කායිකව සහ මානසිකව තමන්ගේ පුද්ගලික අවකාශය ආරක්ෂා කරගන්නේ මෙහෙමයි! – Saru Media

0
27


ඇත්තටම මොකද්ද මේ පුද්ගලික අවකාශය කියන්නේ? ඒ ගැන සරලව කිවුවොත්, අපි බාහිර ලෝකයත් එක්ක අපේ තියෙන සම්බන්ධතාවය තීරණය කරන සීමා මායිම් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ භෞතිකව විතරක් නෙවෙයි, මානසිකවත් අපි බාහිර ලෝකය සහ අපි අතර පවත්වා ගන්නා සීමා මායිම් තමයි මේ පුද්ගලික අවකාශය කියන්නේ. එතනදී ඒ පුද්ගලික අවකාශය කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයා අනුව වෙනස් වෙන්න පුළුවන්. අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙන්නත් පුළුවන්. උදාහරණයක් ගමු. ඔන්න අපි පාටියකට යනවා. ඔතනදී අපිට කවුරුහරි කෙනෙක්ව අඳුන්වලා දෙනවා. අපි ඒ කෙනාට හායි හලෝ කියනවා. හැබැයි සම්බන්ධතාවය එච්චර තමයි. ඒත් අපි පාටිය ඉවර වෙලා ගෙදර එන්න හැමෝගෙන්ම සමුගන්නකොට අර නාඳුනන්නා අපිව වැළඳගන්නවා. ඒක අපිට අපහසුවක් ඇති කරන දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එතනදී අපේ පෞද්ගලික අවකාශය උල්ලංඝනය වෙලා. හැබැයි පාටිය ඕගනයිස් කරපු අපේ හොඳ යාළුවා අපිව වැළඳගෙන ටටාබායි කියන එක අපිට කිසිසේත්ම අපහසුවට කාරණයක් නෙවෙයි. ඒකට හේතුව එයා අපේ සමීපතමයෙක් වීම. දැන් පැහැදිලියිද පුද්ගලික අවකාශය කියන එක?

ඒ වගේම මතක තියාගන්න ඕන, මේ පුද්ගලික අවකාශය කියන එක භෞතිකව විතරක් නෙවෙයි පවතින්නේ. ඒක මානසිකවත් තියෙන සීමාවක්. ඉතින් කොහොමද අපි මේ කායිකව සහ මානසිකව තියෙන තමන්ගේ පෞද්ගලික අවකාශය පවත්වා ගන්නේ? අන්න ඒ ගැන තමයි මේ කියන්න යන්නේ.

 

1. තමන්ගේ පුද්ගලික අවකාශය තේරුම් ගන්න

තමන්ගේ පුද්ගලික අවකාශය ආරක්ෂා කරගන්න නම්, තමන්ගේ පුද්ගලික අවකාශය කියන්නේ ඇත්තටම මොකද්ද කියලා තමන්ට හොඳ අවබෝධයක් තියෙන්න ඕන. අපි පටන් ගන්නකොටත් කිව්වනේ මේ පුද්ගලික අවකාශය කියන එක සෑහෙන්න දුරට පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා කියලා. උදාහරණයක් විදියට කිවුවොත්, ආගන්තුකයෙක් වුණත් අපිව අවංක සමීපත්වයකින් වැළඳ ගන්න එක අපිට අපහසුවක් නොවෙන්න පුළුවන්. අන්න එතකොට එහෙම දේකින් අපේ පුද්ගලික අවකාශය ආක්‍රමණය වෙන්නෙ නෑ. ඒ වගේම, අපි අකමැති වෙන්න පුළුවන් කෙනෙක් අපේ පුද්ගලික ජීවිතය ගැන අහනවට. අන්න ඒ කියන්නේ, ඒක තමයි අපේ පුද්ගලික අවකාශය. සමහර වෙලාවට අපේ පෙම්වතා හරි පෙම්වතිය හරි වුණත්, අපේ ඔෆිස් එකේ විස්තර හාරාඅවුස්සනවට අපි අකමැති වෙන්න පුළුවන්. අන්න එතකොට ඒකත් අපේ පුද්ගලික අවකාශය විදියට නිර්වචනය වෙනවා. හැබැයි අපි යන එන තැන් ගෙදර අයට කියලා යන්න අපි අකමැති වුණාට, ඒක අපේ පුද්ගලික අවකාශය වෙන්නෙ නැහැ. එතනදී ඒක අපි යුතුකමක් විදියට කරන්න ඕන දෙයක්. ඔන්න ඔය විදියට තමන්ගේ පුද්ගලික අවකාශය නිවැරදිව තේරුම් ගන්න එක තමයි, පුද්ගලික අවකාශය ආරක්ෂා කර ගැනීමේ පළවෙනි පියවර වෙන්නේ.

 

2. තමන්ගේ ඩිජිටල් අවකාශය

අද කාලේ අපේ පුද්ගලික අවකාශය බහුල වශයෙන් උල්ලංඝනය වෙන තැනක් තමයි ඩිජිටල් අවකාශය කියන්නේ. උදාහරණයක් විදියට ගත්තොත්, අපේ බෝයිෆ්‍රෙන්ඩ් හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි ඩිමාන්ඩ් කරනවා අපේ ෆේස්බුක් පාස්වර්ඩ් එක එයාලට කියලා තියන්න ඕන කියලා. අන්න පුද්ගලික අවකාශය ආක්‍රමණය වීමක්. එහෙම නැතිනම් අපේ ෆෝන් එක බලන්න ඉල්ලනවා, ඉල්ලගෙන ඒකේ තියෙන මැසේජස් එහෙම බලනවා. අන්න පුද්ගලික අවකාශය උල්ලංඝනය වෙන තැනක්. ඒ විතරක් නෙවෙයි, කෙනෙක් අපි අපේ ෆේස්බුක් එකේ හරි වෙන සෝෂල් මීඩියා එකක හරි දාන්න ඕන ඒවා, නොදාන්න ඕන ඒවා ගැන අපිට බලකරන එකත් අපේ පුද්ගලික අවකාශය උල්ලංඝනය වීමක්. අන්න ඒ නිසා, අපේ ඩිජිටල් ස්පේස් එකේ තියෙන පර්සනල් ස්පේස් එක තියාගන්න අපි දැනගන්න ඕන.

 

3. තමන් වෙනුවෙන් වෙලාව වෙන් කරන්න

සමහරු ඉන්නවා තමන්ගේ කාලය තමන්ගේ රැකියාව වෙනුවෙන් වෙන් කළාට පස්සේ, ඉතුරු කාලය වෙන් වෙන්නේම අනික් අය වෙනුවෙන්. ඒ යාළුමිත්‍රයෝ, නෑදෑයෝ, පවුලේ අය, තමන් ආදරේ කරන අය වගේ ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේම, අපිට පුළුවන් වෙන්න ඕන අපි වෙනුවෙනුත් කාලය වෙන් කරගන්න. අපි වෙනුවෙන් කාලයක් තිබීම අපේ අයිතියක්. අපි අපි වෙනුවෙන් කාලය වෙන් කරගත්තහම, ගොඩක් වෙලාවට අපේ පුද්ගලික අවකාශය වෙනත් බාහිර කෙනෙක්ගෙන් ආක්‍රමණයක් වෙන්නේ නෑ. උදාහරණයක් විදියට ගත්තොත්, අපි හැමවෙලේම යාළුවෙක් කතා කරන ඕනම වෙලාවක යාළුවගේ ඕන මරගාත වැඩකට යන්න සැදීපැහැදී ඉන්නවා කියමු. එතකොට යාළුවා හිතාගන්නවා අපි එයත් එක්ක ඕනම දේකට යන්න බැඳිලා ඉන්නවා කියලා. ඉතින් එයා හැම මොහොතකම අපිට කතා කරනවා. මේක අපිට කරදරයක්. පැහැදිලිවම අපේ පුද්ගලික අවකාශය උල්ලංඝනය වීමක්. හැබැයි අපිට වෙන කරන්න දෙයක් නැද්ද? පැහැදිලිවම තියෙනවා. අපි වෙනුවෙන් වෙන් කරන කාලය කියන්නේම අපේ පුද්ගලික අවකාශය තමයි. අන්න ඒ නිසා, ඒ වගේ දේකදී බැහැ කියන්න ඉගෙන ගන්න ඕන!

 

4. නැහැ බැහැ කියන්න ඉගෙන ගන්න

මේක අපි ගොඩක් දෙනෙක්ට තියෙන ගැටළුවක්. ඒ තමයි නැහැ බැහැ කියන්න බැරි කම. කවුරුහරි අපෙන් අතමාරුවක් ඉල්ලුවොත් නැහැ කියන්න පැකිළෙනවා. කවුරුහරි අපි අකමැති දෙයක් කරන්න කියලා ඉල්ලුවොත් බැහැ කියන්න පැකිළෙනවා. හැබැයි ඉතින් ඒකෙන් දන්නෙම නැතුව අපේ පුද්ගලික අවකාශයත් උල්ලංඝනය වෙනවා! උදාහරණයක් විදියට ගත්තොත්, අපි කැමති නෑ කියමු අපේ නිල බලය පාවිච්චි කරලා නියම ක්‍රමේට පිටින් කාටවත් “උදවු” කරන්න යන්න. හැබැයි යාළුවෙක් එහෙම කරන්න කියලා ඉල්ලනවා. එතකොට අපිට ඒක ලොකු අසීරුවක්. මොකද, අපිට අපේ ප්‍රතිපත්ති වලට පිටින් යන්න වෙනවා. එතනදී අපිට පුළුවන් වෙන්න ඕන කාරුණිකව බැහැ කියලා කියන්න. ඔය වගේ ඕනම දෙයක් අපි අකමැති නම් නැහැ හෝ බැහැ කියන්න පුරුදු වෙන්න ඕන. ඒක පොල්ලෙන් ගහුවා වගේ කියන්න ඕන නෑ. ඒක කාරුණිකව, උපක්‍රමශීලීව කියන්න පුළුවන්.

 

5. නිස්කාරණේ සමාව ඉල්ලීම සහ නිදහසට හේතු කීම නවත්තන්න

දැකලා තියෙනවද හැමදේටම සමාව ඉල්ලන පාපිස්සක් වගේ මිනිස්සු? එතකොට හැමදේටම නිදහසට කාරණා කියන මිනිස්සු? මෙන්න මේ දෙකම ඇත්තටම වක්‍රාකාරයෙන් තවත් කෙනෙක්ට අපේ පුද්ගලික අවකාශය ආක්‍රමණය කරන්න හදලා දෙන හොඳ ඉඩක්. විශේෂයෙන්ම අපි කරන්න කියලා බැඳිලා නැති දේවල් වලටත් සමාව ඉල්ලන්න, නිදහසට කරුණු කියන්න අවශ්‍ය නැහැ. බැහැ නම් බැහැ. එච්චරයි. එහෙම කරනකොට අපිට තව කෙනෙක් එක්ක තියෙන සම්බන්ධතාවය නැතිවෙනවා නම්, ඒත් කරන්න දෙයක් නැහැ. අපේ පුද්ගලික අවකාශයට ගරු කරන්නෙ නැති කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් තිබ්බත් ඇති වැඩක් නැහැනේ. ආන්න ඒ නිසා, හැමදේටම සමාව ඉල්ලන්න, හැමදේටම නිදහසට කාරණා කියන්න යන්න එපා. තමන් අතින් වැරැද්දක් වුණොත් ඒකට සමාව ඉල්ලලා, පුළුවන් නම් ඒ වැරැද්ද නිවැරදි කරලා එතනින් නවතින්න.

 

6. තමන්ව ආක්‍රමණය කරන්න ඉඩ නොදෙන්න

ගොඩක් වෙලාවට අපි අපේ පුද්ගලික අවකාශය තවත් කෙනෙක් අතින් උල්ලංඝනය වෙනවාට අකමැති වුණාට, ගොඩක් වෙලාවට අපි එහෙම වෙන අවස්ථාවකදී වුණත් ඇහැ කණ පියාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. අන්න ඒක තමයි වැරැද්ද. අපි මුලින්ම කිව්වනේ අපි අපේ පුද්ගලික අවකාශය මොකද්ද කියන එක හරියට තේරුම් ගන්න ඕන කියලා. එහෙම තේරුම් ගත්තට පස්සේ ඊලඟට කරන්න ඕන දේ තමයි, කවුරුහරි එහෙම අපේ පුද්ගලික අවකාශය ආක්‍රමණය කරනවා නම්, ඒකට විරුද්ධ වෙන එක. එහෙම නැතිනම් අපිට කවදාවත් ඒක නවත්තන්න පුළුවන් වෙන්නෙ නෑ. උදාහරණයක් විදියට ගත්තොත්, කවුරුහරි අපේ පෞද්ගලික තොරතුරු ගැන දිගින් දිගටම අහනවා නම්, කාරුණිකව කියන්න පුළුවන් අපි ඒ දේවල් ගැන කතා කරන්න කැමති නැහැයි කියලා. එතකොට අපේ ආදරේ කරන අය එක්ක නම්, එකිනෙකාගේ පුද්ගලික අවකාශය ගැන කතාබහ කරලා, එකිනෙකාගේ සීමාවන් ගැන අවබෝධයකින් ඉන්න පුළුවන්. ඔය පොසෙසිව් ගර්ල්ෆ්‍රෙන්ඩ්ලා බෝයිෆ්‍රෙන්ඩ්ලාගෙන් එහෙම මේ පුද්ගලික අවකාශය දැඩිව උල්ලංඝනය වෙනවා. ආන්න ඒකට තිත තියන්න ඕන තමන්ම තමයි!

 

7. වෙනත් කෙනෙක්ගේ පුද්ගලික අවකාශයට ගරු කරන්න

ඇත්තටම අවසාන වශයෙන් වැදගත්ම කාරණාව වෙන්නේ මේක. අපි අපේ පුද්ගලික අවකාශය ආරක්ෂා කරගන්න නම්, අපි අනික් අයගේ පුද්ගලික අවකාශයටත් ගෞරව කළ යුතු වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, කෙනෙක් අපිව වැළඳගන්නවට අපි අකමැති නැති වුණත්, තවත් කෙනෙක් ඒකට අකමැති වෙන්න පුළුවන්. හැබැයි අපි ඒ අකමැත්ත නොසලකා එහෙම කෙනෙක්ව වැළඳගන්න ගියොත්, ඒ කෙනා අපිට සලකන විදිය වෙනස් වෙන්න පුළුවන්. ඒ සලකන විදියෙන් ආයෙමත් අපේ පුද්ගලික අවකාශය උල්ලංඝනය වෙන්න පුළුවන්. ආන්න එතකොට ඒකට අපිට කරගන්න දෙයක් නැතිවෙනවා. මේක එක උදාහරණයක් විතරයි. තව උදාහරණයක් ගත්තොත්, අපි කැමති නැතිනම් කවුරුහරි අපේ ෆෝන් එක අරගෙන බලනවට, අපි තව කෙනෙක්ගේ ෆෝන් එක අරගෙන බලන එකත් වැරදියි. අපි එහෙම කළොත්, අනික් කෙනා අපේ ෆෝන් එකත් අරගෙන බලන එකට අපිට මොකුත් කියන්න බැරි වෙනවා. අන්න එතනදී පුද්ගලික අවකාශය ආක්‍රමණය වෙනවා. හැබැයි එහෙම වෙන්නේ මුලින් අපි ඒ වැරැද්ද කරපු නිසා!

 

අපි වෙන දවසකදී කතා කරමු කොහොමද තව කෙනෙක්ගේ පුද්ගලික අවකාශය උල්ලංඝනය නොකර ඉන්නේ කියන එක ගැනත්!





Saru News