ඩයට් කරන්න හිත හදාගෙන ඉන්න දවස්වලට පාත්වෙන හෙණගෙඩි 7ක් – Saru News Media

0
1

මිනිස්සු ඉස්කෝලෙ යනකාලෙ සෙල්ලං කරල, දුවල පැනලා ඉඳලා ඊටපස්සෙ රස්සාවක් හොයාගැනීම වෙනුවෙන් මහන්සි වෙනව. මුලින්ම ඩිග්‍රි කරනව, ජොබ් හොයනව, ජොබ් හම්බෙනව, ජොබ් එකට යනව, ප්‍රමෝෂන් ඕන නිසා ආයෙ ඩිග්‍රි කරනව, දවල්ට රස්සාව කරනව, රෑට ඉගෙනගන්නව, කසාදයක් බඳිනව, ආයෙ දවල්ට රස්සාව, හවසට දරුවොන්ගෙ වැඩ සහ සුපර්මාකට් යෑම, රෑට ටීවී බලබල බියර් බීලා නිදියනව. ඉතිං බඩ ආරනව. ඔන්න අවුරුදු තිස් මුල් ගණංවලදි බඩ දැම්මම එක්සයිස් කරන්නත් වෙලාව නැති නිසා අපි යනව ඩයට් ප්ලෑන් එකකට. එදාට තමයි මෙන්න මේ කියන ප්‍රශ්න එන්නෙ.

 

නොකෑව කියල නොබී ඉන්න බෑනෙ මචං. ඉතිං සුපුරුදු පරිදි හවසට බියර් බොන්න ගන්නව. ඒ විදියට චිල් වෙලා උගුරෙන් පහළට බහින අතරම බඩත් පිරෙන නිසා නොකන කෑමවලටත් හරියන්න එක්ක බියර් පෙවෙනව. අනේ ඉතිං කොල්ල නොකෑව ‌කියල මහතෙ අඩුවක් නං නෑ ඒ නිසා. ඔන්න ඔය හෙණ ගෙඩිය බියර් බොන බොහෝමයක් ඈයොන්ට දරුණුවටම මානසිකව බලපානවා.

 

අනේ කෑම නැවැත්තුව කියල ෆුඩ් ෆ්‍රැන්චයිස්වලින් එන එස්එම්එස් නවත්තන්න හිතෙන්නෙ නැහැනෙ මනුස්සයො. ඉතිං ඒවා දිගටම ෆෝන් එකට එනව. ඒ මදිවට කාලෙකින් ඕඩර් නොකළෙ මොකද, මේ මනුස්සය මැරිලවත්ද කියල බලන්න ඒවයෙ ඉන්න මිනිස්සු කෝල් පවා ගන්නව. ඉතිං ඔය අතරෙ කතා කරල අද ලාජ් පීසා එකට ලාජ් පීසා එකක් ෆ්‍රී කියල කිවුවම හිත සැලෙනව. නැත්තං වෙනදට දෙදාහට ගන්න චිකන් අද දාහයි මහත්තයො කියල කිවුවම බිම දිගාවෙන්න හිතෙනව. ඔන්න ඔහේ අදට විතරක් කමක් නෑ කියල හිත කියනව. අද කාපු එකේ මේ සතියම කාල ආයෙ ඩයට් එකට බහිමු කියල හිත රැවටෙනව. හැබැයි බඩ ඕක තේරුංගන්නෙ නෑ. ඌ මහත්වෙනවා.

 

මිනිහෙක් කෙට්ටුවට ඉන්න බලපාන ප්‍රධානම දෙයක් තමයි කිට්ටුවෙන් තියෙන කෑම කඩ ටික. කෑම කඩ නෑ හෝ කෑම කඩවල කෑම රස නෑ කියන එක මනුස්සයගෙ ශරීරයට මහත්සේ සුවදායක තත්ත්වයක්. හැබැයි නිවස අසළින්ම රස කොත්තු කඩ තිබීම, තෝසෙ කඩ තිබීම සහ ඒවායේ රස අලබෝල තිබීම, රසවත් අල පිරුණු එළවලු රොටි සෑම දිනයකම හවස නිකුත් වීම, උණු උණු ජෑම් පාන්, කිඹුලා බනිස් තියෙන බේකරි තිබීම, හන්දියට අලුතෙන්ම ෆුඩ් ‌ෆ්‍රැන්චයිස් කඩා පාත්වීම සහ අලුත් නිසා ඒවායේ ඔෆර්ස් ලබාදීම වගේ දේවල් නිසා ඩයට් කිරීමේ යහපත් තීරණයට කෙළවෙනවා. ඉතිං මේ ආතල් කිට්ටු වෙන තරමට කෙට්ටු බව දුරස් වෙනව බ්‍රෝ.

 

කෙට්ටුවෙන්න ගාණට කෑම මේන්ටේන් කරගෙන යද්දි ඒකට විශේෂඥ උපදෙස් ලැබීමත් කෙට්ටු වෙන්න අහිතකර විදියට බලපාන තත්ත්වයක්. ඔච්චර අමාරුවෙන් ඩයට් නොකර මං කියන විදියට කරන්න කියල කියන්න එන ඩයල්ස් සහමුලින්ම ජීවිතයෙන් ඈත් කරන්න ඕන. බත් අඩුවෙන් කන්න, එතනින් එහා වෙන දේවල් කොච්චර කෑවත් මහත්වෙන්නෙ නෑ කියල සමහරු කියනව. තව උන් කියනව තේ නොබී හිටියම හරි කියල. තවත් උන් කියනව කොච්චර කෑවත් කමක් නෑ මෙන්න මේ ආයුර්වේද බෙහෙත බීපං කියල. අනේ ඉතිං ආයෙ පුරුදු විදියට කන්න පටන් ගත්ත කියන්නෙ බෙහෙත් අල්ලන්නෙ නෑ මහත්තයො.

 

කොච්චර කෑවත් කෙට්ටුවට ඉන්න උන් දැකීම තරම් හිත කැඩෙන තවත් දෙයක් නැති තරම්. ඩයටින් සීන් එකේ මාසයක් ගෙවිලා ගියත් තාම දකින දකින හැම මිනිහම ‘ආ මහතයි නේද?’ කියල අහන එකත් හිත කැඩෙන වැඩක්. කණ්නාඩියෙන් කොච්චර කෙට්ටුවට පෙනුනත් බර කිරන්න නැග්ගම තාමත් කටුව සීය පනිද්දි හිත කඩන් වැටෙන්නෙ අපේ වන්ඩේ ටීම් එකේ මැද පෙළ වගේ.

 

වයිෆ් රසටම උයන කිරි කොස් පාර උයන්න ගන්නෙ අපි ඩයටින් පටන් ගත්තු මුල් සතියෙ. නැත්තං අම්ම එනව බත් මුල් බැඳගෙන ගෙදර. වයිෆ් කනව තනියෙන් ඔක්කොම. අපි ඉතිං තම්බපු එළවලු ගිල ගිල බිරින්දෑ කරවල බැදුම්, පොලොස් එක්ක ගිලින දිහා කට ඇරගෙන බලං ඉන්නව. ඉතිං ඔහොම දේවල් වෙද්දි ඩයට් ප්ලෑන් කැලේ පල කියල බත් ගිලින්න හිතෙන්නැද්ද මනුස්සයෙකුට?

 

රෑට නොකෑවට මොකෝ බීපු වෙලාවට බයිට් කනවනෙ. අන්න ඒ නිසාම අපි ඩයටින් පටන් ගත්තු ගමන් සෙට් වෙනව බර්ත්ඩේ පාටි, ඔෆිස් පාටි, බාබකියු දාන ට්‍රිප් සහ වෙඩින්. කොටිම්ම නොදන්න උන්ගෙ දූලගෙ කොටහළු මගුල්වලට පවා යන්න වෙනව. ඕවයෙ ගිහිල්ල නොකා ඉද්දි හැම එකාම උන්ගෙ සත පහ හලන්න එන නිසා අපිත් තියෙන ආසාව දෙකොනින් යන්න ගිලිනව. ඔහොම එකක් සතියකට සෙට් වුනොත් සතියක ඩයටින් සුනුවිසුනු වෙනව.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here