සටහන – රෂිකා හෙන්නායක
ජාතික ජන බලවේගයේගණකාධිකාරීවරුන් සහ විගණකවරුන් විසින් සංවිධානය කළ සම්මන්ත්‍රණයක් අමතමින් අනුර කුමාර දිසානායක මහතා,
” අපේ රට මේ රට ප්‍රපාතයට වැටීමට ප්‍රධානම බලපෑමක් වී තිබෙන්නේ මූල්‍ය විනය පිළිබඳ ප්‍රශ්නයයි. ගණකාධිකාරීවරුන් හැටියට ඔබට සහ විගණකවරුන්ට වෘත්තීමය ලෙසත් රාජකාරි ලෙසත් මූල්‍ය විනය ඇති කිරීම පැවරී ඇති ප්‍රධානම කාර්යභාරයයි.
1977 දී එතෙක් අනුගමනය කරමින් තිබුණ රජය කේන්ද්‍ර කර ගත් ආර්ථිකය හැසිරවීම වෙනුවට ආර්ථිකය විවෘත කර හැසිරවීමට පටන් ගත්තා. රූපවාහිනිය ආවා. පාරවල්, හෝටල්, ආයෝජන කලාප හැදෙන්න පටන් ගත්තා. මහත් සංවර්ධනයක් උදාවේවි කියා මිනිස්සු සිතුවා. නමුත් අපි ආපහු හැරී බලන විට සිදුවී තිබෙන්නේ ඉතාමත් අහිතකර ප්‍රතිඵලයක්. 1977 දී ආනයන අපනයන අතර පරතරය ලෙස ඩොලර් මිලියන හතළිහක ධන වෙළඳ ශේෂයක් තිබුණා. 2021 වෙන විට වෙළඳ ශේෂය ඍණ ඩොලර් මිලියන 8110යි. ලෝකයේ කිසිදු රාජ්‍යයකට හුදකලා වී ජීවත් විය නොහැකියි. නිෂ්පාදනයෙන්, වෙළඳාමෙන්, සන්නිවේදනයෙන් ලෝකය ගැටගැසී තිබෙනවා. ආර්ථිකය විවෘත කළේ ජාතික නිෂ්පාදනය, ජාතික ව්‍යවසායකයා, ජාතික ආර්ථිකයේ ප්‍රමුඛතාවයන් සැලකිල්ලට ගෙන නොවෙයි. කිසිදු රාජ්‍යයක් සිදු නොකරන ආකාරයේ විවෘතභාවයක් මේ රටේ ඇති කළා.
1977 උපායමාර්ගයක් ලෙස තුළ රාජ්‍ය දේපළ අත්හැරීම පිළිබඳ කතාවක් ආවා. ඒ කතාව ඇතුලෙත් තිබුණේ අල්ලස, වංචාව, දූෂණය. ආර්ථික ප්‍රතිපත්තියක් හැටියට හිඟුරාන සීනි කම්හල පෞද්ගලීකරණය කළා. දස වසරකට පෙර වාර්තාවක් ආවා, සීනි කම්හල චීන සමාගමකට විකුණන විට අක්කර 600ක පැල තවානක් තිබුණා. අක්කර 6000ක උක් වගාවක් තිබුණා. ෆැක්ටරියක් තිබුණා. ගබඩාවේ සීනි තිබුණා. නමුත් ගබඩාවේ තිබූ සීනිවල වටිනාකමටත් වඩා අඩුවෙන් ඒක විකුණා දැමුවා. 90 දශකයේ නැවත රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය පිළිබඳ සාකච්ඡාවක් ආවා. පුත්තලම සීමෙන්ති කම්හල විකිණීමේදී ආන්දෝලනයකට තුඩු දුන් තවක්කාල් ගනුදෙනුව තිබුණා. ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ දවස් දෙකක විවාදයක් පවා තිබුණා. එයාර් ලංකා එමිරේට්ස් එකට විකුණන කොට එයාර් ලංකා දූෂිත ගනුදෙනුවේදීත් ටෙලිකොම් සමාගම, ජපන් සමාගමක් වෙත පැවරීමේදීත් දූෂිත ගනුදෙනු පිළිබඳ වාර්තා පළ වුණා.
2004 සුනාමිය නිසා නැවත කඩඉමක් ආවා. ව්‍යසනයෙන් පස්සේ ලෝකයේ විවිධ රාජ්‍යයන්ගෙන් විශාල ආධාර ලැබුණා. ඒ අවස්ථාව අපේ රටේ අලුත් දිසාවකට පරිවර්තනය කිරීමට අවස්ථාවක් ලැබුණා. නමුත් අපට අහන්න ලැබුණේ සුනාමි අරමුදල් වංචාවන් පිළිබඳව. අපි වසර 30ක යුද්ධයකට මුහුණ දුන්නා. ඒ ඇතුලෙත් අපට අහන්න ලැබුණේ මිග් ප්‍රහාරක යානා මිලදී ගැනීමේ කූට ගනුදෙනු පිළිබඳවයි. පසුගිය කාලයේ රුසියාවෙන් නැවක් මිලදී ගැනීමේදීත් අයථා ගනුදෙනු ගැන කතා මතු වුණා. යුද්ධය අවසානයේ ජනතාව සංවර්ධනය පිළිඳව විශාල බලාපොරොත්තු තැබුවා. ඉන්පසුව ඉදිකිරීම් කර්මාන්තයේ විශාල වර්ධනයක් තිබුණා. නමුත් ඒ සෑම ඉදිකිරිමක් පිටුපසම තිබුණේ වංචාව, දූෂණය, නාස්තිය පිළිබඳ සාධකයයි. ඒ නිසා අපට හයිවේ එක, ගුවන් යානාවක් පැමිණෙන විට ප්‍රවෘත්තියක් වන ගුවන් තොටුපළ අපට බරක් වෙලා තිබෙනවා. නැවත කොවිඩ් වසංගතයෙන් පසු ඇන්ටිජන් ගනුදෙනු, වැක්සින් ගනුදෙනු ගැන අසන්න ලැබෙනවා. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලබාගැනීමට හැකිවීම පිළිබඳව අලුත් බලාපොරොත්තුවක් ඇති කර තිබෙනවා. ණයක් ලබාගන්නා විට රතිඤ්ඤා පත්තු කිරීමෙන් පෙනෙන්නේත් අපේ රට වැටී ඇති ආර්ථික ප්‍රපාතයේ තරමයි.
Saru Fm Media