කසාද බඳින්න කලින්ම සෙක්ස් කළොත් අප්සට්ද? – Saru News Media

0
20

මේවා ඉතින් කෙලින් නොකිව්වට ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකේම ගත්තත් දැවෙන ප්‍රස්නනේ. දැන් මේ කසාදෙට කලින් සෙක්ස් කරන එක හොඳයිද නරකයිද කියලා අහන ප්‍රශ්නේ පැති කීපයක් තියෙනවා. ඒ හැම පැත්තක් දිහාම බලන්න උත්සාහ කරලා මේ ගැන පොඩි අදහසක් ලබාදෙන්න තමයි අපි උත්සාහ කරන්නේ.

 

මෙන්න මේ කොටස කියනවා තමන්ගේ ලිංගිකත්වය සහ ලිංගික ක්‍රියා කියන්නේ සමාජයේවත්, වෙන කාගේවත් වැඩක් නෙවෙයි, ඒක තමන්ගේ වැඩක්ය කියලා. එහෙම කෙනෙක් ස්වාධීන වෙන එකට අපිට මොකුත් කියන්න බෑ තමයි. විශේෂයෙන්ම ඒ ස්වාධීනත්වයත් එක්ක වගකීම් සහගත බවක්, ප්‍රවේසම් සහගත බවක්, දුරදිග බැලීමක් වගේ ගුණාංගත් තියෙනවා නම් ඒකට අපිට කියන්න කිසිම දෙයක් නෑ.මෙහෙම කියන්නේ එක හේතුවක් නිසා. එකක්, වගකීමක් නැතිව පාවිච්චි කරන වල්බූරු නිදහස භයානකයි. ඒක සෙක්ස් සම්බන්ධයෙනුත් එහෙම තමයි.

 

විවාහ වෙන්න කලින් සෙක්ස් කරන එකට විරුද්ධ වෙන අය කියන්නේ විවාහ වෙන්න කලින් තමන්ගේ බෝයිෆ්‍රෙන්ඩ් හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි එක්ක වුනත් සෙක්ස් කරන එක අපරාධයක්ය, සදාචාර විරෝධී ක්‍රියාවක්ය, ඇතැම් වෙලාවකට පාපයක්ය කියලා තමයි. ඔව්, මේවාට ආගම ගාවගන්න එකත් සෑහෙන්න වෙනවා. මේ අය සමහර වෙලාවට කිස් එකක් දෙනවට විරුද්ධ වෙන එකක් නෑ. වැළඳ ගැනීමක් වුනත් ඕකේ වෙන්න පුලුවන්. එතනින් එහාට පු‍තෝ වානා. හැබැයි සමහර දැඩි මතධාරියෝ ඉන්නවා අතින් අල්ලනවා, නළලට කිස් එකක් දෙනවා ඇරෙන්න බඳින්න කලින් ඇ‍ඟේ හැප්පෙන්නෙවත් නෑ!

 

ඇත්තම කිවුවොත් මේ තමයි බහුතරය. ඒ කිවුවේ මෙහෙමයි. දැන් ලංකාවේ ගත්තොත් ගෑණු ළමයෙක්ගේ පාරිශුද්ධ භාවය ගැන බුදු අම්මෝ මෙව්වා එකක් තියෙනවනේ. එතකොට ඔය පාරිශුද්ධ භාවය මනින්නේ හොඳ ගතිගුණ, අවංක අදහස් වගේ ඒවලින් නෙවෙයි. කන්‍යාභාවයෙන්. ඔව් අර කියන්නේ කන්‍යා පටලය කියලා, අර මුලින්ම සෙක්ස් කරාම කැඩෙනවා කියන්නේ, අන්න ඒකෙන්. ඔය කතන්දරේ සමාජයක් විදියට ගත්තත් කොයි තරම් පසුගාමීද කියලා අපි පස්සේ දවසක සාකච්ඡා කරමු. හැබැයි පොයින්ට් එකට ආවොත්, ගොඩක් වෙලාවට විවාහයට කලින් සෙක්ස් කරන්නේ නැත්තේ ප්‍රධාන වශයෙන් මේ විවාහයේදී කරන කන්‍යා පටල පරීක්ෂණය නිසා. ආන්න ඒ හින්දා ගොඩක් කපල් සෙක්ස් කරනවා. හැබැයි වැජෙයිනල් පෙනට්‍රේෂන් සෙක්ස්, ඒ කිව්වේ යෝනි මාර්ග සංසර්ගයට යන්නෙ නෑ. ඊට පස්සේ ඉතින් කසාදේ දවසට රෙදි නැන්දෙක් ආවත්, නැන්දම්මෙක් ආවත් ප්‍රශ්න නෑනේ.

එහෙමද හිතාගෙන ඉන්නේ? මේ කන්‍යාභාවය බලනවා කියන කාරණයම ගැටළුවක්. මොකද සමහරුන්ට උපතින්ම කන්‍යා පටලය පිහිටන්නේ නෑ. තව සෑහෙන කොටසකගෙ ජීවිත කාලේ ඇතුළත ලිංගික නොවන ක්‍රියා නිසා ඕක කැඩෙන්නත් පුලුවන්. ඒ මොන දේටත් වැඩියෙන් අපි කවුද ඕයි වෙන මනුස්සයෙක්ගේ ඇ‍ඟේ කෑලි බෑලි ගැන ජජ් කරන්න???

 

ඔව්, කසාද බඳින්න කලින් සෙක්ස් කිරීමේදී වැඩි අවදානමක් “අපේ සමාජේ හැටියට” තියෙන්නේ කාන්තාවට. ඇයි? අපි කියමු ඔන්න බෝයිෆ්‍රෙන්ඩ් එක්ක සෙක්ස් කරනවා. ඉන් පස්සේ මොකක් හරි නිසා ඒ සම්බන්ධේ කැඩෙනවා. ඊළඟට කසාද බඳින එකා කන්‍යා පටලය ගැන මහ ඉහළින් හිතනවා. දැන් ඔතනදී කෙල්ල මූණදෙන අත්දැකීම මොකක්ද?

මෙතනදී අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි. කෙල්ලෙක්ව කසාද බඳින්න තියෙන්න ඕන අදහස් ගැලපීම, ගැලපෙන ගතිගුණ, අවබෝධය වගේ කාරණා නැතුව කන්‍යා පටලය කියලා හිතෙන මනුස්සයෙක් ඉන්නවා නම්, ඒ වගේ උන් කසාද නොබැඳ ඉන්න එකම හොඳයි. කන්‍යා භාවය ‍රැකගෙන ජීවත් වුණු ගෑණු ළමයෙක් අදහස්, ගතිගුණ වලිනුත් පාරිශුද්ධයි කියන එක බොහොම ජනප්‍රිය මිත්‍යාවක්. අපි හැමෝම මිනිස්සු. හොඳ, නරක සමෝසමේ තියෙන මිනිස්සු. ඉතින් එතකොට කෙල්ලෙක් ගත්තත් ඒ කෙල්ලගේ හොඳ වැඩි වෙන්න හෝ නරක වැඩි වෙන්න ඔය කන්‍යා පටලේ බලපාන්නේ නෑ!

 

අර උඩින් කියපු කන්‍යා පටලය එක්ක තියෙන මැන්ටල් අදහස හැරුණුකොට බොහොම ප්‍රායෝගික ගැටළුවක් තමයි මේක. ඇයි? අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයකදී දරු පිළිසිඳ ගැනීමක් සිදු වුනොත්, ඒකට මුහුණ දෙන්න ඕන කාන්තාව. ඉතින් විවාහ වෙලා නැති කාන්තාවකට ලංකාව වගේ රටක ඔය වගේ දේකට මුහුණ දෙන්න සිද්ධ වෙන එක කොයි තරම් භයානක අත්දැකීමක්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඇත්තටම, සෙක්ස් සහ දරුවෙක් හදනවා කියන්නේ දෙකක්. සෙක්ස් කියන්නේ මේ වෙනකොට මනුස්ස සතා ආට් එකක් දක්වා දියුණු කරපු දෙයක්. ඒක එන්ජෝයි කරන්න තියෙන දෙයක්. හැබැයි දරුවෙක් මේ ලෝකෙට බිහිකරනවා කියන්නේ අති විශාල වගකීමක්. ඒක එහෙම ලඝුවට හිතන්න ඕන කාරණයක් නෙවෙයි. සැලසුම් කරලා කරන්න ඕන දෙයක්.

හැබැයි ඉතින් විවාහයට කලින් සෙක්ස් කරලා මේ වගේ ප්‍රශ්නයක් වෙන්නේ ලංකාවේ බහුතරයක් පවුල් සැලසුම් වගේ දේවල් ගැන නොදන්න නිසා හෝ පවුල් සැලසුම් ක්‍රම වලට මොනවා හෝ මිත්‍යා හේතු නිසා අකැමැති නිසාය කියන එක අපි කියන්නම ඕන. පවුල් සැලසුම් ගැන අදහසක් තියෙනවා නම් මේක ප්‍රශ්නයක් නෙවෙයි!

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here