නින්ද කියන්නේ පොදුවේ ඔබ අප කාටත් අත්‍යාවශ්‍ය දෙයක්. දවසේ වැඩි කාලයක් අවදිව සිටිමින් අපේ මොළය සහ ශරීරය හරියට යන්ත්‍රයක් වගේ ක්‍රියාකරනවා. ඉතින් මේ යන්ත්‍රයට විවේකයක් ලැබෙන්නේ නින්දේ දී යි. එපමණක් නොවෙයි දවසේ වැය කරන ශක්තිය නැවත එකතු කරගන්නත් නින්ද අපිට උදව් වෙනවා. නින්ද කියන්නේ ආහාර වගේම මිනිසාට අත්‍යාවශ්‍ය දෙයක්. ඉතින් මේ නින්ද හරිහැටි නොලැබුනොත් එය අපේ මොළයේ ක්‍රියාකාරීත්වයට බලපානවා. මේ ලිපියෙන් අප සාකච්ඡා කරන්නේ නින්ද අඩු වීම මානසික සෞඛ්‍යයට බලපාන ආකාරය ගැනයි.
වර්තමානයේ අප හැමෝම ගෙවන්නේ කාර්‍යබහුල ජීවිතයක්. අපේ දෛනික ජීවන රටාව නිසා ඇත්තටම බොහෝ දෙනෙක්ට ප්‍රමාණවත් ගුණාත්මක නින්දක් ලබා ගන්නවා කියන එක අපහසු කාරණාවක්. නමුත් අපේ කායික මානසික සෞඛ්‍ය රැක ගන්න නම් අවම වශයෙන්,
අවුරුදු 3ත් 5ත් අතර දරුවෙක් පැය 10 – 13 අතර
අවුරුදු 6ත් 12ත් අතර දරුවෙක් පැය 9 -12 අතර
අවුරුදු 13ත් 18ත් අතර දරුවෙක් පැය 8-10 අතර
වැඩිහිටි පුද්ගලයෙක් පැය 7ක නින්දක් ලබා ගත යුතුයි. නව යොවුන් විය දක්වා විවිධ අවධිවලදී දරුවන්ගේ බුද්ධිය ක්‍රමිකව වර්ධනය වනවා. එම නිසා ප්‍රමාණවත් සහ ගුණාත්මක නින්දක් ලැබීම දරුවන්ගේ බුද්ධි වර්ධනයට බලපාන වැදගත් සාධකයක්.
නින්ද සහ මානසික සෞඛ්‍ය අතර තිබෙන්නේ සංකීර්ණ සම්බන්ධයක්. නින්ද අඩුවීම සහ නින්ද අහිමිවීම නිසා මානසික ගැටලු ඇති වෙනවා වගේම දැනටමත් පවතින මානසික රෝගී තත්ත්වයන් තවත් උග්‍ර වීමත් සිදු වෙනවා. අපේ මොළයට පූර්ණ ධාරිතාවයෙන් යුතුව ක්‍රියා කිරීමට නින්ද අතාවශ්‍ය සාධකයක්. අඩු නින්දක් ලබන පුද්ගලයෙකුට බොහෝ විට තමන්ගේ කාර්‍යයන්ට අවධානය යොමු කිරීමේ අපහසුතාවයක් ඇතිවීමට පුළුවන්. ඒ වගේම ඔබේ මතකයේ තිබෙන දේවල් සිහිපත් කිරීම්ට අපහසු වීම, ඔබට පැවසීමට අවශ්‍ය කාරණාව සඳහා සුදුසු වචන සොයා ගැනීම අපහසු වීම වගේ ගැටලු ඇති වීමට පුළුවන්. ඒ වගේම ප්‍රමාණවත් හා ගුණාත්මක නින්දක් නොලැබීම නිසා වැඩිපුර කෝප ගැනීම, නුරුස්සනා ස්වභාවය වැනි මනෝභාවයන්හි වෙනස්කම් වගේම ආවේගශීලී බව, අධි ක්‍රියාකාරීත්වය, පුද්ගල සම්බන්ධතාවල ගැටලු ඇතිවීම වගේ චර්යාවල වෙනස්කම් ද ඇති වෙන්න පුළුවන්.
ආතතිය (stress)
බොහෝ විට අප එදිනෙදා සැලසුම් කරන වැඩ කටයුතු කර ගැනීමට කාල වේලාව මදි වූ විට අප අපේ නින්ද ඒ වැඩ සඳහා කැප කරනවා. නමුත් ඒක දිගුකාලීනව සිදු කිරීම නිසා අපේ මොළය ඉක්මනින් වෙහෙසට පත් වීම නිසා ඔබ ආතතියට ලක් වෙන්න පුළුවන්. ගුණාත්මක නින්දක් නොලැබීම නිසා ඔබේ සිරුරේ ආතති හෝර්මෝන මට්ටම ඉහළ යා හැකි අතර එම නිසා ඔබ ආතතියට පත්විය හැකියි. හොද නින්දක් ලබා ගැනීම සිරුරේ ආතති හෝර්මෝන මට්ටම අඩු කිරීමට උපකාරී වෙනවා.
කාංසාව (Anxiety)
කාංසාව විවිධ බලපෑම් නිසා ඇතිවිය හැකි තත්ත්වයකි. හොද නින්දක් ලබා ගන්නා පුද්ගලයකුට සාපේක්ෂව අක්‍රමවත් නින්දක් ලබන පුද්ගලයෙකුට කාංසා සහගත අත්දැකීමකට මුහුණ දීම සහ ඒ සමග ගනුදෙනු කිරීම අපහසු වනු ඇත. එම නිසා අඩු නින්ද කාංසාව වර්ධනය කරන අවදානම් සාධකයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.
ඩිමෙන්ශියාව (Dementia)
අඩු නින්දක් ලැබීම ඩිමෙන්ශියා රෝගය ඇතිවීමට බලපාන අවදානම් සාධකවලින් එකකි. පැය 6කට වඩා වැඩි නින්දක් ලබන පුද්ගලයින්ට වඩා පැය 5කට වඩා අඩු නින්දක් ලබන පුද්ගලයින්ට ඩිමෙන්ශියාව වැළඳීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින බව පර්‍යේෂණවලින් හෙළි වී තිබෙනවා.
මානසික අවපීඩනය (Depression)
දිගු කාලීනව නින්ද අහිමි වීම මොළයේ ස්නායු හා රසායනික වෙනස්කම්වලට හේතු විය හැකි බවත්, එය මානසික අවපීඩනය වර්ධනය වීමට බලපාන සාධකයක් විය හැකි බවත් පර්යේෂණවලින් හෙළි වී තිබෙනවා.
Saru Fm Media