ඔබත් ස්මාට් ෆෝන් එකට ඇබ්බැහි වෙලාද? – Saru News Media

0
11

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණ කෙනෙක්ව වුණත් ලේසියෙන් බේරගන්න පුළුවන් හැබැයි ස්මාට් ෆෝන් ඇබ්බැහිය අන්තිම භයානකයි. ඉස්සර නම් ෆෝන් එකක් තිබ්බේ කෝල් එකක් ගන්න. ඒත් නැත්තම් මැසේජ් එකක් දාන්න. ඒත් ස්මාට් වුණා විතරයි ඒ දෙක ඇරෙන්න අනික් හැමදේම කරන්න ෆෝන් එක පාවිච්චි කරන තැනට අපි අද පත්වෙලා. අද අපිට යාළුවො නැහැ. තියෙන්නේ ගඩොලක් තරම් ෆෝන් එකක් විතරයි. විසිහතර පෑ ඒක දිහා බලන් ඉන්නවා කියන්නේ එක ලෙඩක් නෙවෙයි ලෙඩ ගොඩක උල්පතක්. ෆෝන් එක ස්මාට් වුණත් ඒක ස්මාට් විදියට භාවිත කිරීම තියෙන්නේ ඔයාගේ අතේ. එහෙම නම් මේ ඇබ්බැහියෙන් මිදෙන්නේ කොහොමද කියලා බලමු.

 

කහල ගොඩ වගේ ඇප්ස් ගොඩගහගත්තම තමයි ඒකෙන් මේකට මේකෙන් ඒකට මාරු වෙවී ඉන්නේ. විශේෂයෙන්ම සෝෂල් මීඩියා ඇප් දෙකකට වඩා ඕනි කරනවද කියන එක ඇත්තටම ප්‍රශ්නයක්. එහෙම ඒවා තිබුණත් ඒ හැම එකක්ම ඇප්ස් විදියට ඩවුන්ලෝඩ් කරගෙන තියාගෙන විඳවන්න ඕනි නැහැ. අනවශ්‍ය ඒවා කියන දේ පදනම් වෙන්නේ ඔයා මොන වගේ පුද්ගලයෙක් ද කියන එක මතයි. උදාහරණයක් විදියට වෘත්තියමය ඡායාරූප ශිල්පියෙකුට ෆොටෝ එඩිටින් මොනවා හරි ඇප්ලිකේෂන් දෙක තුනක් තියෙන එක සහ ඒ සම්බන්ධ ජාලවල ඇප්ස් තියෙන එක සාධාරණයි. හැබැයි සාමාන්‍ය කෙනෙකුට එච්චර එකක් ඕනි නැහැ. වැඩිපුර තියෙන තරමටයි බලන්න පෙළඹෙන්නේ. ඕනි නැහැනේ ඉතින්.

 

දැන් හොයාගෙන තියන විදියට නිදාගන්න කාමරයක හතර මායිමකවත් ෆෝන් එකක් තියන්න නරකයි. මොළයට බලපානවා. ක්‍රියාවිරහිත කරත් නැතත් එච්චරයි. ඉතින් මේ කියන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි. ඕක ඒ විදියට කරේ නැත්නම් සැරින් සැරේ ඔබලා බලන්න හිතෙන නිසා. මර කරුවලේ වුණත් ඇස් කඩාගෙන යන ඒ සුදු එළිය දිහා බලන්න තියෙන අමුතු ඇබ්බැහිය ක්‍රියා විරහිත කරන එකෙන් හරි පොඩ්ඩක් මෙල්ල වෙයි නේ.

 

බැරිම තැන මේකත් කරලා බලන්න ඕනි. ෆෝන් එක පාවිච්චි කරන එක ලිමිට් කරන එක පරමාර්ථය නම් ඒකට මේ වගේ දේවලුත් උත්සාහ කරලා බලන්න ඕනි. ඒ කාලසටහනේ  හේතුවකටවත් වැඩ කරන වෙලාවට ෆෝන් එක භාවිත කිරීම තහනම් වෙන්න ඕනි. ඒ කියන්නේ ඔහේ ඔබ ඔබා ඉන්න එක. ඊට අමතරව අනික් කාලවල දී මොන තරම් කාල පරාසයක් මේ වෙනුවෙන් වැය කරනවද කියලා තමන්ට ම තක්සේරුවකට එන්න පුළුවන්. නිශ්චිත පැය ගණනක් දවසට පාවිච්චි කරාට පස්සේ එලාම් එකක් වදින්න වගේ වැඩ සිද්ධ කරා නම් හරි.

 

වෙන ෆෝන් කියන එකෙන් වෙනත් ස්මාට්ෆෝන් එකකට මාරු වෙන්න කියනවා නෙවෙයි. ඉස්සර නයා ගේම ගහපු ගලේ ගැහුවත් කැඩුනේ නැති Nokia කට්ට මතක ද? අන්න ඒ වගේ විශේෂාංග අඩු හුරුබුහුටි ෆෝන් පොඩ්ඩකට හුරු වුණා නම් ඔය මොකවත් නැහැ. දීර්ඝකාලීන පාවිච්චියට නෙවෙයි. මොකද අද කාලේ ස්මාට්ෆෝන් එකක් තියෙන එක වාසි නිසා. අර ඇබ්බැහිය අඩු වෙනකන් දවස් කීපයක් භාවිත කරලා ආයෙත් චුට්ටක් අනික් එකට මාරු වෙන ඒ ක්‍රියාදාමය සාර්ථක වෙන්න ඉඩ තියනවා.

 

අපිට නොටිෆිකේෂන් එන්න එන්න තමයි ඕක දිහා බලන්න ඇඟිලි නලියන්න ගන්නේ. අන්න ඒ නිසා කරුණාකරලා නොටිෆිකේෂන් සෙටින්ග්ස්වලට ගිහිල්ලා ඒ මගුල් පේන්නෙම නැති විදියට හරි හදාගන්න. එතකොට ඕක බලන්න හිතෙන්නේ නැහැ. නැත්තන් ඕක අතට ගන්නේ ටින්ග් ගාලා සද්දයක් ආවාම. ආයේ පැත්තකින් තියෙන්නේ අනික් පහුවෙනිදා තමයි. සෝෂල් මීඩියා ඇප්වල නම් නොටිෆිකේෂන් ඕනිම නැහැ. අත්‍යාවශ්‍ය ඇමතුම් සහ පණිවිඩවලට විතරක් තිබ්බම මදෑ.

 

කඩේට යනකොටයි පාටියකට යනකොටයි මරණෙකට යනකොටයි හැම එකට ම කේක් ගෙඩිය වගේ උස්සන් යන්න උවමනාවක් නැහැනේ ඇත්තට. එහෙම අරන් ගියාම කරන්නේ ඕක දිහා බලන් ඉන්න එක. ඇයි ඉතින් අනික් මිනිස්සු එක්ක මුහුවෙලා වැඩක් කරන්න බැහැනේ එතකොට. ඕවා ගෙවල්වල තියලා ගියාම මිනිස්සු ඇසුරු කරන්නත් ලැබෙනවා. සැරින් සැරේ බලන්න වෙන්නෙත් නැහැනේ.

 

වැඩ කරලා ඇවිල්ලා මහන්සියට කරන්නේ ෆෝන් එක බලන එක නම් එතනින් ගැලවෙන්න මෙන්න පොට! වෙනදා ෆෝන් එක දිහා බලලා ගත්ත සැප ම වෙනත් ඒ වගේ දෙයකින් ගන්න බලන්න. ඇස් දෙක පියාගෙන සින්දුවක් අහන්න බලන්න. නැත්නම් දවසේ වුණ දේවල් ලියන්න, ඒ ගැන පවුලේ කෙනෙක් එක්ක කතා කරන්න. රහ කෑමක් උයන්න. ෆෝන් එකක් දිහා බලන් ඉන්නවට වඩා කරන්න කොච්චර වැඩ තියනවා ද!

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here