කල් යන්න යන්න පරණ වෙන ආදරේ අලුත් කරගමු – Saru News Media

0
9

චිත්‍රපටවලින් හෙම දකින ආදරේ චිල් එක බොකු බඩවැලට කිඳාබහින්නේ ඒ ආදරේ මුල් කාල වකවානුවේ විතරයි. ගඟේ වතුර මූදට වැටෙනකම් තමයි ගල්වල හැප්පී හැප්පී කැටයම් දදා යන්නේ. මූදට ගියා විතරයි නිකන්ම ලුණු රහ වතුර ටිකක් වෙනවා. ආදරෙත් රසතැන් එහෙම වෙනවා. ඒක එක අතකින් බොළඳ බවින් මිදිලා සෑහෙන සිරා කරන ආදරයක් වෙන්නත් පුළුවන්. හැබැයි බොළඳ බවක් නැති ආදරයක මොන සුවයක් ද? පරණ වෙන ආදරේ අලුත් කරලා ගන්න ඕනි මෙන්න මේ නිසයි ඉතින්.

 

යාළු වෙන්න කලින් අවධිය වන ටෝක් කරන අවධියේ ටොපි චොකලට් දුන්නට මොකෝ ඔක්කොම හරි ගියාට පස්සේ දෙන්නටම විතරක් වෙන් වෙලා වගේ දැනුණ අවන්හල් තියෙන්න ඇති. ඒ බොළඳ බවින් මිදිලා හෙන ඩයල් වුණත් හරි මේ පැත්ත පළාතක යන්නේ නැතුව ඇතිනේ. ඒ මිහිරි මතක ආයේ මතක් කරගන්නත් එක්ක සතියකට සැරයක්වත් දෙන්නා කොහේ හරි කෑමකට යන්න ලෑස්ති වෙන්න. ආයේ ඉතින් තරු පහේ වෙන්න ඕනි නෑ. ගෝල්පේස් පැත්තේ ගිහින් නානාගේ කඩෙන් කොත්තුවක් හරි කමක් නෑ.

 

කෙනෙක් පුදුම වෙන්නේ නොහිතපු වෙලාවක නොහිතන විදියේ දෙයක් වෙනවා නම්. ඇල්මැරුණු ආදරයකටත් ඒ කතාව අදාළයි. ඒ දවස්වල එක එක පුදුමයන් ජීවිතයේ තියෙන්න ඇති. එයා වෙනුවෙන් කරපු කැපකිරීම් ඔක්කොම හරිම පුදුමාකාරයි. නමුත් දැන් දෙන්නාට දෙන්නා හිමි වෙලා තියෙද්දිත් ආයේ මක්කැයි. ළඟ ම හිතමිත්‍රාදීන් ට එන්න කියලා එයාට හොරෙන් ම පාටියක් ඕගනයිස් කරන්න පුළුවන්. ඒත් නැත්තම් තමන්ගේ අතින් ම නිර්මාණය කරපු හුරුබුහුටි දෙයක් එයාට දෙන්න. මේවා හරිම පොඩි දේවල්. හැබැයි ලොකු බලපෑමක් ඇති කරවනවා.

 

ලව් ඉලව් වෙන්න ප්‍රධාන හේතුවක් තමයි හිතේ දේවල් හිර කරගෙන මැරෙන්න දඟළන එක. එයාට ඕනි මොනවද කියලා මෙයා දන්නේ නැහැ. මෙයාට ඕනි මොනවද කියලා එයා දන්නේ නැහැ. ඉතින් දේවල් මෙන්න මෙහෙම වෙන්න ඇති කියලා හිතාගෙන තීන්දුවලට ඇවිල්ලා නිකන් බොරුවට හිත් නරක් කරගෙන ඉන්නවා. එක්කෙනෙක් ඉදිරිපත් වුණා නම් අනිකත් නිකන් ම කතා කරනවා. අනෙකාගෙන් බලාපොරොත්තු වෙන දේවල්, හිත රිදෙන තැන් මේ දේවල් ගැන බය නැතුව දෙන්නා කතා කරනවා නම් ආයෙත් මුල ඉඳන් පටන් ගන්න පුළුවන්

 

ඉස්සර වුණත් කාලයක් තිබුණා එයා කෝල් කරේ නැත්තම් මාත් කොරන්නෑ වගේ ඒවා. කෝල් කරන්න පරක්කු වුණොත් මාගල් වගේ ටෙක්ස්ට් එවලා සමාවගත්තු මතක. එතන තනිකර ම තිබුණේ බොළඳ බවක්. හැබැයි ආදරයත් මහ ගොඩක් තිබ්බා. ආදරේ පරණ වෙනවා වගේ දැනෙන්නේ එහෙම දේවල් ජීවිතේ නැති නිසා. දැන් දෙන්නා අතරේ මොකක් හරි හබයක් තියන නිසා එක්කෙනෙක් ඉදිරිපත් වෙලා ආදරේ නාමයෙන් සමාව ගන්න ම වෙනවා. නැත්තන් ඕක කෙළවරක් වෙන්නේ නැහැ.

 

ඉස්සර කෝමද තෑග්ගක් එයාට දෙන එකත් ඉන්දියානු පකිස්ථාන් බෝඩරේ හරහා යනවා වගේ තමයි. කෙළින් ම තමන් දෙනවට වඩා යාළුවන්ගේ අතේ තමයි ඕවා යැවුණේ. තෑග්ග පිළිගත්තා නම් ආයේ ඉතින් ඊට වඩා දෙයක් නැහැ. ඊට පස්සේ ටික දොහකින් ඒ පැත්තෙන් මේ පැත්තටත් එක එක ඒවා ලැබෙනවා. මේ ආදරේ මුල. ඊට පස්සේ ඉතින් උපන්දිනේකට වුණත් සාම්ප්‍රදායික තෑග්ගක් හැරෙන්න යමක් නොලැබෙන්න ඇති. ඒ කාලේ වගේ ම පුංචි දෙයකින් පටන් ගන්න පුළුවන්. තෑගිවලින් සංකේතවත් වෙන්නේ දෙයක් අරන් දෙන එක ම විතරක් නෙවෙයි. මතකයේ සුවිශේෂ තැනක ඉන්නවා කියන එකයි.

 

කවියා කියන්නේ ආදරවන්තයා ද, ආදරවන්තයා කියන්නේ කවියා ද කියලා හිතන්න බැරි තරමට දෙන්නා එක වගෙයි. ඒ දවස්වල තාලෙට අප්පුඩියක් ගහන්න බැරි වුණත් අමාරුවෙන් පද ගලපලා දුන්නේ එයා වෙනුවෙන් කරන්න බැරි දෙයක් තිබ්බේ නැති නිසයි. ඒත් එයාව හිමි වුණාට පස්සේ ඒ අගය අඩු වුණා නම් එයාව ඒ කාලෙට ආයෙත් එක්කන් යන්න කවියකට පුළුවන්. රෑ නින්දට ගියාම කවියක් ලියලා පේන මානෙක තිබ්බොත් උදේට නැගිටලා ඉස්සෙල්ලා ම කරන්නේ කවිය කියවන එක.

 

මේක ඉස්සෙල්ලා ම කරත් කමක් නෑ. ඒ දවස්වල  නිතර නිතර කිව්ව දෙයක්. ආදරෙයි කියලා දන්නවා වුණාට ඒක කනට ඇහෙන්න ඕනි ම දෙයක් බවට පත් වෙලයි තිබුණේ. ඒ ආදරේ හිමි වුණාම ආයෙත් කියන්න තරම් දෙයක් ඉතුරු වෙලා නැතැයි කියලා හිතුණ නිසා ඒක ජීවිතෙන් මග හැරුණා. ඒත් එයාගේ ඇස් දිහා බලාගෙන එදා වගේ ම ආදරේ කිව්වොත් තනිකර ම බොලිවුඩ් චිත්‍රපටියක් තමයි ඒක. වයින් පරණ වෙන්න වෙන්න හොඳ වෙනවා නම් ආදරේටත් එහෙම වෙන්න පුළුවන්. ඒත් අපිට ආදරේ හිමි කරගන්න කාපු කට්ට අමතකවීමකුයි තියෙන්නේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here