ගෙදර දොර වැඩ කියන්නේ අපි හැමෝම ගැහැණු පිරිමි භේදයක් නැතුව පුරුදු පුහුණු වෙලා තියෙන්න ඕන, එදිනෙදා කරන්න ඕන දේවල්. විශේෂයෙන්ම පිරිසිදුව, පිළිවෙලකට ඉන්න කැමති නම්, පිරිසිදුකම කියන එක අපි හැමෝම පුරුදු පුහුණු කරන්න අවශ්‍යයි. සාමාන්‍යයෙන් අපි අවට දේවල් පිරිසිදු කරගන්න විදිය අපි දන්නවනේ. ගෙදර බිම නම් පිරිසිදු කරන්න තියෙන්නේ අතුගාන එක සහ කාලෙන් කාලෙකට මොප් කරන එක. දූවිලි බැඳිලා තියෙන තැන් පිරිසිදු කරන්න නම්, ඩස්ටර් එකකින් පුලුවන්. රෙදි කෑල්ලකිනුත් පිහිදලා දැම්මොත් වැඩේ සියේට සීයක් හරි. එතකොට කෑම උයපු වළඳක් එහෙම පිරිසිදු කරන්න නම් තියෙන්නේ මොනවා හරි සබන් හෝ පිරිසිදුකාරක මිශ්‍රණයක් එක්ක හොඳට අතුල්ලලා හෝදන එක.
හැබැයි ඔය වගේ අපි දන්න පිරිසිදු කිරීමේ විසඳුම් සෑහෙන්න තිබුණට, සමහර අවස්ථා තියෙනවා, ඒ දන්න විසඳුම් වලින් ගොඩදාගන්න අමාරු තැන්. උදාහරණයක් විදියට, කීබෝඩ් එකේ යතුරු වල ඇඟිලි වල තිබුණු කුණු ජරාව බැඳිලා අවපැහැ ගැන්වුණා කියලා, ඒක සබන් දාලා හෝදන්න බැහැනේ. ආන්න ඒ නිසා, අපි හිතුවා ඒ වගේ කරන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරි පිරිසිදු කිරීම් අවස්ථාවන්ට ගැලපෙන විසඳුම් කීපයක් කියන්න.
දැන් අපි දත්බෙහෙත්, එහෙම නැතිනම් ටූත්පේස්ට් පාවිච්චි කරන්නේ මොකටද? සරලයි, දත් මදින්න. හැබැයි දත් බෙහෙත් වලින් අපිට ගෙදර දොර පිරිසිදුකරන දේවලුත් කරන්න පුලුවන් කියල කිව්වොත් පිළිගන්නවද? වැඩිය ඕනෙ නෑ. බාත්රූම් එකෙන්ම පටන් ගමු. දැන් කාලයක් පාවිච්චි කරනකොට බාත්රූම් එකේ කණ්ණාඩිය නිකම් මීදුම බැඳිලා වගේ, පැල්ලම් ගැහිලා අවපැහැ ගන්නවා නේද? ආයෙ සබන් දාලා මැද්දත් ඒ පැල්ලම් නං යන්නෙ නෑ. හැබැයි තෙත් කරපු රෙදි කෑල්ලකට ටූත්පේස්ට් ටිකක් අරගෙන, හොඳට කණ්ණාඩිය මැදලා බලන්න. ආයෙ තිබ්බ වගේම දිලිසෙන්න පටන් ගනී. ඒ විතරක් නෙවෙයි, ඔය ලෝහයෙන් හදලා ක්‍රෝමියම් ආලේප කරපු බාත්රූම් ෆිටින්ග්ස්, සින්ක් එක එහෙම වුණත් ඒ විදියට පැල්ලම් ගැහිලා අවපැහැ ගැන්වුණහම, බය නැතුව ටූත්පේස්ට් දාලා හොඳට මදින්න. වෙන එකක් තියා, ඔය අවපැහැ ගැන්වුණු රිදී පාට හැඳි ගෑරුප්පු වලට පවා ඔය ප්‍රතිකර්මය සාර්ථකයි!
මේකත් ගොඩක් අයට තියෙන, ගොඩක් අය උත්තර හොයන ප්‍රශ්නයක්. දැන් අපේ ලැප්ටොප් එකක්, එහෙම නැතිනම් එක්ස්ටර්නල් කීබෝඩ් එකක් එහෙම ගත්තු ගමන් කිරි ටොයියා වගේ තිබුණට, කාලයක් පාවිච්චි කරනකොට මේ යතුරු මතුපිට පැල්ලම් ගැහෙන්න පටන් ගන්නවා. අපි කොච්චර පරිස්සමෙන් පාවිච්චි කළත්, අත් දෙක සබන් දාලා හෝදගෙන ලැප්ටොප් එකට වාඩි වුණත්, මේ කාරණාව වළක්වන්න බෑ. එතකොට කොහොමද මේ යතුරු පුවරුවක් එහෙම පිරිසිදු කරන්නේ? පළවෙනිම කාරණාව, අර මයික්‍රොෆයිබර් රෙදි කෑලි කියන්නේ? ඒ කියන්නේ ඔය ඇස් කණ්ණාඩි එහෙම ගන්නකොට, ඒවා පිහිදන්න දෙන සිනිඳුම සිනිඳු රෙදි කෑලි තියෙන්නේ. ආන්න එව්වා වෙනම ගන්නත් පුලුවන්. එහෙම රෙදි කෑල්ලක් අරගෙන, ඒකට අයිසොප්‍රොෆිල් ඇල්කොහොල් ටිකක් දාගන්න. දාගෙන, පරිස්සමට යතුරු මතුපිට හොඳින් පිරිමදින්න. එව්වා පිරිසිදු වෙනවා සත්තයි. පොඩ්ඩක් හෝව්, කොහෙන්ද ඔය අයිසොප්‍රොෆිල් ඇල්කොහොල් (isopropyl alcohol) හොයන්නේ? බය වෙන්න එපා. ෆාමසියකින් rubbing alcohol ගත්තත් වැඩේට හරියනවා.
තව දෙයක්. මේ විදියට කීබෝඩ් එකේ මතුපිට පිරිසිදු කළාට, හරියට කීබෝඩ් එකට සර්විස් එකක් දෙන්න නම්, අර පෝටබල් වැකියුම් ක්ලීනර් එකකින් හොඳ ක්ලීනප් එකක් දෙන්න ඕන. ලැප්ටොප් එකක් නම් ඉතින් ලැප් හදන අයියට දීලා සර්විස් කළත් කමක් නෑ!
කොම්පියුටර් එක අපි දවල් පාවිච්චි කරලා, රෑට රෙද්දක් දාලා වහල තිබ්බත්, ටික කාලයක් යනකොට ඒකේ ඔය කුණු ජරාව දූවිලි බැඳෙන්න පටන් ගන්නවා. පුංචි කළු තිත් විදියට කුඩාම සත්තු ජරා කරන එව්වා පවා ස්ක්‍රීන් එකට අල්ලලා තියෙනවා. දැන් ඔන්න ඔය දේවල් පිරිසිදු කරන්න ඕන. හරිම විදිය තමයි, මයික්‍රොෆයිබර් රෙදි කෑල්ලක් තියාගෙන, දිනපතා කොම්පියුටර් ස්ක්‍රීන් එක නැතිනම් මොනිටර් ස්ක්‍රීන් එක පිහිදාලා, ඒකේ තියෙන දූවිලි අනං මනං අයින් කරන එක. කාලයක් තිස්සේ ජරා වුණු ස්ක්‍රීන් එකක් නම්, මුලින් වියළි මයික්‍රොෆයිබර් රෙදි කෑල්ලකින් හොඳට දූවිලි අනං මනං පිහිදාලා, ඊට පස්සේ අර උඩ කියපු විදියටම මයික්‍රොෆයිබර් රෙදි කෑල්ලකට අයිසොප්‍රොෆිල් ඇල්කොහොල් (isopropyl alcohol) අඩංගු ද්‍රාවණයකින් ටිකක් දාලා පිරිසිදු කරගන්න පුලුවන්. මේකටම හදපු පිරිසිදුකාරක ස්ප්‍රේ එහෙමත් ඔය කම්පියුටර් ෂොප් වලින් හොයාගන්න පුලුවන්. මොකුත්ම නැතිනම්, මුලින් දූවිලි පිහිදාලා, ඊට පස්සේ රෙදි කෑල්ල වතුර ටිකකින් පොඟවලා, හොඳට වතුර ටික මිරිකලා ඇරලා, ස්ක්‍රීන් එක හොඳින් පිහිදාලා ඊට පස්සේ ආයෙමත් වියලි මයික්‍රොෆයිබර් රෙදි කෑල්ලකින් ස්ක්‍රීන් එක පිහිදන්නත් පුලුවන්.
හැබැයි මොනවා කළත්, කෙලින්ම ස්ක්‍රීන් එකට නම් කිසිම ද්‍රාවණයක් ස්ප්‍රේ කරන්න හෝ දාන්න එපා!
දැන් ඔය මයික්‍රොවේව් අවන් එකක් එහෙම පාවිච්චි කරන අය දන්නවා, ගත්තු ගමන් දිලිසි දිලිසි තිබ්බට, ටික කාලයක් ඒක පාවිච්චි කරනකොට, අවන් එකේ ඇතුළත අව පැහැ ගන්න, පැල්ලම් ඇතිවෙන්න පටන් ගන්නවා. කෑමක් උයලා ඉවර වෙලා මයික්‍රොවේව් එක ඇතුළේ රස්නෙ ගියාට පස්සේ නිරන්තරයෙන්ම පිහිදාන එක හොඳ පුරුද්දක්. ඒකෙන් මයික්‍රොවේව් එක ජරා වෙන ශීඝ්‍රතාව අඩු වෙනවා. හැබැයි සම්පූර්ණයෙන්ම නවත්තන්න බෑ. ඒක කරන්න නම්, ලෙමන් දෙහි ගෙඩියකට පුලුවන්.
මෙහෙමයි වැඩේ. මයික්‍රොවේව් එකට පාවිච්චී කරන වීදුරු බෝල් එකකට හරි, මෙෂරින් කප් එකකට හරි, වතුර කෝප්ප බාගයක් වගේ දාගන්න. දැන් ලෙමන් දෙහි ගෙඩියක් දෙකට කපලා, ඒකේ ජූස් ටික වතුර එකටම මිරිකගන්න. දැන් ලෙමන් පළු දෙකත් ඒකටම දාන්න. දැන් මයික්‍රොවේව් එකට ඒක දාලා විනාඩි තුනක් ඉහළ පවර් එකෙන් මයික්‍රොවේව් එක ක්‍රියාත්මක කරන්න. ඒ වෙලාව ඉවර වුණාට පස්සේ, මොකුත් නොකර තව විනාඩි පහක් විතර මයික්‍රොවේව් එක අරින්නෙ නැතුව ඉන්න. දැන් මයික්‍රොවේව් එක ඇරලා, ප්‍රවේසමට ඇතුළේ තියෙන අර කැරකෙන ඩිෂ් ස්ටෑන්ඩ් එක අනං මනං ඉවත් කරගන්න. දැන් හොඳ රෙදි කෑල්ලකින් හොඳට ඇතුළත පිහිදලා පිරිසිදු කරන්න. ලේසියෙන් යන්නෙ නැති පැල්ලම් තියෙනවා නම්, අර ලෙමන් වතුර එකෙන්ම රෙදි කෑල්ල හොඳට පොඟවලා තදින් අතුල්ලලා පිහිදාන්න. දොරත් පිහිදාන්න. කැරකෙන ඩිෂ් ස්ටෑන්ඩ් අනං මනං එහෙමත් ඒ විදියටම පිහිදාන්න. ඔන්න දැන් මයික්‍රොවේව් එක ගත්තා වගේමයි!
ඇත්තටම මේ කියන්නේ උයන්න ගන්න හට්ටි මුට්ටි ගැනම නෙවෙයි. දැන් ඔය උයන්න ගන්න භාජන නන්ස්ටික් තියෙන්නේ. එව්වල සමහර වෙලාවට හරි වෙලාවට, හරියට හේදුවේ නැති වුණහම පැල්ලම් හිටිනවා ආයෙ මොනවා දාලවත් යවන්න බැරි. මොන විදියේ කුස්සියේ තියෙන පිරිසිදු කරන ද්‍රාවණ දැම්මත් මේ සමහර පැල්ලම් යන්නෙ නෑ. මේවා නන්ස්ටික් භාජන නම්, අයන් වූල් හෝ වෙනත් ඔය අනං මනං වලින් අත තද කරලා පිරිසිදු කරන්නත් බෑ. නන්ස්ටික් කෝටින් එක හීරිලා භාජනේ වැඩක් නැති වෙන්න පුලුවන්. එහෙම පැල්ලම් අල්ලපු නන්ස්ටික් භාජනයක් පිරිසිදු කරගන්න නම්, මුලින්ම ඒක සම්පූර්ණයෙන්ම වතුර පුරවලා හරි, වතුර එකක දාලා හරි හොඳට පෙඟෙන්න තියන්න. එහෙම පෙඟෙන්න තිබ්බට පස්සේ වැඩේ සරලයි. ගත්තා භාජන හෝදන්න ගන්න ස්පොන්ජ් එකක්. ඒකට දැම්මා ඩිෂ්වොෂින් සබන් ද්‍රාවණයෙන් ටිකක්, දැන් හෝදන්නයි තියෙන්නේ. ඕන නම් මුලින්ම ඩිෂ්වොෂ් සබන් ද්‍රාවණය නොදා, පැල්ලම් ටික ස්පොන්ජ් එකෙන් පුලුවන් ප්‍රමාණය අයින් කරලා ඊට පස්සේ ඩිෂ්වොෂ් සබන් දැම්මත් කමක් නෑ. හැබැයි දෙපාරක්වත් ඩිෂ්වොෂ් සබන් දාලා, තුන්පාරක්වත් භාජනය හෝදන්න.
Saru Fm Media