කලාවන් කිව්වම අපි කාටත් මතක් වෙන්නෙ සංගීතය, නර්ථනය, චිත්‍ර ශිල්පය වගේ කලාවන්නේ. හැබැයි මේවට අමතරව කලාවන් කොයිතරම් මේ ලෝකයේ තියෙනවද. අන්න ඒ විදිහේ හරි අපූරු කලාවක් තමයි ඡායාරූපකරණය කියල කියන්නෙත්. මුල්ම කාලයේ මතකයන් එකතුකරගන්න තාක්ශණික මෙවලමක් විතරක්ම වුණාට අද වෙද්දි කැමරාව කියල කියන්නෙ හුඟක් දෙනෙක් හරිම ලස්සනට භාවිතා කරන මෙවලමක්. මෙන්න මේ කැමරාවන් භාවිතා කරමින් කරන විවිධ වර්ගයේ ඡායාරූපකරණයන් ගැන තමයි මේ කතාව.
කැමරාවක් තිබුණ පමණින්ම ඕනම මනුස්සයෙක් ඡායාරූප ශිල්පියෙක් වෙන්නෙ නැහැ. ඒ වගේම තමා හැම ඡායාරූප ශිල්පියෙක්ම හැම විදිහකම ඡායාරූප ගන්නත් දක්ෂ නැහැ. ඉතින් ඔන්න ඔය ඔක්කොම කරුණු සලකලා බැලුවම ඡායාරූපකරණය කියල කියන්නෙ අපි දකිනවට වඩා හුඟක් සංකීර්ණ මාතෘකාවක්. ඒ වගේම ලෝකයේ විවිධ ඡායාරූපකරණ ප්‍රභේදයන් විශාල සංඛ්‍යාවක් දකින්න පුළුවන්. මේ අපි අද කතා කරන ඡායාරූප ප්‍රභේදයන්ට අමතරව Astrophotography, Documentary, Street Photography, Sports Photography, Architecture Photography වගේ ඡායාරූපකරණ ප්‍රභේදයන් විශාල සංඛ්‍යාවක් ලෝකයේ තියෙනවා. ඒ අතරින් අද කතා කරන්නේ විනෝදාංශයක් වගේම වෘත්තියක් වශයෙන් හුඟක් දෙනෙක් තෝරගාන්න ප්‍රධානම ඒ වගේම ප්‍රසිද්ධම ඡායාරූපකරණ ප්‍රභේදයන් කිහිපයක් ගැනයි. ඉතින් කියවලම බලමුකෝ මේ විවිධ වර්ගයේ ඡායාරූපකරණයන් ගැන.
මේ Portrait Photography කියල කියන්නෙ අපිට මුල්ම කාලයේ ඉඳලම දකින්න තිබුණ, ඉතාම ජනප්‍රියම ඡායාරූප වර්ගය. මේ ක්‍රමයේදී කෙරෙන්නේ මිනිසුන්ව ඡායාරූපයට නැගීම. ඒක විවිධ උත්සව අවස්ථා හෝ පවුලේ මතකයන් විදිහට ගැනෙන, කලින් සැලසුම් කල ඡායාරූපයන් වගේම අහඹු ලෙස කැමරා කාචයට හසුකරගන්නා පුද්ගල මනෝභාවයන් වගේ දේවල් වෙන්නත් පුළුවන්. අපි ජීවිතයේ වැදගත් අවස්ථාවන් වලදී ගන්න Graduation, Wedding Potraits, Pre-wedding Shoots, Maternity & New Born Photography ඔක්කොම අයිති වෙන්නෙ මේ Potrait ගණයට. මේ ක්‍රමයේදී තනිකරම ඡායාරූපයට ගැනෙන්නේ තනි හෝ කණ්ඩායම් වශයෙන් මිනිසුන් පමණයි. මේක සරලයි වගේ පෙනුනට ඡායාරූපයට පෙනීසිටින පුද්ගලයින්ව හරියට සමබර කරලා, ස්වභාවික හැඟීම් එක්ක ඡායාරූප ගන්නත් හැමෝටම හැකියාවක් නැහැ.
Photojournalism කියල කියන්නෙ ඡායාරූප මාධ්‍යකරණය. ඒ කියන්නෙ යුද්ධය, දේශපාලනය, ස්වභාවික ආපදා වගේ ඕනෑම සිදුවීමක් වාර්තා කිරීමට ඡායාරූප භාවිතා කිරීම. ඒ ඡායාරූප හරහා අදාළ සිදුවීම තහවුරු කිරීම වගේ දෙයක්. ඉතිහාසයේ දෙවන ලෝක යුද්ධ සමයේ සිදුවීම් විස්තර කරමින් අද සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරු වෙන පින්තූර එහෙම මේ ඡායාරූප මාධ්‍යකරණයට හොඳ උදාහරණ. සිදුවීම් වාර්තාකරණයට ඡායාරූපයෙන් අගයක් එකතුවෙන නිසා මේකත් හරිම අපූරු ඡායාරූපකරණ ප්‍රභේදයක් විදිහට හඳුන්වන්න පුළුවන්.
මේකනම් ඉතින් හැමෝම දන්න දෙයක්නේ. මුලින් කියපු ක්‍රම දෙක තරම්ම සංකීර්ණ නැතත් ඕනම පුද්ගලයෙක් තමන්ගේ ජීවිතයේ වැදගත් අවස්තාවක් ඡායාරූපකරණයට ලක්කරන්න තීරණය කරන්නේ ඒ මොකක් හෝ සිදුවීම ඔවුන්ට වැදගත් නිසානේ. ඉතින් මුල ඉඳලා අගටම යම්කිසි උත්සවයක් හෝ සිදුවීමක් අඩුපාඩුවක් නැතුව ඡායාරූපකරණයට ලක්කරන්නත්, ඒ වගේම විශේෂයෙන්ම ඒ අතරේ සිදුවෙන වැදගත්, සංවේදී අවස්ථාවන් ඉස්මතු කරමින් ඡායාරුපකරණයේ යෙදෙන්නත් හැම කෙනෙකුටම ලොකු දක්ෂතාවයක් නැහැ.
Product Photography කියල කියන්නෙ යම්කිසි වාණිජමය නිෂ්පාදනයක් ඉලක්ක කරගෙන කෙරෙන ඡායාරූපකරණයට. මේක මූලිකවම සිදුවෙන්නේ අදාළ නිෂ්පාදනයේ විකුණුම් ඉලක්ක සපුරාගන්න අවශ්‍ය වෙළඳදැන්වීම් වෙනුවෙන්. ඉතින් අදාළ නිෂ්පාදනයේ තියෙන ඉහලම ගුණාංගයන් ඉස්මතු වෙන විදිහට වගේම පාරිභෝගික ආකර්ෂණය උපරිමයෙන් ලැබෙන විදිහට ඡායරූප ලබාගැනීම ඡායාරූප ශිල්පියාගේ දක්ෂතාවයක්. මේ නිෂ්පාදන ඡායාරූපකරණය හුඟක් වෙලාවට සිදුවෙන්නේ studio එකක් ඇතුලතදී. ඒ නිසා පසුබිම, ආලෝකකරණය, සෙවනැලි ගැන එහෙම හුඟක් හිතල බලන්න හොඳ තාක්ෂණික දැනුමක් වගේම ශිල්පීය නිපුනතාවයකුත් අත්‍යාවශ්‍යයි.
අද කාලේ හුඟක්ම ජනප්‍රිය ඡායාරූපකරණ ප්‍රභේදයක් තමයි මේ ආහාර ඡායාරූපකරණය කියල කියන්නෙ. විශේෂයෙන්ම ගෘහණියන් අතර. හැබැයි කෑම ඉව්ව පමණින්ම සහ කැමරාවක් තිබූ පමණින්ම කරන්න බැරි වැඩක් තමයි මේකත්. ලස්සන ඇහැක් තියෙන කෙනෙකුට ඉතාම සරල දුරකථන කැමරාවකින් පවා හොඳ ආහාර ඡායාරූප ලබාගන්න පුළුවන්. ඒ වගේම කලින් කිව්ව වගේ Product Photography යටතේත් මේ Food Photography සිදුවෙනවා අහාර සම්බන්ධ ව්‍යාපාර වල වෙළඳ කටයුතු සඳහා භාවිතා කරන්න.
විවිධ සංචාරයන් වලදී ලබාගන්න ස්වභාවික ඡායාරූප වගේම සතුන්ගේ ඡායාරූප තමයි මේ ගණයට අයිති වෙන්නෙ. විනෝදාංශයක් වශයෙන් සංචාරයන්ගේ නිරතවෙන හුඟක් දෙනෙක් සිදුකරන කාර්යයක් තමයි මේ Travel & Wildlife Photography කියල කියන්නෙ. ස්වභාවික දර්ශනයන් වගේම සතුන්ගේ විවිධ ඉරියව් ඡායාරූපයට නගත්තන් හොඳ ඇහැක් වගේම ලොකු ඉවසීමකුත් තියෙන්නම අවශ්‍යයි. ඒ වගේම මේ කාර්යයට ඉතා හොඳ වර්ගයේ කැමරාවක් තිබීමත් ලොකු වාසියක්. මොකද ඉතා කුඩා විස්තරයක් පවා මේ වර්ගයේ ඡායාරූපයන්ට ලොකු අගයක් එකතු කරනවා.
Saru Fm Media