කුඩා දරුවන් ගැන, දරුවන් උස්මහත් කිරීම ගැන අම්මලා එක්ක කතා කළොත් අම්මලා වැඩිදෙනෙකුගේ කටින් අහන්න ලැබෙන ගැටළුවක් තමයි දරුවන්ගේ කෑම යුද්ධය. ඇත්තටම පුංචි දරුවන්ට කෑම කවන එක කියල කියන්නෙ එසේ මෙසේ යුද්ධයක්නම් නෙමෙයි තමයි. මාස 6න් පටන් ගන්න මේ යුද්ධය සමහර දරුවෝ මොන්ටිසෝරි යන කාලෙ විතර වෙනකන්ම කරන්න වෙනවා. යාන්තම් ඊට පස්සේ තමයි එයාලා බඩගිනි දැනුනොත් කැමැත්තෙන් කන්න පුරුදු වෙන්නෙ. කොහොම වුණත් මේ කියන්න යන්නෙ ඔය කෑම යුද්ධය අතරේ හුඟක් අම්මලාට මුහුණ දෙන්න වෙන ආහාර සම්බන්ධ ගැටළු කිහිපයක් ගැනයි.
හුඟක් පුංචි දරුවන් එළවළු වර්ග කෑම ප්‍රතික්ෂේප කරනවා. පුංචිම දරුවන්ට, ඒ කියන්නෙ වයස අවුරුදු එකට අඩු දරුවන්ටනම් එළවළු තීරු විදිහට කපලා අතින් අහුලාගෙන කන්න දෙන්න පුළුවන්. අලුත් වැඩක් නිසා හුඟක් වෙලාවට ඔවුන් ආස වෙනවා. ඒ වගේම එකම පාට එළවළු නැතුව විවිධ වර්ණයේ එළවළු එකතු කරන එකෙනුත් ඔවුන්ට කෑමට ආසාව ඇතිකරන්න පුළුවන්.
ලොකු ළමයින්නම් තේරෙන නිසා එළවළු තෝරලා කන්න වැඩිපුර උත්සාහ කරනවා. ඔවුන්ට එළවළු කවන එක ලොකු අභියෝගයක්. එළවළු වර්ග බ්ලෙන්ඩ් කරලා බබා කන වෙනත් කෑම, ඒ කිව්වෙ පැස්ටා, නූඩ්ල්ස් වගේ කෑම වලට එකතු කරලා දෙන්න පුළුවන්.
හුඟක් බබාලා කෑම කටේ තියාගෙන ගොඩක් වෙලාව ගතකරනවා. මේ ගැටළුව විසඳාගන්න නම් කෑම කවන වෙලාවට වටේ පිටේ තියෙන අවධානය වෙනස් වෙන දේවල් ටිකක් අඩු කරන්න ඕන. TV, Phone වගේ දේවල් පෙන්වමින් දරුවාට කෑම කවන එක හොඳ පුරුද්දක් නෙමෙයි. ඒකෙන් වෙන්නෙ කෑම කෑමට දරුවා තුළ තියෙන අවධානය වෙන අතකට යොමුවීම. ඒ වගේම ඔක්කොම කවන්න කියල පැය ගණන් දරුවට කෑම කවන එකත් නරක පුරුද්දක්. ඒකෙන් වෙන්නෙත් කෑම කවන කාලය දරුවාට එපාවීම. මොකද පුංචි දරුවො ස්වභාවයෙන්ම එකතැනක ඉන්න කැමති නැහැ. වෛද්‍ය නිර්දේශය උපරිම විනාඩි 20 ක කාලයක් ඇතුළත කෑම එක කවන්න කියන එකයි.
පුංචි දරුවෝ අලුතෙන් හඳුන්වාදෙන කෑම කන්නත් හුඟක් වෙලාවට අකමැතියි. ඒකටත් අම්මලා ටිකක් උපක්‍රමශීලි වෙන්න ඕන. බබා ආසම කෑමකට සමාන විදිහට අලුත් කෑම ලබාදීම, මුලින් මුලින් කුඩා ප්‍රමාණ වලින් ලබාදීලා හුරු කිරීම වගේම එකවරක් ප්‍රතික්ෂේප කරපු ගමන් නැවත නොදී ඉන්නෙ නැතුව දිගින් දිගටම උත්සාහ කිරීම තමයි මේ ගැටළුවට විසඳුම්.
Saru Fm Media