ලෙඩ දුක්, රෝගාබාධ කියන එව්වා කලින් කියලා එන්නේ නැහැ. සාමාන්‍යයෙන් සුව කිරීමට පවා අපහසුයි කියලා සැලකෙන රෝගාබාධයන් පවා අපේ සමීපතමයෙකුට නොහිතන මොහොතකදි වැළඳිය හැකියි. හැබැයි ඒ කියන්නේ හැමදේම අවසානයි කියන එක නෙවෙයි. අපේ ජීවිතය පවතින තුරාවට බලාපොරොත්තුව රැඳී තිබිය යුතුයි. අන්න ඒ නිසාම අපි මේ වගේ අවස්ථාවකදී කරන්න ඕන දේවල් සම්බන්ධයෙන් පෙළගැස්මක් වැදගත් වෙන්නේ.
මේ තමයි මූලික කාරණාව. පවතින යථා තත්ත්වය පිළිගැනීම. ඒ කියන්නේ, අපේ ආදරණීයයෙක්ට යම් කිසි දරුණු රෝගී තත්ත්වයක් වැළඳිලා නම්, වෛද්‍යවරු ඒ සම්බන්ධයෙන් යම් කිසි මතයක් ප්‍රකාශ කරනවා නම්, අපිට යතාර්ථය ඒකයි කියලා පිළිගන්න සිද්ධ වෙනවා. එතනදී අපිට අවශ්‍ය නම් දෙවැනි හෝ තෙවැනි වෛද්‍ය මතයක් විමසන්න පුළුවන්. ඒකේ ගැටළුවක් නැහැ. හැබැයි ඒ හැම විනිශ්චයකදීම කියවෙන්නේ රෝගය යම් කිසි දරුණු තත්ත්වයක තියෙනවා කියන එක නම්, තවදුරටත් ඒක නොපිළිගන්න උත්සාහ කරන එකේ තේරුමක් නැහැ. තත්වය ඇති සැටියෙන් පිළිගත්තට පස්සේ අපිට පුළුවන් එතනින් එහාට කටයුතු කරන විදිය හිතන්න.
බලාපොරොත්තුව කියන්නේ ඉතාම අරුම පුදුම බලවේගයක්. ජීවත් වෙලා තවදුරටත් වැඩක් තියෙනවද කියලා හිතෙන මොහොතක පවා බලාපොරොත්තුව අපිව ජීවත් කරවනවා, ජීවිතේ ඉදිරියට යන්න අපිට ශක්තිය ලබාදෙනවා. අන්න ඒ නිසා අපි අපේ හිතේත් බලාපොරොත්තුව වර්ධනය කරගන්න ඕන. අසීරු අවස්ථාවක ඉන්න අපේ සමීපතමයාගේ හිතේත් බලාපොරොත්තුව ඇති කරවන්න උත්සාහ ගන්න ඕන. මොන දෙයක් සිද්ධ වුනත්, හැමදේම නරකින් නරකට යනවා වගේ පෙනුනත්, හෙටත් අපිට ඉරක් පායනවා කියන බලාපොරොත්තුව අපේ හිතේත්, රෝගාබාධයෙන් පෙළෙන අපේ සමිපතමයාගේ හිතේත් ඇතිකරවන්න ඕන.
අපි සමහරු ඉන්නවා, තවත් කෙනෙක්ගෙන් උදවුවක් ගන්න හරිම මැලිකමක් දක්වන්නේ. හැබැයි මතක තියාගන්න, තමන්ගේ පවුලේ අතිශයින්ම සමීපතමයෙකුට දරුණු රෝගාබාධයක් වැළඳෙනවා කියන්නේ, අපිට අනෙක් අයගේ උදවු අවශ්‍ය වෙනවා කියන. තවදුරටත් ඔටෝ පයිලට් දාලා ජීවිතේ ගෙනියන්න බැහැ. අපේ කාලයෙන්, ශ්‍රමයෙන්, ශක්තියෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අපේ ආදරණීයයා වෙනුවෙන්, එයාගේ මානසිකත්වය වෙනුවෙන්, ප්‍රතිකාර සහ වෙනත් වුවමනා එපාකම් වෙනුවෙන් වැය කරන්න වෙනවා. අන්න ඒ නිසා අපිට හිතමිතුරන්ගෙන්, නෑදෑයන්ගෙන්, අනෙකුත් ආදරණීයයන්ගෙන් වගේම රැකී රක්ෂා ස්ථානයන්වල ඉන්න එකට වැඩ කරන අයගෙන් පවා උදවු උපකාර වුවමනා වෙනවා. හැබැයි අපි ඒ අයට ඒ බව කිව යුතුයි. ඒ අයගේ උදවු පිළිගත යුතුයි.
මෙන්න මේ කාරණාවත් කොයිතරම් වැදගත්ද කියලා තේරෙනවනේ. අපේ ආදරණීයයාව ගොඩදාන්න නම් අපිත් කෙලින් ඉන්න ඕනෑ. ඒ කියන්නේ මානසිකව හොඳ සෞඛ්‍ය මට්ටමකින් ඉන්න ඕන විතරක් නෙවෙයි, ශාරීරිකවත් හොඳ සෞඛ්‍ය මට්ටමකින් ඉන්න ඕන. කොටින්ම කියනවා නම් වෙලාවට කන්න, වෙලාවට නිදියන්න ඕන. අනවශ්‍ය අනතුරු කරදර සිද්ධ නොවෙන විදියට කල්පනාවෙන් ඉන්න ඕන. ඔය එක්සයිස් පාරක් එහෙමත් දිනපතා දැම්මට කමක් නෑ. මොකද ස්ට්‍රෙස් එක පාලනය කරන්න ශාරීරික යෝග්‍යතාවයත් බලපානවා. අන්න ඒ නිසා.
අපේ ආදරණීයයාට වැළඳී ඇති අසනීපය හෝ මුහුණ දීමට සිදුවී ඇති වෛද්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අපිත් දැනුවත් විය යුතුයි. ඒකට හේතුව තමයි, සැබෑ තත්ත්වය දැන සිටින තරමට අපිට යතාර්ථයට අනුගත වෙන්න හැකියාව තිබීම. ඒ වගේම ඒ අසනීපය හෝ වෛද්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අපේ හිතේ වැරදි තොරතුරු සහ මිත්‍යා මත තියෙන තරමට, අපිට ආදරණීයයාට උදවු කරන්න තියෙන අවස්ථාව ව්‍යාකූල වෙනවා. අන්න ඒ නිසා අපිට අන්තර්ජාලයේ පිළිගත් මූලාශ්‍ර ඔස්සේ හරි, ආදරණීයයාව පරීක්ෂා කරන වෛද්‍යවරයා ඔස්සේ හරි මේ තොරතුරු ලබාගන්න පුළුවන්.
සමහර වෙලාවට බරපතල අසනීප තත්ත්වයකට ගොදුරු වෙලා ඉන්න ආදරණීයයෙක්ට මරණය ගැන වුනත් කථා කරන්න වුවමනා වෙන්න පුළුවන්. ඒක අපිට දරන්න ටිකක් අමාරු දෙයක් වෙන්නත් පුළුවන්. ඒත් එහෙමයි කියලා එයාගේ කථාව නතරකරන්න උත්සාහ කරන එක නෙවෙයි කළ යුතු දේ වෙන්නේ. ඒකෙන් සිද්ධ වෙන්නේ එයා අපිත් එක්ක එයාගේ හැඟීම් නොකියා ඉන්න උත්සාහ කරන එක විතරයි. අන්න ඒ නිසා අපි ආදරණීයයාට ඇහුම්කන් දීම සිද්ධ වෙන්න ඕන දෙයක්.
අනෙක් අතට, බරපතළ රෝගාබාධයකට මුහුණ දී සිටින ආදරණීයයෙක්ට හදිසියෙන් කේන්ති යන ස්වභාවයක් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම එයාට අමතක වීම් වගේ තත්ත්වයන් ඇතිවෙන්නත් පුළුවන්. මානසික පීඩනය, විෂාදය වගේ තත්ත්වයන් ඇතිවෙන්නත් පුළුවන්. ඒක අපිත් ඉන්න තත්ත්වයත් එක්ක දරන්න අපහසු වෙන්නත් පුළුවන්. හැබැයි මතක තියාගන්න, අපේ ඉවසීම උපරිමයෙන් තිබිය යුතු අවස්ථාවක් මේක.
Saru Fm Media