ජනපතිගේ පෞරුෂත්වය ගැන ආඩම්බර වෙනවා

0
6


විදේශීය රටවල න්‍යාය පත්‍රයන්ට හා විදෙස් නායකයන්ට අවශ්‍ය පරිදි මෙරට කටයුතු මෙහෙයවීමට ඉඩ නොතැබූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞරුෂත්වය සම්බන්ධයෙන් සතුටු විය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සැසි වාරය ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය විවාදය සම්බන්ධයෙන් කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.

ජනාධිපතිවරයා ගැන ලොකු ගෞරවයක් තිබෙනවා. විපක්ෂයේ සිටින කාලයේ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට කටයුතු කළේ නැහැ.අරගලයෙන් අරාජික වූ රට භාර ගැනීමේ පෞරුෂයක් තිබූ එකම නායකයා ලෙස පසුගිය වසර දෙකක ප්‍රගතිය තුළ ජනාධිපතිවරයාගේ සාර්ථකත්වය කැපී පෙනෙනවා.

පසුගිය කාලයට වඩා මේ වන විට වත්මන් ජනාධිපතිවරයාගේ පාලනය යටතේ ජන ජීවිතය ගොඩනඟා තිබෙනවා. වර්ධනය වෙමින් පවතින ආර්ථිකය තවදුරටත් වර්ධනය කිරීම සඳහා විදේශ අයෝජන ලබා ගැනීමට ද පියවර ගෙන තිබෙනවා. කෘෂි කර්මාන්තය සඳහා සුදුසු ඉඩම් තෝරාගෙන කෘෂි කර්මාන්තය වැඩිදියුණු කිරීමටත්, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් තුළින් තරුණ ජීවිතවලට වඩාත් යහපත් ඉදිරි අනාගතයක් සකස් කර ගැනීමට කටයුතු කිරීමත්, ජනාධිපතිවරයා ඇතුළු රජය ගෙන යන වැඩපිළිවෙළ ව්‍යවස්ථාදායකයේ වගකීම මනා ලෙස ඉටු කරමින් වඩාත් සමෘද්ධිමත් රටක් වෙනුවෙන් අවශ්‍ය දායකත්වය ලබාදිය යුතු බව මේ සභාවට මම ඉදිරිපත් කරනවා.

මැතිවරණ කාලයක් ඉදිරියේදී පැමිණීමට නියමිතයි. මැතිවරණ කේන්ද්‍ර කර ගනිමින් දේශපාලනඥයන්ගේ දරුවන්ට, භාර්යාවන්ට, නෑයන්ට දුරකතන මාර්ගයෙන් කතා කර හෝ කෙටි පණිවුඩ එවීමෙන් බලපෑම් කරනවා. දැවැන්ත භීෂණයක් මවමින් අමුතු දේශපාලන සංස්කෘතියක් රට තුළ ගොඩනැඟෙමින් යනවා.

Dinmina



Saru News