කළහකාරී පුංචි ළමයි ලේසියෙන් හසුරවන්න ටිප්ස් – Saru News Media

0
15

“අලියන්ටයි ළමයින්ටයි නලියන්ටමයි හිත” කියනවනේ. ඒ කිව්වත් වගේම පුංචි ළමයි කියන්නෙ එක විදිහකට, එක තැනක ඉන්න බැරි හරිම නොසන්සුන් ජීවී කොට්ඨාසයක්. ඔය දඟය ඉතින් ඕනම පුංචි දරුවෙකුගේ හරිම සාමාන්‍ය ලක්ෂණයක්. හැබැයි ඊට එහා ගිහින් ටිකක් කලහකාරී විදිහට හැසිරෙන පුංචි දරුවොත් ඕනතරම් ඉන්නවා. අවධානය ලබාගන්න, ආදරේ ලබාගන්න, දුක ප්‍රකාශ කරන්න වගේ ගොඩක් කාරණා වලට පුංචි ළමයි කලහකාරී විදිහට හැසිරෙන්න පුළුවන්. ඒකත් බොහෝදුරට අපි අතරේ ඉන්න දරුවන්ගේ සාමාන්‍ය තත්ත්වයක්. ඒ කිව්වේ ඔය කෑගහන, රණ්ඩු කරන, යාළුවන්ට හෝ වැඩිහිටියන්ට ගහන එක එහෙම දඟකාර වයසෙ සමහර පොඩ්ඩෝ කරන දෙයක්. මේ තත්ත්වය ගැනයි අද මේ කතා කරන්නෙ. එහෙම කලහකාරී හැසිරීම් පෙන්නන පුංචි බබාල ගෙදරදීම සන්සුන් කරගන්න, එයාල එක්ක ලේසියෙන් ගනුදෙනු කරන්න, ඒ හැසිරීම් අධෛර්යමත් කරන්න අපිට කරන්න පුළුවන් දේවල් ගැනයි. හැබැයි මතක තියාගන්න ඕන මේ හැමදේම කරලත් දරුවා අධික කලහකාරී ලක්ෂණ පෙන්නනවනම් ඒක වෛද්‍ය උපදෙස් ගන්න ඕන තත්ත්වයක් බවත්.

 

දරුවෝ දඟලන්නෙ, රණ්ඩු කරන්නෙ ගෙදරදිම විතරක්ම නෙමෙයිනේ. ඉතින් එළියට ගියපු වෙලාවට පිරිසක් ඉස්සරහ එහෙම මේ විදිහට හැසිරෙනකොට අම්මල, තාත්තලා හරියට කළබල වෙනවා. හැබැයි මේ හැසිරීම් වළක්වා ගන්න ඉස්සෙල්ලාම කරන්න ඕන දේ තමයි දෙමව්පියෝ කළබල නොවී ඉන්න එක. මොකද කළබල උනහම අපි ඊළඟට කරන්නෙ මොකක්ද කියල අපිටම හිතාගන්න බැහැ. අනිත් කාරණේ තමයි අපි කලබල උනහම දරුවට ඒක ඉක්මනට තේරෙනවා. එතකොට එයා තවත් කළබල වෙලා කළහකාරී හැසිරීම වැඩි වෙන්න පුළුවන්. 

 

දරුවා කළහකාරී විදිහට හැසිරුණ අවස්ථාවල ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්න ඕන. ඒ කියන්නෙ මෙන්න මෙහෙමයි. ගෙදරදිනම් නරක හැසිරීමක් දැක්ක ගමන් ඒ ගැන දරුවා එක්ක කතා කරන්න, අවවාද කරන්න පුළුවන්. හැබැයි පිට තැනකදී නරකට හැසිරුණහම අපි හිතනවනෙ ගෙදර ගිහින් ඒ ගැන කතා කරනව කියල. ඔය ඉස්සර අම්මල කියන්නෙ “යමන්කෝ ගෙදර” කියල. ඒ වැඩේ හරියන්නෙ නම් නැහැ. මොකද පුංචි දරුවන්ට අපිට වගේ ඒ සිදුවීම් හුඟක් වෙලා මතක තියෙන්නෙ නැහැ. ඒ සිද්ධියත් එක්ක ගැලපිලා ඒකෙ ප්‍රතිවිපාකය ගැන මතක හිටින්නනම් ඒ වෙලාවෙදිම ඒ ගැන කතා කරන්න හෝ අවවාද කරන්න ඕන. 

 

පුංචි ළමයින්ට තරවටු කරල හෝ ගහල එයාලගේ හැසිරීම් වෙනස් කරන්න අමාරුයි. ඒකෙන් වෙන්නෙ දරුවෝ තවත් දරදඬු වෙන එකයි. හැබැයි හෙමින් ලඟට අරගෙන ඒ කරපු ක්‍රියාවේ නරක ප්‍රතිඵල දරුවාට පැහැදිලි කරන්න පුළුවන්නම් ඒක අර තරවටුවට වඩා දරුවට මතක තියෙයි. පැහැදිලි කළාට නොතේරෙන පුංචි බබෙකුටනම් ඒක තේරුම් යන විදිහේ දෙයක් කරන්න පුළුවන්. ඒ මෙහෙමයි, ඔන්න හිතන්නකෝ වෙන දරුවෝ පිරිසක් එක්ක බබා පාර්ක් එකක හෝ එළිමහනේ සෙල්ලම් කර කර ඉන්නකොට නරක හැසිරීමක් පෙන්නුව කියලා. බබාව ඉක්මනින් ඒ තැනින් ඉවත් කරල අනික් දරුවෝ සෙල්ලම් කරන හැටි, විනෝද වෙන හැටි පැත්තක ඉඳලා බලාගෙන ඉන්න සලස්වන්න පුළුවන්. ඔයා දඟ කරපු නිසා, නරක වැඩක් කරපු නිසා එයාලා එක්ක සෙල්ලම් කරන්න යන්න නොලැබෙන බව බබාට තේරුම් යවන්න පුළුවන්.

 

ඒ වගේම තමයි එකම නරක වැඩේට දක්වන ප්‍රතිචාරය හැම වෙලාවෙම එකම වගේ වෙන්න ඕන. කට්ටිය හිටපු නිසා ඔන්න ඔහේ කමක් නැහැ කියලා නරක වැඩක් දැක්කෙ නැහැ වගේ හිටියොත් දරුවා හිතන්න පුළුවන් කලින් හොඳ නැති උනාට දැන් ඒ ක්‍රියාවේ වරදක් නැති බව. ඒ වරද නැවත නොකරනකන්, ඒ ගැන බබාට හොඳටම තේරුම් යනකන් එකම ප්‍රතිචාරය දිගින් දිගටම දක්වන්න.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here