අපේ ප්‍රෞඩ ඉතිහාසය ගැන ලොවට කියාපාන ලෝවාමහාපාය කියන්නේ ලෝකයේ ඉදිකෙරුණු පළමු මහල් ගොඩනැගිල්ල බවටත් සමහරු විශ්වාස කරනවා. මෙය ඉදිකෙරුණු කාලයේදී ලෝකයේ වෙනත් මහල් ගොඩනැගිලි නොතිබුණු බවටයි ඔවුන් තර්ක කරන්නේ. එම තර්කවල සත්‍යාසත්‍යතාව කොහොම වෙතත් ලෝවාමහාපාය කියන්නේ අපිට ලොකු ආඩම්බරයක් ගෙන දෙන නිර්මාණයක්. අද අපි ඒ විශිෂ්ට නිර්මාණය ගැන කතාකරමු…
මේ පූජනීය ස්ථානය තියෙන්නේ අනුරාධපුරයේ බව අපි හැමෝම වගේ දන්නවානේ. මේ ලෝවාමහාපාය ඉදිකළේ දුටුගැමුණු රජතුමා. ඒ වගේම මේ පූජනීය ස්ථානය අනුරාධපුරයේ අටමස්ථාන අතරින් එකකුත් වෙනවා.
දුටුගැමුණු රජතුමා රජ වෙන්න කලින් තිබුණු සොළී ආක්‍රමණ නිසා කාලයක් මුළුල්ලේ වල් වැදී තිබූ මහමෙවුනාව දුටුගැමුණු රජතුමාගේ කාලයේ යළි ප්‍රතිසංස්කරණය කරනු ලබනවා. එතකොට ඒ උයනේ තිබ්බ පොහොය ගෙය (මෙය දේවානම්පියතිස්ස රජු විසින් මිහිඳු මහරහතන් වහන්සේට පූජා කරන ලද්දක්) ලෝවාමහාපාය විදියට නම් කරලා මහල් නවයක ප්‍රාසාදයක් විදියට ගොඩනගන්න දුටුගැමුණු රජතුමා කටයුතු කරනවා. ඒ වගේම මේ ප්‍රාසාදය දිව්‍යලෝකයේ තව්තිසා දෙව්ලොවේ ‘භරණී’ නම් දිව්‍යාංගනාවගේ නවමහල් දිව්‍ය විමානයේ ආකාරයට කරවූ බවකුත් මහාවංසයේ සඳහන් වෙනවා.
මේ ලෝවාමහාපාය එහෙම නැත්නම් ලෝවාමහා ප්‍රසාදයට මේ නම ලැබිලා තියෙන්නේ මේ ප්‍රසාදයේ සංයුතිය නිසාමලු. මොකද මේ ප්‍රසාදය කරලා තියෙන්නේ තඹ ලෝහයෙන්. ඒ වගේම මෙය උළු වලින් තනපු පියස්සකින් ආවරණය වෙලා තිබිලා තියෙනවා. ඒ නිසා මේ ගොඩනැගිල්ල ලෝවාමහාපාය විදියට හැඳින්වුවා කියලයි ඉතිහාස ලේඛනවල සඳහන් වෙන්නේ. ඒ වගේම මේ භූමියේ මායිම් ලකුණු කරලා තියෙන්නේ රිදියෙන් කරපු නගුලකින් කියලයි මහාවංසයේ තියෙන්නේ.
ලෝවාමහාපාය කියන පූජා භූමිය තියෙන්නේ අපි ඉහත කිව්වා වගේ අනුරාධපුරයේ මහමෙව්නා උයනේ. ඒ වගේම ශ්‍රී මහා බෝධීන් වහන්සේත්, රුවන්වැලි මහා සෑයත් අතර ටිකක් නැගෙනහිර පැත්තට බර වෙලායි මෙය පිහිටා තියෙන්නේ. මෙම ස්ථානය මුලින්ම දේවානම්පියතිස්ස රජු වෙත පෙන්වා දී තිබෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ විසින් බවටයි ඉතිහාසගත තොරතුරු වල සඳහන් වෙන්නේ.
විශාල ගල් කුළුණු දහස් ගණනක් උඩ මහල් නවයකින් යුතුව එක් එක් මහලේ රිදියෙන් නිමවපු කුටීර 100ක් හා ගබඩා දහසකින් සමන්විතව රන් රිදී මැණික් ආදියෙන් දිව්‍ය ලෝකයකට සමානව මේ ප්‍රාසාදය නිම කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඊට අමතරව කහවනු කෝටි තිහක් මේ ගොඩනැගිල්ල තනන්න වැය වෙලා තියෙනවා.
එක් පෙළකට මහා ගල් කණු 40ක් බැගින් පේළි 40ක මුල් ගල් කණු සංඛ්‍යාව 1600ක් මේ ගොඩනැගිල්ල තනන්න භාවිතා කරලා තියෙනවා. ඒත් ඒවා දුටුගැමුණු රජතුමා කරපුවා නෙමෙයි, පසු කාලීනව මහා පරාක්‍රමබාහු රජතුමාගේ නියමය පරිදි කරවපුවා කියලායි සඳහන් වෙන්නෙ.
Saru Fm Media