එතුමාගේ පක්ෂ නායකකම වගේ තාක්ෂණික ලෝකයේ වෙනස් නොවුන දේවල් – Unchanged Tech – Saru News Media

0
13

එතුමාගේ පක්ෂයේ තනතුරු මාරු වුනාට, එතුමාට කුමක් හෝ මහානායක කමක් හිමිවෙලා තමයි අවසානයේ පක්ෂ අර්බුදය අවසාන වෙන්නේ. ඉතිං එතුමාගේ දීර්ඝ නායක කාලය තුළ වෙනස් නොවුන තාක්ෂණික දේවල් බැලුවොත් නොවෙනස් වෙච්චි දේවල් අඩුයි. රටේ තිබෙන ප්‍රධානතම පාසලෙන් ඉගෙන ගෙන, රටේ තෙවතාවක් ප්‍රමුඛතම ආසනයක් හිමි කරගන්නට එතුමා සමත් වුනා. එතුමා පළමු වරට අගමැති වන විට ස්මාට්ෆෝන් එකක් කියන එකක් විද්‍යා ප්‍රබන්ධයකවත් තිබුනේ නැහැ. ඒත් අවසාන වරට පැවති මැතිවරණ වලදී නොමිලේ වයි ෆයි ලබාදීම් දේශපාලන පොරොන්දුවක් වීම දක්වා ලෝකය වෙනස් වී තිබුනා.

මේ කියන්න යන්නේ එතුමාගේ නායක කම වගේම කාලයක් ගිහිල්ලත් තවම වෙනස් නොවුණු දේවල් කීපයක් ගැනයි.

 

ස්මාට් ෆෝන් වර්ග කිහිපයක පමණක් වයර්ලස් චාජින් පැමිණියත් තවමත් බොහෝ ෆෝන් චාජ් කරන්නේ ප්‍රධාන වශයෙන් පේනුවට සම්බන්ධ කරලා. ලැප්ටොප්, ටැබ්, වගේම ගෙදර දොර උපකරණත් තවමත් අපි විදුලියට සම්බන්ධ කරන්නේ වයර් වලින්. 2000 වර්ෂය ආසන්නයේදී වගේම ඉන් පෙර සහ පසුත් මේ වයර් නැති විදුලි සම්ප්‍රේෂණ ජනප්‍රිය කතාබහක් වුනා. ඒත් කොපමණ වැඩ ගත හැකි වුවත් බලශක්තිය ඉදිරියේ තවමත් චාජර සොයා යන ගැජට්ස් රැසක් තවමත් තිබෙනවා. එතුමාගේ නායකත්වය පැවති කාලසීමාව තුළම ලෝකයේ වයර්ලස් විදුලිය ගෙනියන්න හැකියාව ප්‍රචලිත උනේ නැහැ.

 

ෆෝන් එක මොක වුනත් මාදිලිය මොන රටේ නිපදවූවත් කාලයක් තිස්සේ ෆෝන් එකට ආව 3.5 මිලිමීටර් ජැක් එක වෙනස් වුනේ නැහැ. ඒ සම්මතය ඉතා මැතකදී ඇපල් අය කඩලා වයර්ලස් හෙඩ් සෙට් හඳුන්වා දුන්නා. වයර්ලස් හෙඩ් සෙට් තියෙනවා තමයි. ඒවා ප්‍රබල බවත් ඇත්තයි. එහෙත් තවමත් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් රැසක මෙම පරණ ජැක් එක එනවා.

 

ස්මාට්ෆෝන් යුගයේ ටච් ස්ක්‍රීන් දක්වා කී බෝඩ් දියුණු වුනත්, කී බෝඩ් එකේ අකුරු තිබෙන පිළිවෙල වෙනසක් වුනේ නැහැ. කුඩා කාලයේදී අපිට මේ යතුරු පුවරුවේ අකුරු ඇයි හෝඩියේ පිළිවෙලට නැත්තේ කියන්නේ සැලකිය යුතු ප්‍රශ්නයක්. ඒත් පර්යේෂණ වලින් සොයාගෙන, ඒ කාලයේදී වඩාත්ම භාවිතා වෙන අකුරු වලට ප්‍රමුඛස්ථාන ලැබෙන විදියට මෙම අකුරු ටයිප් කිරීමේ කී බෝඩ් නිර්මාණය කරන්න විද්‍යාඥයින් උත්සාහ කලා. පැරණි ටයිප් රයිටරයෙන් ටැබ් එක දක්වා ටයිපින් වැඩේ ඉදිරියට ගියත් කී බෝඩ් එකේ කීස් තිබෙන විදිය වෙනසක් වුනේ නැහැ.

 

කම්පැක්ට් ඩිස්ක් එහෙම නැතිනම් සීඩී කියන්නේ ෆ්ලොපි ඩිස්ක් කාලයේ සිට පවතින තාක්ෂණයක්. බ්ලූ රේ, ඩීවිඩී ආදී ලෙස තාක්ෂණයෙන් නවීකරණය වුවත් ඩිස්ක් එකේ හැඩය සහ ප්‍රමාණය වෙනස් වුනේ නැහැ. සීඩී වල හැකියාව, ධාරිතාව වැඩිවුනා. එහි ගබඩාකල හැකි දත්ත විශ්වාසනීයව ගොඩක් කල් තබාගන්න හැකි වුනා. ඒත් සීඩී තවමත් අපි අතර භාවිතයේ තිබෙනවා.

 

එදා අසූ ගණන් වල අගදී පරිගණකයේ ආකෘතිය වෙනතකට ගෙන ගිය මූසිකය හෙවත් මවුස් එකට ටච් පෑඩ් හමුවේ යම් බලපෑමක් ආවා. අලුතින් එන ටැබ්ලට් පරිගණක ආදිය සම්පුර්ණයෙන් ටච් ස්ක්‍රීන් වුවත් තවමත් මවුස් පාවිච්චි වෙන පරිගණක භාවිතයේ තිබෙනවා. එතුමාගේ දේශපාලනයේදී මුල් කාලයේදී එකට සිටි අයගේ පුත්‍රයින් එතුමාගේ පක්ෂයේ අද මුල් පෙළ අසුන් වල සිටිනවා. ඒ පරිදි මවුස් එකේ රුව, ගුණ, වේගය වෙනස් වුනත් තවමත් පරිගණකයක් එනවා නම් මවුස් පුතෙක් එක්කම ගන්න පුරුද්දක් අපිට තියෙනවා.

 

වසර 2000ට පෙර පරිගණක විද්‍යාව හදාරන විටත් ගෙදර දොර භාවිතා කල හැකි ප්‍රින්ටර් වල තාක්ෂණ තුනක් ප්‍රධාන කොට තිබුනා, ඩොට් මැට්‍රික්ස්, ඉන්ක් ජෙට් සහ ලේසර්. ලේසර් ප්‍රින්ටර් වල මිල සීඝ්‍රයෙන් අඩුවෙලා පහසු මිලට තිබුනත් මේ ප්‍රින්ටර් වල මූලික තාක්ෂණ වෙනස් වූයේ නැහැ. වේගය සහ තත්ත්වය ඉහළ ගියත් තාමත් පරිගණක තාක්ෂණ පෙළ පොත්වල ප්‍රින්ටර් කියද්දි මේ මූලික ක්‍රමවේද තුනේ ප්‍රින්ටර් ගැන සඳහනක් අනිවාර්යෙන් තිබෙනවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here