ආරක්ෂිතව ලිංගිකව හැසිරෙන්න ඕන නම්, මේ ආරක්ෂිත උපදෙස් පිළිපදින එක හොඳයි! – Saru Media

0
27


දැන් සෙක්ස් ගැන හැමෝම දන්නවනේ. එතකොට සේෆ් සෙක්ස් කියන්නෙ මොකක්ද? ඇත්තටම සේෆ් සෙක්ස් නැතිනම් ආරක්ෂිත ලිංගික එකතුවීම් කියන්නේ, ලිංගිකත්වය ගැන දැනගත යුතු වයසකට ආපු හැම කෙනෙක්ම දැනගෙන සිටිය යුතු දෙයක්. මේ ආරක්ෂිත ලිංගික එකතුවීම් නැතිනම් සේෆ් සෙක්ස් වලින් ආරක්ෂා කරන්නේ කාවද? වෙන කාවවත් නෙවෙයි, සෙක්ස් කරන අපිව තමයි ආරක්ෂා කරන්නේ. සේෆ් සෙක්ස් කියන එක කාරණා කිහිපයකට අදාළයි. පළවෙනිම දේ, සේෆ් සෙක්ස් කියන්නේ එකිනෙකා අතර මනා අවබෝධයකින්, තමන් කරන්නේ මොකක්ද කියලා දැනගෙන, ඒ කරන දේවල් වලට එකිනෙකාගේ අනුමැතිය ඇතිව සෙක්ස් කිරීම. ඊලඟට ලිංගිකව සම්ප්‍රේෂණය වෙන්න පුලුවන් රෝගාබාධ වලින් ආරක්ෂා වෙන විදියට සෙක්ස් කිරීම. තුන්වෙනි එක, අනවශ්‍ය ගැබ් ගැනීම් වලින් වැළකිලා සෙක්ස් කරන එක. ඔන්න ඔය කාරණා සම්පූර්ණ වෙනවා කියන්නේ, ලිංගික එකතුවීම සතුටට කාරණයක්, රසවිඳින්න පුලුවන් දෙයක් මිසක් හිත් කලබල කරගන්න අවශ්‍ය දෙයක් නොවෙනවා කියන එක තමයි.

 

ඉතින් අන්න ඒක කොහොමද කරන්නේ කියලා උපදෙස් කීපයක් තමයි අපි මේ ලබාදෙන්න යන්නේ!

 

01. කොන්සෙන්ට් එක

Safe sex tips

ඇත්තටම සේෆ් සෙක්ස් කියනකොට ගොඩක් දෙනෙක් හිතන්නෙ නැති කාරණාවක් තමයි මේක. ඒ තමයි කොන්සෙන්ට් එක නැතිනම් අනුමැතිය කියන එක. ඒක හරියට දන්නෙ නැතිනම් මතක් කරගන්න අර ඔස්ට්‍රේලියාවෙදී ටින්ඩර් එකෙන් හොයාගත්තු ගෑණු ළමයෙක් එක්ක සෙක්ස් කරන්න ගිහින් නඩු වැටිලා තියෙන ලංකාවේ ක්‍රිකටර්ගෙ සිද්ධිය. කොන්සෙන්ට් එක කියන්නේ මෙහෙමයි. සෙක්ස් කරන්න නම්, දෙන්නම එකඟ වෙන්න ඕන. එතකොට සෙක්ස් කරනකොට සිද්ධ වෙන්නෙ මොනවද කියන එක ගැනත් දෙන්නටම හොඳ අවබෝධයක් තියෙන්න ඕන සහ, ඒ අවබෝධය යටතේ දෙන්නම එකිනෙකාට අනුමැතිය ලබාදෙන්න ඕන. ඒ කියන්නේ, කතා කර කර ඉන්න කියලා රූම් එකකට ගිහින් අනික් කෙනාගේ කැමැත්ත නැතුව සෙක්ස් කරන්න බෑ වගේම, කොන්ඩම් දාලා ඇතුළේ කරමු කියලා ගිහිල්ලා එයාට හොරෙන් කොන්ඩම් එක ගලෝලා කරන්නත් බෑ. පැහැදිලියිනේ. සේෆ් සෙක්ස් වල මූලිකම කාරණාව වෙන්නේ කරන හැම දෙයක් ගැනම විනිවිදභාවය සහ ඒකට එකිනෙකාගේ අන්‍යෝන්‍ය එකඟතාවය.

 

02. පළමුව සාකච්ඡා කරමු, දෙවනුව සහතික කරගමු

Safe sex tipsSafe sex tips

දැන් අපි කෙනෙක් එක්ක ප්‍රේමයෙන් බැඳෙනකොට, සාමාන්‍යයෙන් කියන්නේ එයාගේ අතීතය වැඩක් නැහැ කියලනේ. ඒක හරි. අතීතයේ පෙම්වතුන් කී දෙනෙක් හිටියද, පෙම්වතියන් කී දෙනෙක් හිටියද වගේ ප්‍රශ්න ආදරේට අදාළ වෙන්න විදියක් නෑ තමයි. හැබැයි සේෆ් සෙක්ස් වලට නම් කෙනෙක්ගේ ලිංගික අතීතය වැදගත් වෙනවා. අන්න ඒ නිසා, හොඳම දේ තමයි, දෙන්නෙක් ආදරෙන් බැඳිලා ලිංගික සම්බන්ධකම් පවත්වන්න හිතුවත්, ආදරේ නැතුව ලිංගික සම්බන්ධකම් පවත්වන්න හිතුවත්, දෙන්නත් එක්ක ඔය දෙන්නගේ ෆැන්ටසි ගැන අනං මනං ගැන කතා කරන විදියටම, ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග ගැන එහෙමත් කතා කරන එක. හැබැයි මෙතනදී ප්‍රශ්නයක් එනවා. කෙනෙක් තමන්ට ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝගයක් තිබුණා කියලා අවංකවම කියයිද? ඔව්, මෙතනදී අවංකකම ප්‍රශ්නයක් තමයි. එහෙමනම් ඕන කෙනෙක්ට පුලුවන් ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ සායනයකට ගිහින් හරි, මහ රෝහලේ ලිංගාශ්‍රිත රෝග සම්බන්ධ ඒකකයට ගිහින් හරි රිපෝට් එකක් ගන්න. මේ කටයුත්ත පූර්ණ රහස්‍ය භාවයකින් යුතුව කරගන්න පුලුවන්. දෙන්නටම ඕන නම් ඒ රිපෝට් එක ගන්න පුලුවන්. එතකොට දෙන්නට දෙන්නා ෂුවර්නේ.

 

03. කොන්ඩම්!

Safe sex tipsSafe sex tips

කොන්ඩම් එක කියන්නේ, ලිංගිකත්වය ගැන අත්පොත් තියෙන කාලේ ඉඳලම ඕනම කෙනෙක් දැනගන්න ඕන නිර්මාණයක්. සේෆ් සෙක්ස් වලට පාවිච්චි කරන්න පුලුවන් අංක එකේ දෙයක් තමයි කොන්ඩම්. ඇයි ඒ? හරි විදියට පාවිච්චි කළොත්, කොන්ඩම් වලින් ලිංගිකව සම්ප්‍රේෂණය වෙන්න පුලුවන් රෝග සෑහෙන්න ප්‍රමාණයකින් එකිනෙකාව ආරක්ෂා කරගන්නත් පුලුවන්. ඒ වගේම අනවශ්‍ය ගැබ්ගැනීම් සිද්ධවීමේ අවදානමත් ඉතාම ඉහළ මට්ටමකින් අඩු කරන්න කොන්ඩම් වලට පුලුවන්. අන්න ඒ නිසා, පහසුවෙන් සේෆ් සෙක්ස් කරන්න හොඳම දේ තමයි කොන්ඩම් පාවිච්චි කරන එක. සමහර විට ඔය එච්.අයි.වී. නොවෙන ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග, ශරීරයේ ඕනම තැනක තැවරෙන තරල හේතුවෙන් අනික් කෙනාට වැළඳෙන්න පුලුවනිනේ. අන්න එහෙම බයක් තියෙනවා නම්, මුඛ සංසර්ගයේ යෙදෙන අවස්ථාවකදී වුණත් පිරිමියාගේ ශිෂ්ණයට කොන්ඩමයක් පළඳවන්න පුලුවන්.

 

අනික් කාරණාව, ජනප්‍රියම වෙලා තියෙන්නේ පිරිමින්ගේ ශිෂ්ණය වෙනුවෙන් නිර්මාණය කරන කොන්ඩම්  වුණත්, දැන් යෝනියට ඇතුළු කරන්න පුලුවන් කාන්තා කොන්ඩම් වර්ගත් තියෙනවා.

 

04. අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වන්නට

Safe sex tipsSafe sex tips

සේෆ් සෙක්ස් වලින් ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග වළක්වා ගැනීම බලාපොරොත්තු වෙනවා වගේම තමයි, අනවශ්‍ය ගැබ්ගැනීම් වළක්වා ගැනීමත් බලාපොරොත්තු වෙනවා. එතකොට කොහොමද අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වාගන්නේ? ඒකට උපත් පාලන ක්‍රම පාවිච්චි කරන්න පුලුවන්. ඒක ගැන අපි ඉස්සරහට කියනවා. හැබැයි උපත් පාලන ක්‍රම පාවිච්චි නොකර ගැබ් ගැනීම් එහෙමත් වළක්වා ගෙන සෙක්ස් කරන්න නම්, සෘජු ලිංගික සංසර්ගයෙන් තොර මුඛ සංසර්ගය ඇතුළු වෙනත් ක්‍රම යොදාගන්න පුලුවන්. සමහරු ඔය කලවා ආශ්‍රිත සංසර්ගය එහෙමත් යොදාගන්නවා සෘජු ලිංගික සංසර්ගය නැතුව. තවත් සමහරු විශේෂයෙන්ම අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වන්න ශුක්‍රාණු පහ වෙන්නට කලින් පුරුෂ ලිංගය යෝනි මාර්ගයෙන් පිටතට ගැනීම වගේ දේවලුත් පාවිච්චි කරනවා. හැබැයි ඒවා සාර්ථක ක්‍රම නෙවෙයි කියලත් කියන්න ඕන. අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වාගෙන, ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝගත් වළක්වාගෙන, ලිංගික සතුටත් යම් ප්‍රමාණයකට පහසුවෙන් විඳින්න ලේසිම ක්‍රමය වෙන්නේ තරල හුවමාරුවකින් තොර ස්පර්ෂ කිරීම්, සිප ගැනීම් අනං මනං එක්ක තියෙන සීමාවේ සෙක්ස් කරන එක තමා.

 

05. උපත් පාලන ක්‍රම

Safe sex tipsSafe sex tips

අපි ඇත්තටම කලිනුත් උපත් පාලන ක්‍රම ගැන කතා කරලා තියෙනවා. මෙතනින් කොන්ඩම් පැළඳීම කියන එක අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වන්න වගේම, ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග වළක්වන්නත් යොදාගන්නවා කියන එක අපි උඩ පොයින්ට් එකක කියලා තියෙනවනේ. ඒ හැරෙන්න, උපත් පාලන පෙති, හදිසි උපත් පාලන පෙති, ලූප්, ඩෙපෝ ප්‍රොවේරා එන්නත, සම යට තැන්පත් කරන ඉම්ප්ලාන්ට් වගේ දේවල් උපත් පාලන ක්‍රම හැටියට පාවිච්චි කරන්න පුලුවන්. අවශ්‍ය නම් ස්ථිර වන්ධ්‍යාකරණ සැත්කම් කරගන්නත් පුලුවන්. ඒ හැරෙන්න කාන්තාවකගේ ඔසප් චක්‍රය ආශ්‍රයෙන් ආරක්ෂිතව ලිංගිකව එකතු වෙන්න පුලුවන් දවස් ගණනය කරන කැලැන්ඩර් ක්‍රමය පාවිච්චි කරන්නත් පුලුවන්.

 

06. පාට්නර්ගේ ශරීරය ගැන අවබෝධය

Safe sex tipsSafe sex tips

අපි කලිනුත් කිව්වා වගේ, STD හෝ STI නැතිනම් ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග කියන්නේ එච්.අයි.වී. වලට විතරක් නෙවෙයි. තව ඕනෑ තරම් ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග තියෙනවා. ඒ වල රෝග ලක්ෂණ ශරීරයේ බාහිරින් දකින්නත් පුලුවන්. උදාහරණයක් විදියට, හර්පීස්, සිෆිලිස්, ලිංගික ඉන්නන් වගේ රෝග වල රෝග ලක්ෂණ ශරීරයේ බාහිරින් දකින්න පුලුවන්. එතකොට, තමන්ගේ පාට්නර්ගේ ලිංගාශ්‍රිත ප්‍රදේශ වල ඒ වගේ බිබිලි, තුවාල එහෙම තියෙනවා නම්, ලිංග ප්‍රදේශයෙන් සැරව හෝ වෙනත් ශ්‍රාවයන් වහනය වෙනවා නම්, ඒ වගේ සංකූලතා දකින්න තියෙනවා නම්, ඒ ගැන විමසලා බලන එක නුවණට හුරුයි.

 

07. ලූබ් පාවිච්චි කරන්න

Safe sex tipsSafe sex tips

සාමාන්‍යයෙන් ඔය ගුද සංසර්ගයේදී එහෙම ලුබ්‍රිකන්ට් නැතිනම් ලිහිසිකාරක පාවිච්චි කළාට, ගොඩක් දෙනෙක් සාමාන්‍යයෙන් සෘජු යෝනි සංසර්ගයේදී එහෙම ලුබ්‍රිකන්ට් පාවිච්චි කරන්නෙ නෑ. ස්වභාවිකව නම් යෝනි සංසර්ගයට එහෙම අවශ්‍ය නෑ කියන්න පුලුවන්, යෝනි ශ්‍රාවය ස්වභාවික ලිහිසිකාරකයක් නිසා. හැබැයි එහෙම වුණත්, හැමෝගේම එහෙම එක විදියට යෝනි ශ්‍රාවය වෙන්නෙ නෑ. අන්න ඒ නිසා, ආරක්ෂිත ලිංගික එක්වීමකදී හොඳ කොලිටි ලිහිසිකාරකයක් පාවිච්චි කරන එක වක්‍රාකාරව හොඳයි. ඇයි? ලිහිසිකාරක පාවිච්චියෙන්, යෝනිමාර්ගයේ හෝ ගුද මාර්ගයේ හෝ ශිෂ්ණයේ සිදුවෙන්න පුලුවන් ක්ෂුද්‍ර සීරීම් එහෙම අවම වෙනවා. එතකොට ආසාදන ඇතිවෙන්න තියෙන ඉඩ එහෙමත් අවම වෙනවා.

 

08. අනෙකා ගැන හිතන්න

Safe sex tipsSafe sex tips

සේෆ් සෙක්ස් නැතිනම් ආරක්ෂිත ලිංගික එක්වීම් ගැන කියනකොට අපිට කියන්න තියෙන වැදගත්ම කාරණාව තමයි මේ. අපි හැම මොහොතකදීම අපිත් එක්ක ආදරේ කරන, අපිත් එක්ක සෙක්ස් කරන අනිකා ගැන හිතන්න, ඒ අයට ප්‍රමුඛත්වය දෙන්න ඕන. උදාහරණයක් විදියට අපිට ලිංගිකව සම්ප්‍රේෂණය වෙන මොකක් හරි රෝගයක් තියෙනවා කියලා සැකයක් හරි තියෙනවා නම්, ඒකට සුදුසු පියවර ගන්නෙ නැතුව, තව කෙනෙක් එක්ක අනාරක්ෂිතව ලිංගිකව එකතු වෙන එක බොහොම වැරදි වැඩක්. ඒ වගේම, තමන්ගේ තියෙන ඒවගේ ගැටළුවක් ගැන අවංක නොවෙන එකත් වැරදි වැඩක්. එහෙම සැකයක් හරි තියෙනවා නම්, කරන්න ඕන දේ තමයි වහාම චෙක් කරගන්න එක. ඊට පස්සේ ඒකට අදාළ ප්‍රතිකාර ගන්න පටන් ගන්න එක. දැන් කාලේ වෛද්‍ය විද්‍යාව දියුණුයි. ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග තියෙන, ඒවලට බෙහෙත් ගනිමින් ඉන්න අයට පවා තමන්ගේ පාට්නර්ට ඒ රෝගය සම්ප්‍රේෂණය නොකර ආරක්ෂිතව සෙක්ස් කරන්න පුලුවන් ක්‍රම තියෙනවා. අන්න ඒ නිසා, අනෙකා ගැන හිතීම සේෆ් සෙක්ස් වලට අත්‍යවශයයි.





Saru News