කෑම කද්දී මේ පුරුදු ටික ඇති කරගත්තොත් බඩයි, බරයි දෙක​ම අඩු කරගන්න එක අමාරු නැහැ – Saru News Media

0
2

අද කාලේ ගොඩ දෙනෙක්ට තියන ලොකුම ප්‍රශ්නයක් තමයි තමන්ගේ බඩ වැඩියි කියල හිතෙන එක, එහෙමත් නැත්නම් තමන් මහතයි සහ බර වැඩියි කියල හිතෙන එක. ඉතින් මේකට විසඳුම් හැටියට ගොඩක් දෙනෙක් නොයෙක් දේවල් කරන්න පෙළඹිලා ඉන්නවා. ඒ සමහර දේවල් නිසා ජීවිතේ ස්ට්‍රෙස් එකක් කරගන්න අවස්ථාත් තියනවා. අපි නම් කියන්නේ මේ බර හෝ බඩ අඩු කරගැනීමේ ක්‍රියාවලිය මුලින්ම සරල වෙනස්කම් ටිකක් ජීවිතේට කරගැනීමෙන් පටන් ගන්න එක වඩාත් පහසුයි කියලයි. අන්න ඒ නිසා අපි හිතුවා බඩ සහ බර අඩු කරගන්න උදවු වෙන ආහාර ගැනීමේ පුරුදු කීපයක් ගැන ඔබව දැනුවත් කරන්න.

 

දවසේ මොන කෑම වේල වුණත් බොහොම හිමීට, හොඳින් ආහාර හපන ගමන් අරගන්න එක හරිම වැදගත්. පෙරේතකම් නිසා හරි, හදිස්සිය නිසා හරි, බඩගින්න නිසා හරි අපි දඩිබිඩියේ කෑම ගන්න එකෙන් වෙන්නේ අපිට අවශ්‍ය ප්‍රමාණෙටත් වඩා කෑම ගැනෙන එකයි. මොකද අපේ බඩ පිරිලය කියලා ශරීරයට දැනිලා, ඒ ගැන අපේ මොළය​ට සංඥාවක් නිකුත් කරන්​න යම් කිසි වෙලාවක් ගත වෙනවා. අපි හිමීට කෑම ගත්තහම ඒ තත්ත්වය තේරුම් අරන්, අපේ බඩ පිරිලය කියලා ශරීරයෙන් මොළයට දැනුම් දෙන්න අවශ්‍ය තරම් කාලයක් ලැබෙනවා. ඒ වගේම කටේදි හොඳට ආහාර හැපිලා, පොඩිවෙලා, ඛේටය සමග මිශ්‍ර වුණාම ආහාර ජීර්ණයත් හරිම පහසු කරනවා.

 

ලාර්ජ් රයිස් එකක් වුණත් ගේමක් නැතුව බෙදාගන්න පුළුවන් තරම් ප්‍රමාණයෙන් විශාල පිඟානක කෑම කන එක තරමක් අවදානම්. මොකද පිඟානේ සයිස් එක මොකක් වුණත්, අපි කෑවේ එක පිඟානයිනේ කියන රැවටීමට අපි ලක් වෙනවා එහෙම වුණාම. ඒ නිසා පුළුවන් තරම් පොඩි පිඟානක ආහාර ගන්න පුරුදු වෙන්න. අනිත් කාරණය තමයි අපි කන කෑම වර්ගය හොඳට කැපිලා පෙනෙන විදිහේ පිඟානක කෑම ගන්න එකත් අපිට අමතර කෑම කැවෙන එක වළක්වනව. උදාහරණෙකට අපි සුදු පිඟානකට කිරිබත් බෙදාගෙන කනවට වඩා, තරමක් තද පාටක පිඟානකට බෙදාගෙන කන එක දක්වන්න පුළුවන්. එතකොට අපි කන කිරිබත් ප්‍රමාණය අපේ ඇහැට හොඳට දර්ශනය වෙලා, අපිටත් හොර රහසේම අනවශ්‍ය ප්‍රමාණ කැවෙන එක අඩුවෙනවා.

 

කඩෙන් ගේන රයිස් එක හෝ කොත්තු​ව පෙට්ටිය පිටින්ම ඉස්සරහින් තියාගෙන, ඒකට හැන්දක් ගහන් කන එක එච්චර හොඳ නැහැ. හොඳම දේ තමයි තමන්ට ප්‍රමාණවත් කියල හිතෙන ප්‍රමාණයක් අපි කිවුව වගේ පොඩි පිඟානකට බෙදාගෙන කන එක. එහෙම කාල මදියි වගේ නම් දෙවැනි වටයක් බෙදා ගත්තට කමක් නෑ. නැතුව එකපාර ඔක්කොම කන්න යන්න එපා. ඒ වගේම පැකට්ටුවල එන නොයෙකුත් ස්නැක්ස් වර්ගත් පැකට් එක පිටින් අතේ තියන් කන්න යන්න එපා. වෙන වැඩක් කරන ගමන් පැකට් එකට අත දදා මේවා කාලා අන්තිමට පැකට් එකේ පතුළ අහුවුණාම තමයි තේරෙන්නේ දන්නෙම නැතුව ඔක්කොම කැවිලා කියලා. එතකොට පරක්කු වැඩියි!

 

කෑම කන වෙලාවට පුළුවන් තරම් හිත නිදහසේ සහ කෑමට අවධානය සහිතව තියාගන්න පුරුදු වෙන්න. ෆෝන් එක ඔබන ගමන්, ටීවී බලන ගමන් කෑමක් කන එකේ වෙනම විනෝදයක් තියන බවත් අපි පිළිගන්නවා. හැබැයි ඒකෙන් වෙන්නේ අපේ අවධානය වෙනතක යොමු වෙලා, අපි ප්‍රමාණවත් තරමට ආහාර ගත්තාය කියලා ​මොළයෙන් සංඥා නිකුත් වීම ප්‍රමාද වෙන එකයි. අන්න ඒ නිසා අඩුම තරමේ කෑම කන විනාඩි දහය, විස්ස ඇතුළත හරි ඒ වැඩේට විතරක් අවධානය දෙන්න හිතාගන්න.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here