියට තව බොහෝ දුරක් ඇති බව අප අමතක නොකළ යුතුය. ඒ මාර්ග පථය මේ තරම්වත් සාර්ථක වීමට ඇති ඉඩකඩ ඉතා අල්ප බවත් අමතක නොකළ යුතුය. පුරවැසියන් වශයෙන් අපට සතුටු විය හැක්කේ ඒ ගමනාන්තය වෙත ගියොත් පමණි.

කෙහෙලිය රඹුක්වැල්ලගේ ඉල්ලා අස්වීම ගැන සලකා බැලිය යුත්තේ ඒ කාරණය සිහියේ තබාගෙන ය. මාස දෙකකටත් වැඩි කාලයක් තිස්සේ, ඔහුගේ දූෂණ ක්‍රියාවලිය පිළිබඳ සියලු තොරතුරු ජනාධිපතිවරයා සතුව තිබුණි. ඇත්ත වශයෙන්ම, ඔහු සෞඛ්‍ය ඇමති පදවියෙන් ඉවත් කර පරිසර අමාත්‍ය පදවියට ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබුවේද එම තොරතුරුවල සත්‍යතාව තහවුරු කරගැනීම නිසා ය. එහෙත් එවැනි දූෂිත ඇමතිවරයෙකු තවදුරටත් තම අමාත්‍ය මණ්ඩලයේ තබා ගැනීමෙන් වැළකී සිටිනවා වෙනුවට, ඔහුට වෙනත් අමාත්‍ය පදවියක් පිරිනැමීමට තරම් ලිහිල් වීම මගින් ජනාධිපතිවරයා පෙන්නුම් කෙළේ, දූෂිතයන්ට සහ වංචනිකයන්ට ඉඩ දීමට ඔහු තුළ ඇති අප්‍රමාණ සූදානමයි.

අමතක කරලමු පැරණි කතා
එක්වෙමු ජාතික දියුණ පතා

ඊයේ (7) රාජසන කතාවේදී ඔහු කියා ඇති එක් කාරණයක් ඊට කෙලින්ම සම්බන්ධයි. රට ගොඩගැනීම සඳහා සියලු පාර්ශ්වවලට, විශේෂයෙන් සමගි ජනබලවේගයට සහ ජනතා විමුක්ති පෙරමුණට තමන් සමග එක්වන්නැයි නැවත වරක් ආරාධනා කර ඇති ඔහු, එම පක්ෂවලින් එක්තරා ප්‍රශ්නයක් අසා තිබේ. එනම්, කාලයක් තිස්සේ ප්‍රතිවාදීව සිටි පොහොට්ටුවට තමා සමග එකතු වීමට හැකි නම්, අර කියන පක්ෂ දෙකට තමා සමග එකතු වී රට ගොඩගැනීමේ කාර්යයට උරදිය නොහැක්කේ මන්ද යන්නයි. අතීතය අමතක කර අනාගතයට මුහුණදිය යුතු බව, ඔහු සන්නිවේදනය කර ඇති ඔවදනයි.

මේ ප්‍රශ්නය මුළුමණින්ම අතාර්කිකයි. සටකපටයි. එසේම ඔහු මතු කරන ප්‍රශ්නයට උත්තරයත්, ඔහුගේ එම ප්‍රශ්නය තුළම තිබේ. ඇත්තෙන්ම ඔහුට එය නොතේරෙනවා නොව, නොතේරෙනවා සේ රඟපානවා පමණි. පොහොට්ටුව සහ ඔහු අතර ඇති සහෝදර බැම්ම, සොරකම-දූෂණය-වංචාව ආදී සියලු අපරාධ කිසි විටෙක නීතිය ඉදිරියට නොපැමිණවීමේ අන්‍යොන්‍ය අවබෝධය සහ සහතිකය මත ගොඩනැඟුණු සන්ධානයකි. එවැනි සොරුන්ට සහ වංචනිකයන්ට කිසි දවසක නීතිය ඉදිරියේ දඬුවම් විඳීමට නොදෙන බවට ඔහු විසින් ඔවුන්ට දෙන ලද සහතිකය එහිදී තීරණාත්මක වී ඇත. අතීතය අමතක කළ යුතුව ඇතැයි ඔහු කියද්දී අදහස් කෙරෙන්නේ, ඒ මතයට, සමස්ත විපක්ෂයත්, රටක් වශයෙන් සමස්ත ජනතාවත්, පැමිණිය යුතු බවයි.

ඉස්සර දේශපාලනික ගහබැණගැනීම්වලට පවා යොමු වූ අපේ ඇතැම් සගයන්, දැන් දේශපාලනය කතා කිරීම තහනම් කලාපයක් කරගෙන තිබේ. ‘දේශපාලනය හැර වෙන ඕනෑම දෙයක් කතා කරමු මචං’ යන්න ඔවුන්ගේ වර්තමාන සූත්‍ර පාඨයයි. හේතුව, රාජපක්ෂ කඳවුර තුළ ඔවුන් රඟපෑ භුමිකාව, අද ඔවුන් තුළ ඇති කර තිබෙන විළිලජ්ජාව, ‘දේශපාලනය’ යන වචනය පවා ඇසෙන වාරයක් පාසා තදින් පෑරීමයි. අතීතය අමතක කරමු යැයි ජනාධිපතිවරයා යෝජනා කරන්නේ, රාජපක්ෂ කඳවුරට ඒ ඓතිහාසික විළි ලැජ්ජාව සීරීමකික්වත් තොරව පියමං කිරීමට අත්වැලක් සැපයීමට මිස වෙන කිසිවකට නොවේ.

ඉතිං, ජනතා විමුක්ති පෙරමුණේ හෝ සමගි ජනබලවේගයේ වර්තමාන ජනප්‍රියත්වයේ පදනම වන්නේම, සොරුන්-දූෂිතයන් නීතිය ඉදිරියට පැමිණවීමේ පොරොන්දුව නම්, සොරදෙටු පොහොට්ටු කඳවුර මත යැපෙන ජනාධිපතිවරයාට ‘අතීතය අමතක කිරීමට’ ඇති එකී සුහුරු හැකියාව ඔවුන්ට නැති වීම ගැන ජනාධිපතිවරයා පුදුම විය යුත්තේ ඇයි? කෙහෙලිය රඹුක්වැල්ලගේ සිද්ධිය වැදගත් වන්නේ මෙහිදී ය. ඔහුව හිරභාරයට ගැනීමට ගත වූ දීර්ඝ කාලය සහ පස්ස ගැසීම, සංවර්ධනයේ අත්‍යාවශ්‍ය කොන්දේසියක් වන සොරකම සහ දූෂණය නැති කිරීම අරභයා, මේ පාලනය යටතේ සිහිනයක් පමණක් විය හැකිය යන්න සනාථ කරයි. ජනතා විමුක්ති පෙරමුණ හෝ සමගි ජන බලවේගය අනාගතයේ දවසක ඒ කාර්යයේදී කොතරම් දුරට සාර්ථක වේද යන්න පිළිබඳ සහතිකයක් දීමට අද හැකියාවක් නැති බව ඇත්ත. ඔවුන්ද මේ කාරණයේදී අසාර්ථක විය හැකිය. එහෙත් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ගත් විට, ඔහුගේ සොරදෙටු සේවනය වර්තමානය විසින්ම, මේ මොහොත විසින්ම ඔප්පු කරමින් තිබේ.

මෙහි සාරාර්ථය වන්නේ මෙයයි: කෙහෙලිය රඹුක්වැල්ල අවසානයේ නිරුපද්‍රිත වනු ඇත. ඔහු අත්අඩංගුවට පත්වීම සහ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම, ජනතාවට සැපයුණු සැනසිලි තෑග්ගක් වශයෙන් පමණක් ඉතිහාසයට එක් වනු ඇත. ඊට තවත් සැරසිල්ලක් එක් කරමින්, ඊයේ පාර්ලිමේන්තු නව සැසිවාරයේ සමාරම්භක අවස්ථාවට පැමිණීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ලැජ්ජාව නිසා නම් විය නොහැකිය.

මූල්‍යමය අගයෙන් ගත් විට මීට වඩා වැඩි සොරකමක් වන ගෝඨාභය රාජපක්ෂගේ මිග් යානා ගනුදෙනුවට අදාළ මුල් ගිවිසුම මේ වන විට ‘අස්ථානගතව’ ඇති බව එයාර් මාෂල්වරයෙකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇතැයි ඊයේ පළ වූ මාධ්‍ය වාර්තාවකින් කියැවුණි. ඒ මහා සොරකම සිදු වුණේ 2007 දී ය.

ඒ නිසා, නාට්ටිය අවසන් නැති බව සලකා අත්පොළසන් දීමෙන් වැළකී සිටින්න.

ගාමිණී වියන්ගොඩ





Saru News