ජනාධිපතිවරණ උණුසුම මැද බුකියේ දැකපු කතා කියන නමින් ලිපියක් ලීවා මතක ඇති. මතක නැත්නම් මෙතනින් කියවන්න.
මේ අද කතා කරන්නේ ජනාධිපතිවරණයෙන් පස්සේ ඔක්කොම දැන් සාමාන්‍යකරණය වෙලා තියෙන මොහොතක බුකිය ඒකට ප්‍රතිචාර දක්වන්න කිව්ව කතා සාගරේ ගැන.
ජනාධිපති උපදේශනෙට කියලා නිකන් බොරුවටනේ නිලධාරින් පත් කරලා තියෙන්නේ. නොමිලයේ ම රට පාලනය සම්බන්ධයෙන් උපදෙස් ලැබෙද්දී ආය මක්කටයි උපදේශන මණ්ඩල. අන්තිමේ ගෝඨාට රට හදන්න උගන්නන මැයෙන් ෆේස්බුක් සමූහයකුත් නිර්මාණය වුණානේ. ගොඩක් ම මේ උපදෙස් සම්බන්ධයෙන් කැපී පෙනෙන විදියට ක්‍රියා කරන්නේ ජෙප්පෝ. ඒත් එක්කම ඡන්දේ දුන්න උදවිය කිව්වේ එයාලටත් වඩා ගෝඨාබය රාජපක්ෂට ඇහැ හරවගෙන ඉඳලා තියෙන්නේ අනික් මිනිස්සුනේ කියන එක. මේක පටන් ගත්තේ නම් ජෝක් එකක් විදියට නෙවේ. නව ආණ්ඩුවේ දිශානතිය වෙනස් කරන්න පුරවැසියන් විදියට වගකීම ඉටු කිරීම විතරයි එතන තිබ්බේ. දැන් ජෝගියක් විතරයි.
නව ජනාධිපතිගේ පුතා ගැන දැන් සෑහෙන කතාබහක් ඇති වෙලා තියනවා ඔහුගේ පුතයි පුතාගේ බිරිඳයි නිසා. ඉස්සෙල්ලාම ඔහුව ඇහැට හුරු වෙන්නේ අනුරාධපුරයේ දී. ඊට පස්සේ නිතර මාධ්‍යවල හිටියා තමයි. උඩු රැවුලෙන් බුකියම කළඹපු වීරයෙක් විදියට ඔහුට පටබැඳුණ නාමය තමයි හිච්චි ගෝඨා. ඊට පස්සේ ඔහුගේ ලස්සන නෝනා ගැන කතා කරන්න ගත්තා. මීම්ස් හැදුනා මදි නොකියන්න. තවමත් හැදෙමින් යනවා. විශේෂයෙන් ම ඔය හිච්චි ගෝඨා කියන නම. දැන් සමහර අය ඔහුගේ නාසා ආයතනය එක්ක තියන සම්බන්ධය සහ චරිතය පිළිබඳ සමස්තය හිතලා අනාගත ජනාධිපතිකමට පත් කරලත් ඉවරයි.
අවුරුදු හතරහමාරක් බැනුම් අහ අහා හිටපු හැට දෙලක්ෂය දැන් හිතේ හැටියට හිරි ඇරගන්නවා. විල්පත්තු ප්‍රශ්නය සහ මහවිරු සැමරුම කියන ප්‍රශ්න දෙක ජනාධිපතිවරණයෙන් පස්සේ සෑහෙන කතාබහට ලක් වුණා. නම වැකුණ ගමන් ම බුකිය පුරා ‘බයියනි සැප ද’, ‘දැන් සතුටු ද’, ‘නායකයෙක් පත් කරේ මේකටද’ යනාදී විදියට කතන්දර ගොඩක් තිබ්බා. නමුත් ප්ලාස්ටික් බෝලේ වතුර යටට ගියා වගේ දැන් ආයෙත් තත්ත්වය සාමකාමියි.
අම්මෝ මේක නම්. ජනාධිපතිටත් හිනා යන්න ඇති මේ සිද්ධියට. ජනාධිපති පත් වුණාට පස්සේ කිව්වනේ රාජ්‍ය ආයතනවල තමන්ගේ පොටෝ කෑල්ල අටවන් නැතුව රාජ්‍ය ලාංඡනේ එල්ලන්න කියලා. ඒ වගේ ම කිව්වනේ පාරේ නම විතරක් ප්‍රදර්ශනය කරාම ඇති, මැති ඇමති කතා එපා කියලා. ඉතින් ඔය ඔක්කොම උපදෙස් එක පාරට කොහොම දරාගන්න ද? අපේ කට්ටිය පාරවල නම ගැහුවා රාජ්‍ය ලාංඡනේ එක්ක. මේ දේවල පොටෝ ඉස්සෙල්ලම භීෂණේ වගේ බුකිය පුරා පැතිරෙන්න ගත්තා. පස්සේ බුකි යහළුවන්ට ම තේරුම් ගියා නොදෝමකින් මොන ගොන් වැඩක් ද මේ කියලා.
Saru Fm Media