ආදරේ මී පැණි වගේ පැණිරස වෙන්නත් කසාය වගේ තිත්ත වෙන්නත් බලපාන හේතු දෙකයි තියෙන්නේ. එකක් කොල්ලගේ ක්‍රියාකලාපේ අනික කෙල්ලගේ ක්‍රියාකලාපේ. හැබැයි ඉතින් මේකත් කියන්නම ඕනේ. මොනවා උනත් කොල්ලගේ ක්‍රියා කලාපේ කෙල්ලගේ එකට වඩා මෙතැනදී වැදගත්. මොකද කොල්ලන්ට සැක හිතෙනවා වගේ නෙවෙයි කෙල්ලොන්ට සැක හිතුනොත් දන්නවනේ ලොවෙත් වසලා හමාරයි. ඒ නිසා දැන්මම කෙල්ලත් එක්ක ෂේප් එකේ ඉන්න එක අනාගත පවුල් ජීවිතේට කෝකටත් හොඳයි. ඒ නිසා ඔන්න අද කියන්නේ කොල්ලා ෆෝන් එක ආන්සර් කරේ නැත්නම් කෙල්ලෝ වෙච්ච අපිට හිතෙන එක එක දේවල් ගැන.
කොල්ලා ෆෝන් එක ආන්සර් කරේ නැත්නම් කෙල්ලන්ට මොනවා හිතෙනවා කිවුවත්, කතා දෙකක් නැහැ ඕනෙම කෙල්ලෙක්ට ඉස්සර වෙලාම හිතෙන දේ තමයි මේ. ළඟ පාතකදී දෙන්නා දෙමහල්ලෝ අතරේ නොහොඳ නෝක්කාඩුවක් එහෙම උනානම් ටිකක් තද බල ලෙස මේ හැඟීම හිතට එනවා. අනේ ඉතින් ඒ වෙලාවේ ඉඳලා කොල්ලා ෆෝන් එක ආන්සර් කරන කල්ම කෙල්ලගේ වැඩේ කඳුළු බිබී කල්පනා කරන එක.
හිතන්නකෝ කොල්ලා කලින් කවුරු හරි කෙල්ලෙක් එක්ක යාළුවෙලා හිටිය කෙනෙක් කියලා. එහෙම නම් දැන් ඉන්න කෙල්ල කොහොමත් ඉන්නේ අර කලින් කොල්ලා යාළුවෙලා හිටිය කෙල්ල ගැන ඉරිසියාවකින් වගේම ආයෙත් කොල්ලා ඒ කෙල්ලත් එක්ක යාලුවෙයි කියලා හිතේ තියෙන පොඩි බයකින්. මේ නිසා කොල්ලා ෆෝන් එක ආන්සර් කරේ නැත්නම් කෙල්ලට හිතෙන්න පුළුවන් දෙයක් තමයි පරණ කෙල්ලත් එක්ක කොල්ලා ආයෙත් සම්බන්දයක් පටන්ගෙනද කියන එක.
යාළුවෙලා ඉන්න කොල්ලා ටිකක් විසේකාර පොරක් නම්, කෙල්ලට මෙහෙම දේවල් හිතෙන එක සාමාන්‍යයි. මොකද සමහර කොල්ලෝ ඉන්නවා කෙල්ලෙක් එක්ක යාළුවෙලා හිටියත් එහෙම එකක් නෑ වගේ ඉඳලා අනිත් කෙල්ලොන්ට බැල්ම දාලා දැළේ දාගන්න. ඒකටම හරි යන්න සමහර කෙල්ලොත් ඉන්නවා මුහුදේ ඉන්නේ එක මාළුවයි වගේ අර කොල්ලව නාවලා ගෙට ගන්න. අනේ ඉතින් අර කොල්ලා හැමදාම කරන්නේ කෙල්ලගේ විස්වාසේ හෝද හෝද මඩේ දාන එක. මෙහෙම කෙල්ලොන්ට ඉතින් කොල්ලා ෆෝන් එක ආන්සර් කරේ නැත්නම් ඉස්සර වෙලාම හිතෙන්නේ මෙහෙම තමයි.
සමහර කොල්ලෝ ඉන්නවා අනාගතේ වෙනුවෙන් සිරාවටම මහන්සි වෙලා වැඩ කරන. ඉතින් යාළුවෙලා ඉන්න කොල්ලා ඒ වගේ කෙනෙක් නම්, කෙල්ල කතා කරනකොට කොල්ලා ෆෝන් එක ආන්සර් කරේ නැත්නම් කෙල්ලට කොල්ලා ගැන මාරම දුකක් ඇතිවෙනවා. එතකොට කෙල්ලගේ හිතේ කොල්ලා ගැන තියෙන ආදරේ ඩබල් ට්‍රිබල් වෙලා උතුරලත් යනවා.
සමහර කොල්ලෝ හොඳට කනවා බොනවා කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. හොඳට කෑවම කෙසේ වෙතත් හොඳට බිවුවම නම් කොල්ලොන්ට ඔක්කොම අමතකයි. ඊට වඩා සමහර කොල්ලෝ මේ වගේ වෙලාවට කෙල්ලගෙන් කෝල් එකක් ආවට මළාට ආන්සර් කරන්නේ නැහැ. ඇයි ඉතින් ගෙදර ගියාම ඔලුවේ ගාගන්න තියෙන දෙහි ටික කෙල්ල ෆෝන් එකෙන්ම කපනවා කියල දන්නවනේ. කොල්ලා මේ වගේ කෙනෙක් නම් කෙල්ල දන්නවා ෆෝන් එක ආන්සර් කරන්නේ නැත්තේ ඒ නිසයි කියලා.
ආදරේ කරන්න පටන්ගත්ත කාලේ ගොඩක් කෙල්ලෝ කොල්ලෝ ආදරේ කරන්නේ දෙපැත්තේම ගෙවල් වලට හොරෙන්නේ. මේ කාලේදී කොල්ලා ෆෝන් එක ආන්සර් කරේ නැත්නම් කෙල්ල එකසිය ගාණට බය වෙනවා. මොකද කොල්ලගේ ගෙදරට ලවු එක මාට්ටු වෙනවා කියන්නේ කෙල්ලටත් බෝනස් හම්බෙනවා කියන එකනේ. ඒ නිසා මේ කාලේදී කොල්ලා ෆෝන් එක ආන්සර් කරේ නැත්නම් කෙල්ලට ඉස්සර වෙලාම හිතෙන්නේ මේක තමයි.
ඕනෙම කෙනෙක් ෆෝන් එක ආන්සර් කරේ නැත්නම් කාට උනත් හිතෙන දෙයක් තමයි මේ. කෙල්ලෝ හිතන්න අකමැති උනත් අනේ කොල්ලට මොකක් හරි කරදරයක්ද ප්‍රශ්නයක් ද කියලා ඕනෙම කෙල්ලෙක්ට හිතෙනවා. ආදරේ වැඩියි නම් හිත කලබල වෙන, බය වෙන තරමත් වැඩියි.
Saru Fm Media