කෙනෙක් අපිව Ghosting කළොත්, ඒ අවුලෙන් මිදෙන්නේ කොහොමද? – Saru News Media

0
13

Ghosting කියපු ගමන්, ඒ කියන්නේ හොල්මන් සම්බන්ධ සීන් එකක් නෙවෙයි කියලා අපි දැන් දන්නවනේ. මොකද, අපි Ghosting සංස්කෘතිය ගැන මීට කලින් කථා කරලා තියෙන නිසා. සරලවම මතක් කර ගත්තොත්, Ghosting කියන්නේ කෙනෙක් හෝ කිහිප දෙනෙක් එක්ක පූර්ව දැනුම් දීමකින්, කරුණු පැහැදිලි කිරීමකින් හෝ හේතුවක් දැක්වීමකින් තොරව සම්පූර්ණයෙන්ම සන්නිවේදනය කපා හරින එක. අනික් පැත්තේ අය අපිව සම්බන්ධ කරගන්න උත්සාහ කළත්, ඒකට ප්‍රතිචාර දක්වන්නෙත් නෑ. සද්ද නැතුවම ඉන්නවා. අපි කතා කළා මේ Ghosting කියන එකේ තියෙන නරක සහ හොඳ මොනවද කියන එක ගැන.

දැන් අපි කතා කරන්න යන්නේ, ඒකට සම්බන්ධ තවත් කාරණාවක් ගැන. දැන් අපි කියමු කවුරුහරි අපිව Ghost කරනවා කියලා. ඒ කෙනා අපිත් එක්ක ඒ තරම් සම්බන්ධයක් තියෙන කෙනෙක් නෙවෙයි නම් අපිට එයා අපිත් එක්ක කතා බහ අත ඇරියා කියලා අපිට දැනෙන්නෙ නැහැනේ. හැබැයි අපිත් එක්ක ටිකක් හරි සමීප ආශ්‍රයක් තිබුණු කෙනෙක් අපිව Ghosting කළොත්, අපිත් එක්ක සම්පූර්ණයෙන්ම සන්නිවේදනය නවත්තලා, අපි කියලා කෙනෙක් ලෝකේ නැහැ වගේ ඉන්නවා නම්, ඒක ටිකක් කාල ඉන්න අමාරුයි නේද?

අන්න ඒ නිසා, අපි හිතුවා කෙනෙක් අපිව Ghosting කළාට පස්සේ, අපිට ඒකෙන් ඇතිවෙන අවුලෙන් මිදෙන්නේ කොහොමද කියන එක ගැන උපදෙස් කීපයක් ලබාදෙන්න!

How to get over ghosting

ඇත්තටම අපිව කෙනෙක් ghost කළාට පස්සේ, අමුතුවෙන් ඒ කෙනාත් එක්ක සම්බන්ධකම් නවත්තන්න දේකුත් නෑ. මොකද, ඒ කෙනා සම්පූර්ණයෙන්ම අපිත් එක්ක සම්බන්ධකම් නවත්තලානේ තියෙන්නේ. හැබැයි එතනින් එහාට ආයෙමත් සම්බන්ධකම් ඇති කරගන්න උත්සාහ ගන්නත් එපා. ඒ කියන්නේ, කෙනෙක් අපිව ghost කළාට පස්සේ, ගොඩක් වෙලාවට අපේ ප්‍රතිචාරය වෙන්නේ ඒ කෙනා එක්ක සම්බන්ධ වෙන්න පුලුවන් තරම් උත්සාහ කරන එක වෙන්න පුලුවන්. ghost කිරීම ගොඩක් වෙලාවට වෙන්නේ ඩිජිටල් කලාපයේනේ. එතකොට සමහර කෙනෙක් එයා ඉන්න තැනකට හරි ගිහින් මුණගැහෙන්නත් උත්සාහ කරන්න පුලුවන්. හැබැයි ඒක කරන්න එපා. සම්පූර්ණයෙන්ම සම්බන්ධකම් නවත්තලා දාන්න. එහෙම කෙනෙක් මේ ලෝකේ නෑ කියන තැන ඉඳන් හිතන්න පටන් ගන්න. ඒ කොහොමද කියන එක අපි ඉස්සරහට කියනවා.

How to get over ghosting

කෙනෙක් අපිත් එක්ක සම්පූර්ණයෙන්ම සම්බන්ධකම් නවත්තන්න තීරණය කරන්න විවිධ හේතු තියෙන්න පුලුවන්. ඒ හේතු සාධාරණ වෙන්නත් පුලුවන්, අසාධාරණ වෙන්නත් පුලුවන්. හැබැයි ඒ කොහොම වෙතත්, කෙනෙක් තීරණය කරනවා නම් තවදුරටත් අපිත් එක්ක කිසිම සම්බන්ධයක් තියාගන්නෙ නැහැයි කියලා, අපිට ඒක ගැන කොහොම හිතුණත් ඒක ඒ පුද්ගලයාගේ කැමැත්ත කියන එක අපි මුලින්ම අවබෝධ කරගන්න සහ පිළිගන්න ඕන. එතකොට අපි ඒ තීරණයට ගරු කරන්න ඕන. අපිව එහෙම ගෝස්ට් කරන එකෙන් අපි ඒ පුද්ගලයා ගැන තියෙන ගරුත්වය හරි ආකල්පය හරි නරක අතට වෙනස් වෙන්න පුලුවන්. ඒක හරි. හැබැයි එයා අපිත් එක්ක සම්බන්ධකම් නවත්තන්න ගත්ත තීරණයට නිගරු කරන්න ඒක හේතුවක් නෙවෙයි.

මෙතනදී එයා අපිව ගෝස්ට් කරන්න ගත්තු තීරණයට රෙස්පෙක්ට් කරනවා කියන්නේ ආයෙ සම්බන්ධකම් ඇති කරගන්න උත්සාහ නොගැනීම විතරක් නෙවෙයි. එයාගෙන් පළි ගන්න යෑම, එයා ගැන වෙන තැන් වලනරක අදහස් ප්‍රකාශ කිරීම වගේ කිසිම දෙයක් නොකරන්න කියන එක තමයි.

How to get over ghosting

කෙනෙක් අපිත් එක්ක සම්බන්ධකම් සම්පූර්ණයෙන්ම නවත්තනවා නම්, ඒකට හේතුවක් තියෙන්න ඕන කියලා අපි කිව්වනේ. හැබැයි ඒ හේතුව අපි වෙන්නත් පුලුවන්, අපි නොවෙන්නත් පුලුවන්. දැන් අපි කියමු හේතුව අපි කරපු මොකක් හරි වැරැද්දක්, එහෙම නැතිනම් අපේ මොකක් හරි ගැටළුකාරී හැසිරීමක් කියලා. එහෙමනම්, ඒ ගැන පොඩ්ඩක් හිතලා බලන එක හොඳයි. එතකොට ඒක අපේ වැරැද්ද කියලා හිතෙනවා නම්, අපි ඒ හැසිරීම හෝ වැරැද්ද නිවැරදි කරගන්න, ආයෙමත් එහෙම දෙයක් නොකරන්න වග බලා ගන්න ඕන. ඒකට අපිව ගෝස්ට් කරපු මනුස්සයට දෝෂාරෝපණය නොකරන්න වග බලා ගන්න ඕන.

හැබැයි අපි කියමු එහෙම අපිව ගෝස්ට් වෙන්න අපේ වැරැද්දක් හොයාගන්න බැහැයි කියලා. එතකොට ඇත්තටම අපේ අතේ වැරැද්දක් නැති වුණත්, අපි ගොඩක් වෙලාවට ඒක අපේ වැරැද්දක් කියලා හිතාගන්න පෙළඹෙනවා. ඒකට අපිටම දෝෂාරෝපණය කරගන්නත් බලනවා. අන්න ඒක කරන්න එපා. අපේ අතේ වැරැද්දක් තියෙනවා නම් අපි ඒක හදාගන්නවා. කෙනෙක්ට අපි අතේ වැරැද්දක් ඇතුව හෝ නැතුව හෝ සම්බන්ධකම් නවත්තන්න ඕන නම්, ඒක එයාගේ වැඩක්, අපේ වැඩක් නෙවෙයි.

How to get over ghosting

ඇත්තටම කෙනෙක් අපිව ගෝස්ට් කළහම අපිට මුලින්ම ඇති වෙන හැඟීම් වලින් එකක් තමයි ලැජ්ජාව. ඇයි ලැජ්ජාවක් ඇති වෙන්නේ? අපේ තියෙන ඊගෝ එක නිසා. ඒ කියන්නේ, කෙනෙක් අපිත් එක්ක සම්පූර්ණයෙන්ම සම්බන්ධකම් කපා හරිනවා කියන්නේ හරියට අපිව ප්‍රතික්ෂේප කරනවා වගේ දෙයක්නේ. ආන්න ඒ ප්‍රතික්ෂේප වුණා කියන හැඟීම දරාගන්න කෙනෙක්ට ටිකක් අමාරු වෙන්න පුලුවන්. විශේෂයෙන්ම ජීවිතේ මීට කලිනුත් ප්‍රතික්ෂේප වෙලා තියෙන කෙනෙක්ට නම් ඒක තවත් අමාරුයි. මොකද ඒ පරණ ප්‍රතික්ෂේපයන් ගැන මතකත් මේ මොහොතේදී ඔළුවට එන නිසා. අන්න ඒ නිසා, අපිව කෙනෙක් ගෝස්ට් කළොත්, අපි මුලින්ම අපේ හිතට කියාදෙන්න ඕන මේක අපිට අදාළ දෙයක් නෙවෙයි කියන එක. අපේ වැරැද්දක් තියෙනවා නම් ඒක හදාගෙන අපි ඉස්සරහට යන්න ඕන. මෙතනදී අපි කියන මනුස්සයා වටිනවා කියන එක, වැදගත් කියන එක අපි ඔළුවට ගන්න ඕන. කෙනෙක් අපිත් එක්ක සම්බන්ධකම් කපා හරිනවා කියන්නේ සමහර විට ඒ කෙනාට ජීවිතේට වටිනා කියන කෙනෙක්ව අහිමි කරගත්තා වෙන්න පුලුවන්. ආන්න ඒක හිතලා බැලීමෙන් ගෝස්ට් වීමෙන් අපිව ප්‍රතික්ෂේප වුණා කියන ලැජ්ජාවක් හිතට එනවා නම්, ඒ හැඟීම නැති කරගන්න පුලුවන්.

How to get over ghosting

අපි හිතමු අපිව ගෝස්ට් කරලා යන්න යන්නේ අපිත් එක්ක බොහොම කිට්ටුවෙන් හිටපු කෙනෙක් කියලා. එතකොට “උඹට එපා නං මටත් එපා” කියලා හිත හදාගන්න එක ඒ තරමටම ලේසි නෑ. හැබැයි එහෙමයි කියලා පස්සෙන් යන්න, කරදරයක් වෙන්නත් බෑ කියලා අපි මුලින්ම කිව්වනේ. අන්න එතකොට අපිට ඒ හිතේ අමාරුව හදාගන්න අපේ සමාජ ජීවිතේ හැඩගස්වා ගන්න වෙනවා. හොඳ යාලුවන් එක්ක පොඩ්ඩක් එළියට යන්න, කාලය ගත කරන්න වගේ දේවල් කරන්න පුලුවන්. වෙන යාලුවෝ නැතිනම් යාලුවෝ හදාගන්න පුලුවන්. තමන්ට එන්ජෝයි කරන්න පුලුවන්, සතුටු වෙන්න පුලුවන් ඉවෙන්ට්ස් වලට එහෙම සහභාගී වෙන්න පුලුවන්. අන්න ඒ විදියට තමන්ගේ ජීවිතේ සතුට ලබාගන්න පුලුවන් දේවල් කරන්න පුලුවන්.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here