තමන්ට කියවන්න ආස හිතෙන, හොඳ පොතක් තෝරගන්නේ කොහොමද? – Saru FM Media

0
183


ගොඩක් දෙනෙක් කියනවනේ දැන් කාලේ පොත් කියවන පුරුද්ද අඩු වෙලා, මිනිස්සු ස්මාට් ෆෝන් වලටයි, වෙන වෙන ස්මාට් ගැජට් බැජට් වලටයි හුරු වෙලා කියලා. හැබැයි ඉතින් ඔය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේ, නුවර පොත් ප්‍රදර්ශනේ, තඩි නපුරු වෘකයගේ පොත් ප්‍රදර්ශනේ වගේ එව්වල පොඩ්ඩක් කරක් ගහලා බැලුවහම හිතෙනවා ඔය නව තාක්ෂණ ඇලජික් උදවිය කියන තරමට පොත් කියවන පුරුද්ද අභාවයට ගිහිල්ලා නෑ කියලා. ඇත්තටම ශ්‍රී ලංකාව ගත්තොත් තාමත් සෑහෙන්න පිරිසක් පොත් කියවනවා. හැබැයි මේ පොත් කියවන උන්දැලත් දෙකොටසකට බෙදන්න පුළුවන්. එක කොටසක් තමයි පුංචි කාලේ ඉඳලම පොත් කියවලා, අදටත් පොත් කියවන සීසන් වෙච්ච කියවන්නෝ. මේ වගේ උන්දැලව ඔය බොරු ෂෝ වලින් අන්දන්න, ලස්සන කවර, ලස්සන ඇඩ් පෙන්නලා පොත් ඇඟේ ගහන්න බෑ. ඒ අය හොඳ පොත් තෝරගන්නත් පුරුද්දෙන්ම දන්නවා. හැබැයි එහෙම සීසන් නොවුණු පොත් කියවන උන්දැලාත් බර තොගයක් ඉන්නවා. ඒ අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කොහොමද කියවන්න හොඳ පොතක් තෝරගන්නේ කියන එක. ආන්න ඒ නිසා, ඒ ප්‍රශ්නේ තියෙන අයට උපකාරයක් කරන්න තමයි අපි මේ ආටිකල් එක ලියන්නේ!

 

 මේ කියන්නේ තමන් කැමති විදියේ පොත් මොනවද කියන එක ගැන සහ, තමන් කියවන්න හුරු විය යුතු පොත් මොනවද කියන එක ගැනයි. පැහැදිලි නැද්ද? අපි මෙහෙම ගමු. පොත් කියවන්න පටන් ගන්න කෙනෙක් බරසාර පොත් වලින් පටන් ගන්න එක ගොඩක් වෙලාවට වෙන්නේ නැති දෙයක්. ඇයි? පොත් කියවන එක සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක්ට විනෝදාංශයක්. ඉතින් බරසාර පොත් කියවන එක විනෝදයක් වෙන්නේ එහෙමත් කෙනෙක්ට තමයි. අනික බරසාර පොත්, ක්ලැසික් එහෙම කියවන්න පොඩි ප්‍රැක්ටිස් එකකුත් ඕන. ආන්න ඒ නිසා පටන් ගැන්මට තමන් ආස පොත් වර්ගෙකින් පටන් ගත්තට කමක් නෑ. ඒ කියන්නේ රහස් පරීක්ෂක කථා, හොල්මන් කථා, ආදර කථා වගේ එව්වා. ඒ ජාතියේ පොත් හොයාගන්න අමුතුවෙන් දඟලන්න ඕනෙත් නෑ. ඩීමන් ආනන්දගේ, චන්ද්‍රසේනද සිල්වාගේ ඉඳලා දැන් කාලේ ලේඛකයොත් ත්‍රිලර් එහෙම ලියනවා. ෂර්ලොක් හෝම්ස් හොඳ පරිවර්තනත් ඕනෑ පදම් හොයාගන්න තියෙනවා. ඕක තමයි කැමැත්ත කියලා කිව්වේ.

හැබැයි ඉතින් පොත් කියවන්න පොඩ්ඩක් හුරු වුනාට පස්සේ ටිකක් ආනන්දයෙන් ප්‍රඥාවට යන්නත් හිතන්න ඕනෑ. ආන්න ඒකට පොඩ්ඩක් බරසාර පොත් කියවන්නත් හුරු වෙන්න ඕනෑ. ආන්න ඒක තමයි අවශ්‍ය දේ. ඉතින් ඔන්න ඔය කියපු කාරණා දෙක මුලින්ම පැහැදිලි කරගන්න වෙනවා.

 

මෙන්න මේ විදියේ ලිස්ට් වලට පොත් කියවන එකත් එක්තරා විදියක ජොලි වැඩක්. දැන් ඔය සරල ගූග්ල් සර්ච් එකකින් වුනත් හොයාගන්න පුළුවන් මැරෙන්න කලින් කියවිය යුතු පොත් ලිස්ට්. මේවලින් ඔය බීබීසී, ගුඩ්රීඩ් වගේ වෙබ් අඩවි වලින් එහෙම ඉදිරිපත් කරන ලිස්ට් සෑහෙන්න හොඳයි. හැබැයි ඉතින් මෙව්වා ඉංග්‍රීසි පොත්. ගොඩක් වෙලාවට ඔය විශ්ව සාහිත්‍යය කියලා හඳුන්වන විදියේ පොත්. ඒවා වෙන වෙන භාෂා වලින් ලියැවිලා තිබුණත් ඉංග්‍රීසියට අනිවාර්‍යයෙන්ම පරිවර්තනය වෙලා තියෙනවා. සමහර වෙලාවට සිංහලෙනුත් හොයාගන්න පුළුවන්. ඉතින් මේ විදියේ විශ්වාසය තියන්න පුළුවන් ලිස්ට් එකක් අරගෙන, ඒ ලිස්ට් එකේ පොත් කියවන එකත් හොඳ ක්‍රමයක්.

එහෙම නැතිනම් අපි පහළින් සඳහන් කරන ක්‍රම පාවිච්චි කරලා තමන්ගේම ලිස්ට් එකක් හදාගන්නත් බැරි කමක් නෑ!

 

ඇත්තටම කියවන්න හොඳ පොත් තෝරන එකේ අමාරුම කෑල්ල තමයි දැන් කාලේ හොඳ පරිවර්තන තෝරන එක. ඒකට හේතුව මේකයි. දැන් කාලේ පරිවර්තන ගොඩක් එව්වා ආප්ප බානවා වගේ තමයි සිද්ධ වෙන්නේ. ප්‍රකාශකයන්ටත් ඕන කරන්නේ කොලිටිය බල්ලට දාලා, කවුරු හරි ලව්වා පොත් පරිවර්තනය කරගන්න. ආන්න ඒ නිසා පරිවර්තන තෝරගන්න කොට මුලින්ම හොයලා බලන්න පරිවර්තකයා ගැන. අවුරුද්දට පොත් දහයක් පහළොවක් පරිවර්තනය කරන හාදයෙක් නම් කෙලින්ම නොසලකා හරින්න පුළුවන්. ඒ වේගෙන් කොලිටියට පොතක් පරිවර්තනය කරන්න අමාරුයි කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. අනික ප්‍රකාශකයා ගැනත් හොයලා බලන්න ඕන. දෙවෙනියට පරිවර්තනයක අඩුපාඩු තියෙනවා කියලා පේනවා නම්, ඒත් මොකද කථාව තේරෙනවනේ කියලා අරගෙන වැඩක් නෑ. හොඳ පොතක් නම් ඒකේ මුල් කතුවරයා එක වචනයක් වුනත් ලියන්නේ තේරුමක් ඇතුව. එතකොට එව්වා පරිවර්තකයාට ඕන ඕන විදියට හලන්න හෝ වෙනස් කරන්න බෑ!

 

දැන් කාලේ පොත් කියවන අය එකතුවෙලා ඉන්න ෆේස්බුක් ගෘප් හැටහුටහමාරක්ම තියෙනවා. ඒක හොඳයි. ඉතින් පොත් කියවන්න ආස කෙනෙක් මේ ෆේස්බුක් ගෘප් වලින් එකකට හෝ කීපෙකට හෝ එකතුවෙන එකේ කිසිම වැරැද්දක් නෑ. හැබැයි මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. මේ ගෘප් වල හොඳයි කියලා පෝස්ට් කරන හැම පොතම කියවන්න යන එක අමාරුවේ වැටෙන වැඩක්. ඒකට එක හේතුවක් තමයි පොත් උඩින් පල්ලෙන් කියවන හෝ නොකියවාම අනික් අයට පොත පෙරළන්න එන ඩයල්ස් පොත් ගැන දාන පෝස්ට් සතපහකට විස්වාස කරන්න බැරි වීම. දෙවෙනියට ඔය සමහර කතුවරුන්ගේ, ප්‍රකාශකයන්ගේ යාලු මිත්තරයෝ සහ එහෙයියෝ එහෙමත් තමන්ගේ කෙනාගේ පොත් මාරම මාරයි කියලා පෝස්ට් දානවා. අන්න ඒවාත් සමහර වෙලාවට තාර බර ඇරලා ගන්න වෙන්නේ. හැබැයි ඔය කියපු දෙවිදියේම අය වගේම ඉතාම හොඳට පොත් කියවන, පොත් පත් වල ගුණාගුණ දන්න නීයම පාඨකයෝත් පෝස්ට් දානවා. ආන්න ඒ විදියේ පෝස්ට් අනුගමනය කරලා අපිට කියවන්න හොඳ පොත් තෝරගන්න පුළුවන්.


Saru Fm Media