ඉස්සර ආදරණීය මතකයන් වුණු දැන් බොළඳයි කියලා හිතෙන පොත් 7ක් – Love Stories We Read as Kids – Saru News Media

0
20

ඉස්සර කාලේ තමයි කාලේ. ජීවිතේ හොඳම වගේම සමහරවිට නරකම මතක තියෙන්නෙත් එතන. ඒ මතක අස්සේ තියන අමතක කරන්න බැරි මතකයක් තමයි ඒ කාලේ කියවපු පොත්පත්. ඒ පොත් අතරිනුත් ඉස්කෝලේ යන කාලේ ගෙදරට හොරෙන් කියවපු මල් කතන්දර ටික කොහොම අමතක කරන්නද? ඒ කාලේ කියවපු බොළඳ කතන්දරවල තියෙන ලොඳ ගතිය අවබෝධ වෙන්නේ ටිකක් වයසින් මෝරාගෙන හෙන සම්භාව්‍ය ලෙවල් එකකට එනකොට. පොතේ ස්වාභාවේ කොහොම වුණත් ඒ කියවිල්ල එකෙන් ම ආදරණීයයි. මේ ඒ වගේ ආදරණීය මතකයක් දුන්න බොළඳ පොත් කීපයක්.

 

බුද්දම්බේ ඉතින් මල් කතා කියන්නේ නැවක් නම් ඒකේ නැව් කප්පිත්තා තනතුරේ තියලා සැලකෙන්නේ සුජීව ප්‍රසන්න ආරච්චි මහත්තයානේ. පූජාසනයක් උඩ තියලා මේ බලන්නකෝ කියලා පෙන්නන්න පුළුවන් තරමේ හදවත් දෙකක් තියන කෙල්ලෙකුයි කොල්ලෙකුයි ගැන කියවෙන කතා ඇටමිදුළුවලටත් දැනෙන්න ලියවෙන්නේ ඉතින් වෙන මොන අතින් ද? මහමෙව්නා කතාව හොටු පෙර පෙර ඒ කාලේ කියවපු කතාවක්. දැන් ඒ ගැන හිතනකොට ඇයි යකෝ මම එහෙම ඇඬුවේ කියලා හිතෙනවා. “ඔබ වෙනුවෙන් මේ යෞවනය සදාකල් පවිත්‍රව තබමි” වගේ උදාන වාක්‍ය ඒ කාලේ බොක්කට වැදුණ හැටි ගැන හිතෙනකොටත් දැන් වයර්. ඉස්කෝලේ යන කාලේ කියවපු මේ පොත ලොවෙත් නොමැකෙන මතකයක් වෙන්නේ මේකේ කතාව ගුරුවරයා සහ ගෝලයා අතර ප්‍රේම හුටපටයක් ගැන කියවෙන නිසා. ඒ කාලේ අමුතු ලල් එකකින් කියෙව්වාට දැන් නම් හිනා යනවා මතක් වෙනකොටත්.

 

චාතූර්‍යා පොත් පහක එකතුවක් විදියට ගලාගෙන ගියපු කතාවක්. දුප්පත් කොල්ලයි පොහොසත් කෙල්ලයි අතරේ ලියැවුණු ආදර කතා මහ ගොඩක් අස්සෙන් ඒකේ ම අනික් පැත්ත, ඒ කියන්නේ දුප්පත් කෙල්ලෙකුයි පොහොසත් කොල්ලෙකුයි අතර ඇතිවන ප්‍රේමයක් ගැන තමයි මේ පොතෙන් කියවුණේ. තේමියගෙයි චාතූර්‍යාගෙයි මේ ආදර කතාවෙන් පස්සේ තමයි ඔය තේමිය කියන නමත් ජනප්‍රිය වෙන්නේ. පස්සෙන්පහු මේක ආශ්‍රය කොරගෙන ටෙලියකුත් ගැහුවනේ. මේ දෙන්නගේ සම්බන්ධයට එක එක බාධා වැටුණ නිසා කියවන අපෙත් පපුව රිදෙන්න ගත්ත අවස්ථා එමටයි. දැන් නම් සම්භාව්‍ය ලෙවල් එකෙන් හිතන නිසා එහෙම නෑ.

 

කතාවේ ප්‍රධාන චරිතයට සුපර්මෑන් කෙනෙක්ගේ තත්ත්වයේ වීරත්වයක් දෙන්නේ යෞවන සමීන්ද්‍රගේ පොත්වල. ඒ වගේම කියවන්න ආසා හිතෙන සරල ඒත් රස්තියාදුකාර භාෂාවක් හැම පොතේම තියෙනවා. දයාබර නෝටි මල් කතා අංශයෙන් ඉදිරියෙන් තිබ්බ පොතක්. ලේ පිරිසිදු වෙනකන්ම බඩ අල්ලන් හිනා වෙවී කියවපු පොතක්. ලයින් දාන එක, බයිට් කරන එක, ලව් එක වෙනුවෙන් වලි දා ගැනීම ගැන මේ පොතේ ලියවුණ දේවල් ඒ දවස්වල මහා ලොකුවට පෙනුණා. පණ්ඩිත වෙන්න වෙන්න ඒ දේවල් අස්සේ අපි ජීවිතේ විඳපු හැටි, අපේ ලාමක ටිං ටිං හිත් ගැන අවබෝධ වෙනකොට ඒ පොත ගැන මතකය ඊයේ පෙරේදා කියෙව්වා වගේ ළඟට එනවා.

 

සමහරවිට මල් කතා මතක අතර තියන ආදරණීයම කියවිල්ල මේක වෙන්න ඇති. ඉස්කෝලවල කෙල්ලෝ කොල්ලෝ පිස්සුවෙන් වගේ ඒ දවස්වල මේක කියෙව්වේ. දැන් හිතද්දී අමු බොළඳ ගතියක් දැනුණත් ජීවිතේ අනිවාර්යයෙන්ම බොළඳ කාල පරාසයක් ගෙවන්න වෙනවා ය ඒ නිසා කමක් නෑ ය කියලා මේ සම්බන්ධයෙන් හෙන ධනාත්මක ආකල්පයක් මේ පොත එක්ක ඇතිවුණා. අදටත් සමහරු මේ පොත ගැන කතා කරනවා. පොත ගහන්න කලින් කතාව තරුණයා පත්තරේ ගිය නිසා පත්තර කෑලි බෙදාගත්තු අවස්ථාත් තිබ්බා. අරුණිගෙයි මාලින්දගෙයි ආදර කතාවට තිබුණ බොළඳ පිස්සුව මතක් වෙන්නත් එක්ක පොඩි උපුටාගැනීමක් දානවා.

“අරුණි මගේ පපුවට තුරුලු වුනා. ඇස් දෙක පියාගෙන ඉන්න අරුණිගේ ලස්සන…

‘ඔයා මට හොරෙන් හීන බලනවද?’ මම අරුණිගේ කනට කෙඳිරුවා. අරුණිගේ සුවඳ මට දැනුණා. ඒ සුවඳ මගේ හිත පුරාම පැතිරිලා. මම… වැහිලා තිබුණ අරුණිගේ දෙඇස් පෙති මගේ දෙතොල්වලින් සිපගත්තා. එයා ඇස් වහගෙනම හිනා වුණා.

‘ලස්සන හීනයක් ද අරුණි?’

‘හ්ම්…”

 

කොළඹ ලොකු ඉස්කෝල දෙකක කොල්ලෙකුයි කෙල්ලෙකුයි අතර හුටපටයක්. කොල්ලා දුප්පත් ගමක කෙනෙක්. හැබැයි මනුස්සයාගේ ආදරේ පොහොසත්. මේකත් කියවලා ඉවර වෙලා සතියක් හමාරක් වෙනකන් ඔළුවට වද දුන්න ප්‍රේම පුරාණයක්. චාපාගෙයි කසුන්ගෙයි ආදරේ ඒ චරිතවලට වඩා ප්‍රේක්ෂකයා වින්දා. පාසල් ප්‍රේමයේ තියෙන කිතිකැවෙන මෙව්වා එක ඒ කාලේ මේ පොත කියවන ගමන් විඳපු හැටියයි අද දකින විදියයි සෑහෙන වෙනස්.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here