ඔබේ මුළුතැන්ගෙය ආක්‍රමණය කරන අනාගත තාක්ෂණය මොන වගේ වෙයිද? – Saru News Media

0
18

තාක්ෂණය කියන දේ මේසෙ උඩින් සාක්කුවට ඇවිත් දැන් සෑහෙන කාලයක් වෙනවා. දැන් එන්න හදන්නෙ කුස්සියට. කුස්සිය එහෙමත් නැත්තං මුළුතැන්ගෙය කියන්නෙ සාමාන්‍යයෙන් තාක්ෂණයෙන් විතැන් වෙච්ච තැනක්. එහෙම විතැන් වෙච්ච තැනක් තාක්ෂණය විසින් ආක්‍රමණය කිරීම අසීරු දෙයක්. ඒ අසීරුව ජයගතහොත් එය විශේෂයෙන් ශ්‍රී ලාංකිකයන්ට ප්‍රයෝජනවත් වේවි. මන්දයත් අප සාමාන්‍යයෙන් වැඩි වේලාවක් උයන්නටත්, එලෙසින් ඉවූ දේ මිනිත්තු දහයක් වැනි කාලයක් ඇතුළත ආහාරයට ගන්නටත් පුරුදු වූ පිරිසක් නිසායි. එනිසා ඉවීම් කටයුතුවලට යන කාලය අඩු කරන්නට හැකි නම් එය වඩා ප්‍රයෝජනවත් කාර්යයක් වේවි.

 

එළවළුවක් පළතුරක් ගහෙන් වැලෙන් කඩපු ගමන් ප්‍රයෝජනේට ගන්න අපි ෆාමර්ස්ලා නෙමෙයිනෙ බ්‍රෝ. මේ කොළොංතොටේ පළතුරු එළවළු වවන්නත් ඉඩක් නැහැනෙ. ඉතිං ගේන දේ කොහොමත් ළඟ කඩේට එන්නෙ පරක්කු වෙලා. ඒක අපිට එන්නෙ ඊටත් පරක්කු වෙලා. ඒකත් තව දවස් තුනක් හතරක් ෆ්‍රිජ් එකේ දාගෙන ඉඳලා උයන්න ‌හෝ කන්න අතට ගත්තම අපිට දැනෙන්නෙ පට්ට ෆ්‍රෙෂ් කියල. ඒ අතට දැනෙන සීතල නිසයි පෙනුමෙන් අවුලක් නැති නිසයි. ෆ්‍රිජ් එකෙන් කෙරෙන්නෙ ආහාර කල් තියාගන්න එක උනාට අළුතෙන්ම කඩාගන්න එළවළුවක ගුණාත්මක බව රකින එක ෆ්‍රිජ් එකකින් වෙන්නෙ නෑනෙ ඔය ඇඩ් වල කොහොම කිව්වත්. නැවුම් බව එක්කම ගුණයත් ඒ විදියටම රැකගන්න ක්‍රමයක් තිබ්බ නම් ගොඩ.

 

අනාගතේදි කුස්සියට ඕන කරනම දෙයක් ගැනයි මේ කියන්නෙ. කුස්සියක් කියන්නෙ චැලේන්ජ් කරන තැනක් නෙමෙයිනෙ. කොහොමහරි රසට ගුණට කෑම ටිකක් හදාගන්න තැනක්. එහෙම තැනකට ඕන ගාණට මිම්මට වැඩ සිද්ධ වෙන මෙහෙම මැෂිමක් තමයි. ඕවර් කුක් නොවෙන්න. රස නියමෙට හැදෙන්න. රෙසිපිය දුන්නම ඇඩ් වෙන්න ඕන දේවල් ප්‍රමාණ එක්ක ඉන්ඩිකේට් කරන කුකර් එකක් සහ ඒකට මොකක් හෝ තාක්ෂණයකින් කනෙක්ට් වෙච්ච භාණ්ඩ ටිකක් උවමනායි.

 

මිනිස්සු දැන් දැන් ආයෙත් ගුණ ගැන හිතන්න පටන් අරගෙන. ඇත්තටම ඉතිං ජීවිතේ ගැන හිතුවොත් රසට වඩා ගුණ වැදගත්නෙ. මොකද ඉතිං දිවට වඩා මුළු ඇඟම ලොකුයිනෙ. එනිසා ආහාරවල ගුණ නොනැසෙන විදියට පිසගන්නට හැකි දර්ශකයක් මුළුතැන්ගෙයට තිබීම යෝග්‍යයි. එයට තිරයක් ලෙසින් කටයුතු කරන්නට බැරිනම් වයිෆයි හරහා දුරකතනයට සම්බන්ධ වීමේ හැකියාවත් තිබීම වාසියක් වේවි.

 

ඉස්සර වගේම දැනුත් කුස්සියේ වැඩට දක්ෂ ගෘහණියන්ට පුළුවන් උනාට, අනාගත ගෘහණියන්ට පවුලේ ගාණට අවශ්‍ය ප්‍රමාණ හරියට මැනගන්න එක ලේසි නෑ. ආහාර හිඟයක් උනත් ඇති වෙන්න පුළුවන් අනාගතේදි. ඒ නිසා අපි ආහාර නාස්තිය අවම කරගන්න එක වැදගත්. ගෙදර ඉන්නෙ තුන්දෙනෙක් නං ඒ තුන් දෙනාට උයන්න හාල් කොච්චර ඕනද? කියන දේ තීරණය කළ හැකි උපාංගයක් ගැන හිතන්න. ඒ ඒ පවුලේ සාමාජිකයින්ගේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය, උස සහ මහත ඇතුළත් කරපු මේ ගැජට් එකෙන් මේ තුන් දෙනාට දිනකට අවශ්‍ය හාල් ප්‍රමාණය සහ ඔවුන් එකිනෙකා ආහාරයට ගත යුතු ප්‍රමාණය දක්වනවානම් එය ආහාර නාස්තියටත් පිළියමක් වගේම ශරීර සෞඛ්‍යයටත් හොඳ තත්ත්වයක්.
දැනටමත් නියමිත ප්‍රමාණ වලින්, රසවත් වගේම සෞඛ්‍යයට හිතකර ආහාර පිසගැනීම සඳහා රොබෝ තාක්ෂණය භාවිතා කිරීමට කටයුතු සකස් වෙමින් පවතිනවා. පහත වීඩියෝවේ දැක්වෙන්නේ එවැනි නිර්මාණයක්.

 

කිචන් මැනේජර් එකක් කියන්නෙ මොකද්ද? ඒක සම්පූර්ණ මුළුතැන්ගෙය ගැනම අවධානයෙන් ඉන්නෙ. ගෙදර ලුණු සීනි වගේ දෙයක් අඩු වෙනවානං ඒක අපිට දන්වනවා. ගෙදර එළවලු පළතුරු තියෙන්නෙ මොනවද කියල අපිට ෆ්‍රිජ් එකේ තියෙන මැනේජර් එකට සම්බන්ධ කැමරාවෙන් දකින්න පුළුවන්. එනිසා නිකරුනේ විසික් කරන්න කෑම ගේන්නෙ නැතුව අවශ්‍ය පමණට එළවලු පළතුරු ගන්නත් පුළුවන්. ඒ වගේම අපි පහුගිය කාලය පුරාවට කෑවෙ බිවුවෙ මොනවද කියල කිචන් මැනේජර් එකේ තියෙනවා. එනිසා අපිට ප්‍රෝටීන් අඩංගු ආහාර අඩුවෙන් වැටුනානං ඒක අපිට දන්වනවා.

 

කුස්සියක මුලින්ම තියෙන්න ඕන දෙයක් තමයි ආරක්ෂාව. ඒකට හොඳ සෙන්සර් පද්ධතියක් හදිසි ගිනි ඇවිලීමකදී ක්‍රියාත්මක විය යුතුයි. ඒ වගේම ගෑස් කාන්දුවක් හඳුනාගැනීමටත් එම සෙන්සර් පද්ධතියට හැකි විය යුතුයි. ඒ වගේම පිහිවලින් සිදුවන කැපුම් අවම කිරීමට දැනට පළතුරු සහ එළවළු වලට එන කැපුම් උපකරණ වගේම මාංශ වර්ග කැපීමටත් යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය වෙනවානම් කදිමයි.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here