කොණ්ඩේ ගැන අපි නොදන්න දේවල් – Saru News Media

0
3

කොණ්ඩේ කිව්වම මොකක්ද කියල නොදන්න කෙනෙක් නෑනෙ. ඒ උනාට ඔය එක එක විලාසිතා කරලා හැඩට, පෙනුමට තියන් ඉන්න කොණ්ඩේ  ගැන උනත් අපි නොදන්න දේවල් කොච්චරක්ද? කඩාහැලෙන අක්බඹරු වගේ කේශකලාපයකට හීන මවන නංගිලාගේ ඉඳන් කොහොමහරි ඉහේ තියෙන කෙස්ගස් ටික පරිස්සම් කරගන්න හිතන අයියලා වෙනකං කාටත් එකසේ වැදගත් කාරණා කීපයක් තමයි මේ කතා කරන්න යන්නේ.

 

කොණ්ඩේ පරිස්සම් කරගන්න උනන්දු වෙන හැමෝටම වැදගත් මේ කොණ්ඩේ කියන්නේ මොකක්ද කියල දැනගන්න එක. කොණ්ඩේ හැදිලා තියෙන්නේ කෙරටින් කියන දෘඩ ප්‍රෝටීනයෙන්. රෝම කූපයකින් තමා කෙස් ගහක් වැවෙන්න පටන් ගන්නේ. ඔය රෝම කූපයට යටින් තියෙන බල්බ් කියල එකක් හරහා තමයි කෙස් ගහට අවශ්‍ය පෝෂණ අවශ්‍යතා හිස් කබල ඇතුලේ තියෙන නහර පද්ධතියක් හරහා ලබාගන්නෙ. ඔය රෝම කූපයේම තව තියෙනවා තෙල් සහිත ග්‍රන්ථියක්. ඒතන තමයි හිස් කබලට සහ කෙස් ගස් වල තෙතමනය රඳවාගන්න ඕන තෙල් හැදෙන්නේ.

 

දැන් ඇයි ඉතින් මේ කොණ්ඩේ තියෙන්නේ කියල හිතෙනවා නේද. අන්න ඒක තමයි මේ කියන්න යන්නේ. ඇඟට අඳින ඇඳුම් වලින් ඇඟ ආරක්ෂා කරනව වගේ ඔලුව උණුසුමෙන්, සීතලෙන්, අධෝරක්ත කිරණ වලින් ආරක්ෂා කරගන්න එක තමයි කොණ්ඩේට පැවරිලා තියෙන ප්‍රධානම රාජකාරිය. ආරක්ෂාව කෙසේවෙතත් අපි කොණඩෙන් බලපොරොත්තු වෙන ලොකුම දේ තමයි පෙනුම. මුහුණේ පෙනුමට කොණ්ඩෙන් එකතුවෙන ස්වභාවික ලස්සන තමයි ඊළඟට තියෙන ලොකුම ප්‍රයෝජනය.

 

පස්සේ පස්සේ එක එක පාට කැටයම් ජාති එහෙම දැම්මට කාටත් උපතින් උරුම වෙන කොණ්ඩයක් තියෙනවනේ. ඒකෙ පාට, හැඩය, එක එක රටවල්, ජනවර්ග වගේ කාරණා අනුව වෙනස් වෙනවා. ඔය හැඩය, ඒ කිව්වේ ස්ට්‍රේට්, කර්ල් එහෙම නැත්තම් ඝනකම, සිනිදු වගේ ලක්ෂණ මූලිකවම තීරණය වෙන්නේ අපේ ජාන අනුව. හැබැයි කොණ්ඩේ පාටනම් තීරණය කරන්නේ ජාන නෙමෙයි. හමේ වගේම කොණ්ඩේ තියෙන මෙලනින් කියන වර්ණකය. කළු පාටේ ඉඳන් රතු පාට වෙනකං විවිධ පාට ලැබෙන්නේ කොණ්ඩේ අඩංගු මෙලනින් වර්ණකයේ ප්‍රමාණය අනුව.

 

උදේ හවස ගැහැණු පිරිමි බේදයක් නැතුව අහන්න ලැබෙන පැමිණිල්ලක් තමයි කොණ්ඩේ යනවා, නැත්තම් කොණ්ඩේ ඩැමේජ් වෙලා කියන එක. එහෙම වෙන්නත් හේතු වෙන්නේ ඉතින් අපේම වැරදි තමයි.

 

දිනපතා නාන එක ශරීර සෞඛ්‍යයට හොඳ උනාට කොණ්ඩෙටනම් එච්චර හොඳ නෑ කියල තමයි කියන්නේ. අර කලින් කියපු කොණ්ඩෙට ස්වභාවිකව ලැබෙන තෙල් නිතරම් හෝදලා ඉවත් කරන එක කොණ්ඩෙට අපිම කරගන්න හානියක්.

කොණ්ඩේ ස්වභාවයට නොගැලපෙන ෂැම්පු එකක් පාවිච්චි කරන එකයි, උවමනා ප්‍රමාණෙට වඩා කන්ඩිෂනර් පාවිච්චි කරන එකයිත් ලොකුම හානියක්.

කොණ්ඩේ අවුල් පිටින් තියාගන්න කියලනම් නෙමෙයි මේ කියන්න යන්නේ. උවමනා ප්‍රමාණයට වඩා පීරන එකෙනුයි, විශේෂයෙන්ම තෙත ගතිය තියෙද්දී පීරන එකෙනුයි කොණ්ඩෙට හුඟක්ම හානි වෙනවා.

ගැහැණු ළමයි කොණ්ඩේ තදට ගැට ගහන, ගොතන විදි නිසාත් කොණ්ඩේ කැඩිලා හානි සිදුවෙනවා. විශේෂයෙන් තෙත කොණ්ඩේ ලේසියෙන්ම කැඩෙන්න බලන නිසා තෙත පිටින් ගැට ගැහුවම වෙන හානිය තවත් වැඩියි.

අන්තිමට ඉතින් දැන දැනම කරගන්න හානිය තමයි පාට කරන්නයි, හැඩ කරන්නයි රටේ නැති කෙමිකල්ස් කොණ්ඩෙට ගාන එක. ඒ වගේම අයන් කරනව වගේ තද උණුසුමට කොණ්ඩේ නිරාවරණය කරන එක.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here