ක්ෂණික ආහාර සහ කඩචෝරු කෑමේ අතුරු විපා​ක – Saru News Media

0
3

ආහාර කියන්නෙ මූලික මිනිස් අවශ්‍යතාවයක්. නිකන්ම ආහාර නෙමෙයි. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට තියෙන අයිතිය කියන කාරණය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මූලික මිනිස් අයිතිවාසිකමක් විදිහට ප්‍රකාශයට පත්කරල තියෙනවා. නමුත් අවාසනාවට ජීවිතේ අධික කාර්යබහුලවීමත් එක්ක මිනිස්සු හුඟක් දෙනෙක් කෑම කියන දේට දෙන තැන වෙනස් වෙලා. ඒ කියන්නෙ කෑම නොකා ඉන්නව කියන එක නෙමෙයි. සෞඛ්‍යසම්පන්න ආහාර වේලක් ගෙදර සකස්කරගෙන කෑමට පුරුදුවෙලා හිටපු මිනිස්සු වෙලාව මදිකම නිසාම ක්ෂණික ආහාර වගේම කඩවල් වලින් ලේසියට මිලදී ගන්න පුළුවන්, පිට ඔපය වැඩි කඩචෝරු කන්න වැඩි වශයෙන් යොමුවෙලා තියෙනවා. ඒ නිසාම වර්තමාන පරපුර සෞඛ්‍ය සම්පන්නද, ඔවුන්ගේ අනාගත සෞඛ්‍යය කෙබඳුද කියන ගැටළුව නිරන්තරයෙන්ම අපිට ඇතිවෙනවා. අපි කියවලා බලමු ක්ෂණික ආහාර සහ කඩ කෑම වල තියෙන අතුරු විපාක මොනවද කියලා. කියවල, ඔළුවට අරගෙන ඒවගෙන් වැළකිලා ඉන්න පුළුවන් තරම් උත්සාහ කරමු.

 

මේකනම් ඇත්තටම හරිම සරල කාරණාවක්. කඩකෑම වල අඩංගු වෙන අධික පිෂ්ටය සහ මේදය නිසා ඒවා අහාරයට ගන්න අය ඉතාම පහසුවෙන් ස්ථුල භාවය පත්වෙනවා. ස්ථුල කියන්නෙ ඇඟේ බර කිලෝ එකකින් දෙකකින් වැඩිවෙන එකට නෙමෙයි. උසට සරිලන බර මට්ටම හරිහැටි නොමැතිව අධික ලෙස මහත්වීම. මේ විදිහට මහත්වෙන එක බාහිර පෙනුමට හරිම කැතයි තමයි. හැබැයි ඊට එහා ගිය දරුණු සෞඛ්‍ය අවදානම් මේ හරහා ඇතිවෙන්න පුළුවන්. ශරීරයේ ස්ථුලභාවය නිසා ඇතිවෙන ගැටළු වගේම නිවැරදි BMI එක ගැනත් අපි මිට කලින් මේ ලිපි වලින් කතාකළා. ඒව කියවල මේ ගැන වැඩි දැනුමක් ලබාගන්න පුළුවන්.

 

අධික ලෙස සීනි සහ මේදය අඩංගු ආහාර මඟින් මොළයේ මතක ශක්තියට සම්බන්ධ ක්‍රියාවලියට බාධා ඇතිකරනව. මෙම ආහාර නිසා ඇතිවෙන රසායනික ප්‍රතික්‍රියාවන් මොළයේ මතකයට සම්බන්ධ හයිපොකැම්පස් කළාපයේ ගැටළු ඇතිකරන්න හේතුවෙනව. ඒ වගේම මේ ආහාර වල අඩංගු අධික කැලරි ප්‍රමාණය මඟින් මොළයේ ඉගෙනීම සහ මතකයට සම්බන්ධ උපාගමයන්ගේ (synapses) ක්‍රියාවලියට බාධා ඇතිකරනව.

 

ක්ෂණික ආහාර සහ කඩ කෑම ආහාරයට ගැනීමේදී ඒවායේ අඩංගු අධික මේදය මඟින් මොළයේ ආහාරයට ගත් ප්‍රමාණය සහ ඔබේ කුසගින්නේ ප්‍රමාණය හඳුනාගැනීමේ ක්‍රියාවලියට බාධා ඇතිකරනවා. ඒ නිසා අවශ්‍ය ප්‍රමාණයට වඩා අධික ආහාර ප්‍රමාණයක් අපි පරිභෝජනය කරන්න පෙළඹෙනවා. මේ ආහාර සාමාන්‍ය ජීර්ණ ක්‍රියාවලියේදී ජීර්ණය කිරීමට අපහසුයි. එය අක්මාවටත් කිසිසේත්ම හිතකර නැහැ. ඒ නිසා ආහාර ජීර්ණ පද්ධතියේ ගැටළු ඇතිවෙනවා. ඒ වගේම මේ අධික පරිභෝජනය ස්ථූලභාවයට පත්වීමටත් හේතුවක්. ඒ වගේම කොයිතරම් ආහාර ගත්තත් අධික ලෙස බඩ පිරෙනවා මිස ඒවායේ මොළයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ අඩංගු වෙන්නෙ නැති නිසා අපි කලින් කියපු මතක ශක්තිය පවත්වාගැනීමේ ගැටළු වගේ ගැටළු ඇතිවෙනවා.

 

අධික ලෙස මහත්වීම නිසා හදවතට සහ පෙනහළු වලට ඇතිවෙන පීඩනය වැඩිවෙනවා. ස්ථූල පුද්ගලයින්ට ඉතාම කෙටි ක්‍රියාකාරකම්, ඒ කියන්නෙ අඩි කිහිපයක් ඇවිදීම, පඩි කිහිපයක් නැගීම වගේ දේවල් වලින් පවා අධික ලෙස වෙහෙස දැනෙන්නේ, හුස්ම ගැනීමේ අපහසුතාවයක් දැනෙන්නේ ඒ නිසයි. මේ හේතුවෙන් දිගුකාලීන ඇදුම රෝගී තත්ත්වයන් පවා ඇතිවෙන්න පුළුවන්.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here