ගල්යුගයේ මිනිස්සුත් අව්කණ්ණාඩි දැම්මෙ පොෂ් වෙන්නද? ⋆ ධරණී

0
9

මැලේසියාව, අප්‍රිකාව, මාලදිවයින, පිලීපීනය, මැදපෙරදිග රටවල් වගේ රටවල්වලට බොහොම තදට හිරුඑළිය වැටෙනවා. ඉතින් මේ රටවල ගොඩක් උදවිය අව්වෙන් ඇස් බේරගන්න හිතාගෙන සන්ග්ලාසස් දානවා. හැමෝම වගේ සන්ග්ලාසස් දාන නිසා ඒක ඒ අයට අරුමයක් නෙමෙයි. ඉතින් එයාලා සන්ග්ලාස් දාන අය දිහා ඇස් වපර කරලා අමුතුවට බලන්නේ නෑ. “අර බලපන්කෝ අරකිගේ ෂෝ එක” කියලා අව්කණ්ණාඩි දාපු අයට කෝචෝක් කරන්නේත් නැහැ. උඩ ඉඳලා යටට යනකල් බලලා කින්ඩියට වගේ හිනාවෙන්නෙත් නැහැ.

අපේ රටත් සමකාසන්න රටක්. ඉතින් අපිටත් බොහොම තදින් හිරුඑළිය වැටෙනවා. හැබැයි මෙහෙ හැමෝම සන්ග්ලාසස් දාන්නේ නැහැ. යාන්තමට හරි කණ්ණාඩි කුට්ටමක් දාන්නේ කාර්වල, මෝටර් සයිකල්වල යන අය විතරයි. ඇයි සාමාන්‍ය අයට අව්කණ්ණාඩි තහනම්ද?

කාලෙකට කලින් වුණු සිද්ධියක් මතක් වුණා. සන්ග්ලාසස් දෙකක් දාගත්තු ලස්සන ගෑනු ළමයෙක් මම හිටපු බස් හෝල්ට් එකේම හිටගෙන හිටියා. එතැන හිටපු වැඩිමහල් කාන්තාවෝ කීපදෙනෙක් අර කාන්තාව ගැන කුටු කුටු ගගා මොනවදෝ කියවන්න ගත්තා. “බොරුවට කණ්ණාඩි දෙකකුත් දාගෙන අන්ධයෙක් වගේ” ඔය කතාව මට වගේම අර ගෑනු ළමයටත් ඇහුණා. ඉතින් අව්කණ්ණාඩි දෙක ශේප් එකේ ගලෝලා බෑග් එකට ඔබාගත්තු එකයි ඇය කළේ.

අපි ඉන්නේ රස්නේ රටක. ඒ නිසා ගිනිගහන අව්වේ පාරට බැස්සහම ඇස්වලටයි, ඇස් වටේ සමටයි ලොකු හානියක් වෙනවා. ඉතින් ඇස් දෙකයි ලස්සනයි දෙකම රැකගන්න ඕනේ නම් අව්කණ්ණාඩි දාන්නම ඕනේ. අර කියාපු ගෑනු ළමයා වගේ අනිත් උන්දැලා කියන එව්වගෙන් හිත ගස්සගන්නේ නැති කෙනෙක් නම් විතරක් මේ ලිපිය කියවලා හෙට ඉඳලම සන්ග්ලාසස් දාන්න පටන්ගන්න.

මිනිස්සු අව්කණ්ණාඩි පාවිච්චි කරන්න පටන්ගත්තේ ගල්යුගයේ ඉඳලා. හැබැයි සන්ග්ලාසස් කියන්නේ නවීන ලෝකේ නාඩගමක් කියලා හිතන ඈයෝ ඒ බවක් දන්නේ නැහැ. ඇමරිකාවේ හිටපු එස්කිමෝවරු තමයි මුලින්ම අව්කණ්නාඩි පාවිච්චි කරලා තියෙන්නේ. සත්ව කටුවලින් ෆ්‍රේම් එක හදාපු මේ කණ්ණාඩි මැදට සීල් දත්වලින් හදාපු කණ්ණාඩියක් පවා ඔබ්බවලා තියෙනවලු.

ඒ වගේම ක්‍රි.ව. 37-68 කාලේ රෝමය පාලනය කරාපු නීරෝ කොලෝසියමේ ග්ලැඩියේටර සටන් නරඹන්න එමරල්ඩ් ගල්පතුරුවලින් හදාපු සන්ග්ලාසස් පාවිච්චි කළාලු. එතකොට අද අපි පාවිච්චි කරන අව්කණ්ණාඩි හදලා තියෙන්නේ ඇමරිකාවේ සෑම් ෆෝස්ටර් 1919දී. පස්සේ මෙව්වා බොහොම ඉක්මනින් මිනිස්සු අතරට ගිහින්. මර්ලින් මොන්රෝ, ජැක් නිකලොස්, ජැකී කෙනෙඩි වගේ නිළියෝ අව්කණ්ණාඩි පාවිච්චි කරන්න ගත්තු නිසා මෙව්වා තරුණියන් අතරත් ජනප්‍රිය විලාසිතාවක් වුණාලු. සන්ග්ලාසස් දැම්මහම හොඳ පෙනුමක් ලැබෙනවා තමයි. හැබැයි ඊටත් වඩා ඇස් දෙකයි සැබෑ පෙනුමයි ආරක්ෂා කරගන්න අව්කණ්ණාඩි අපිට උදව් කරනවා.

හිරුකිරණේ පාරජම්බුල කිරණ (UV) කියලා අපේ ශරීරයට අහිතකර කිරණයක් තියෙනවා. රටකට වැටෙන හිරුඑළියේ ත්‍රීව්‍රතාවය එක්ක UV කිරණ මනින  දර්ශකයක් තියෙනවා. අපේ රටේ UV ප්‍රමාණය තියෙන්නේ 8-12ත් අතර. ඒකේ තේරුම අපිට මේ කිරණය ඉතා වැඩි වශයෙන් වැටෙනවා කියන එක. ඉතින් පාරජම්බුල කිරණවලින් ආරක්ෂා වුණේ නැත්තම් ඇසේ සුද, ග්ලුකෝමා, අන්ධබව වුණත් එන්න පුළුවන්. ඒ වගේම අක්ෂි පිළිකා ඇතිවෙන්නත් මේක හේතුවක්. අන්න ඒ නිසයි අපි අනිවාර්යයෙන්ම සන්ග්ලාසස් දාන්න ඕනේ. අව්වට ඇස් පිච්චිලා ඇස් වටේ කළුවෙන එක නතර කරන්නත්, දූවිලිවලින් ඇස් පරිස්සම් කරන්නත් අව්කණ්ණාඩිවලට පුළුවන්.

හැබැයි ඉතින් ගන්නන් වාලේ අව්කණ්ණාඩි ගත්තට වැඩක් නැහැ. සන්ග්ලාසස් ගන්නකොට බලන්න ඕන කාරණා කිහිපයක්ම තියෙනවා. හිරුඑළියේ  UV-A, UV-B, UV-C කියලා  පාරජම්බුල කිරණ කොටස් තුනක් තියෙනවා. මෙව්වගෙන් UV- A කියන කොටස පොළොවට වැටෙන්නත් කලියෙන් ඕසෝන් ස්ථරෙන් බ්ලොක් කරලා දානවා. හැබැයි අනිත් කොටස් දෙකම අපිට වැදෙනවා. ඉතින් කණ්ණාඩි ගන්නකොට මේ දෙක බ්ලොක් කරන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. ප්‍රමිතිය ගැන හිතන්න.

හැබැයි අව්කණ්ණාඩි නොදා හිටියත් බාල එව්වා නම් දාන්න එපා. සාමාන්‍යන් අපි හිරුඑළියේ යනකොට අපේ ඇහේ කණීනිකාව පොඩිවෙලා අක්ෂි කාචය ඇතුළට යන UV ප්‍රමාණය ස්වභාවිකවම අඩු කරනවා. හැබැයි බාල අව්කණ්ණාඩි දෙකක් දැම්මහම ඇස්වලට හිරුඑළිය වැටෙන්නේ නැති නිසා කණීනිකාව පොඩිවෙන්නේ නැහැ. එතකොට UV කිරණ කෙළින්ම ඇහැ ඇතුළට යනවා. ඒ කියන්නේ අව්වේ යනකොට වැටෙනවට වඩා වැඩි කිරණ ප්‍රමාණයක්  ඇහැට වැටෙනවා.

සන්ග්ලාසස් ගන්නකොට මූණේ හැඩේ ගැනත් හිතන්න වෙනවා. නැත්තම් ඉතින් එළ හරකයි මී හරකයි වගේ කිසි ගැලපීමක් නැතිවෙන්න පුළුවන්. ඕවලාකාර, රවුම්, හදවත, දියමන්ති හැඩය, හතරැස්, ත්‍රිකෝණාකාර කියලා මුහුණු හැඩ කිහිපයක්ම තියෙනවා. මෙව්වගෙන් ඔයාගේ මුහුණේ හැඩේ මොකද්ද කියලා දන්නවනේ. ඒ ඒ හැඩවලට ගැලපෙන්න අව්කණ්ණාඩි හැඩ තෝරගන්න ඕනේ.

 

ඕවල් මුහුණ

එවියේටර් කණ්නාඩි, කැට් අයි, ඍජුකෝණාස්‍ර කණ්ණාඩි, මුහුණට වඩා විශාල සන්ග්ලාසස්, සමනල හැඩයේ එව්වා තමයි වැඩිය හොඳ. මුහුණට වඩා විශාල රාමු තියෙනවා නම් ලස්සන වැඩි කරවනවා.

 

හදවත් හැඩය

එවියේටර්, කැට් අයි, රවුම් කණ්ණාඩි, චතුරස්‍ර හැඩ හදවත් මුහුණු තියෙන අයට කැපෙනවා. හැබැයි කොයිම වෙලාවකවත් පුංචි ෆ්‍රේම් තියෙන අව්කණ්ණාඩි ගන්න එපා.

 

දියමන්ති හැඩය

මේ අයට ගැලපෙන්නේ පොඩි ෆ්‍රේම් තියෙන සන්ග්ලාසස්. එවියේටර්, ඕවල් කණ්ණාඩි සහ රවුම් හැඩයේ එව්වා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here