තමන්ව තමන් විදියට පිළිගන්න පුරුදු වෙන්නේ මෙහෙමයි! – Saru FM Media

0
99


ඉංග්‍රීසියෙන් කියන කතන්දරයක් තියෙනවා, Being comfortable in your own skin කියලා. ඒ කියන්නේ, තමන්ව තමන් විදියටම පිළිඅරගෙන ඉන්න පුලුවන් විදියට තමන් ගැනම හොඳ ආත්ම විශ්වාසයක් තියෙන එක ගැන. තවදුරටත් පැහැදිලි කළොත්, ඔය කියන විදියේ comfortable in your own skin මානසික මට්ටමක් තියෙන කෙනෙක් තමන්ගේ හමේ පාට කළු ද, සුදු ද, ඒ පාටට අනික් අය කැමති වෙයිද, තමන් මහතයිද, කෙට්ටුයිද, තමන්ගේ ඇඟේ සයිස් එක සමාජේ අනික් අය පිළිගනීද වගේ කාරණා ගැන වදවෙන්නෙ නෑ. ඒ අය ඒ අයගේ විදියට සතුටින්, රිලැක්ස් එකේ ඉන්නවා. හැබැයි ඉතින් ඕක ලබාගන්න ලේසි පහසු ජයග්‍රහණයකුත් නෙවෙයි. මොකද අපි ඉන්නේ මිනිස්සු හැමතිස්සේම අනික් මනුස්සයා දිහා බලන, අනික් මනුස්සයාව විනිශ්චය කරන, අනික් මනුස්සයා ඉන්න ඕන විදිය ගැන ඔපීනියන් දෙන සමාජෙක. එහෙම සමාජෙක ඉන්න මිනිස්සු අනික් අය ගැන විවේචනාත්මකව බලනවා වගේම, අනික් අය නැතිනම් සමාජය තමන් දිහා විවේචනාත්මකව බලනවටත් ලොකු අවුලක් තියෙනවා. ඒ නිසාම ගොඩක් මිනිස්සු ඇත්තටම තමන් තමන් විදියට ඉන්නවා වෙනුවට, සමාජේ අනික් මිනිස්සුන්ට ඕන විදියට ඉන්න උත්සාහ කරනවා. හැබැයි ඉතින් ඒක හරිම වෙහෙසකාරී වැඩක්.

 

අන්න ඒ නිසා, අපි හිතුවා, තමන්ව තමන් විදියටම තමන්ට පිළිගන්න පුලුවන් වෙන්නේ කොහොමද කියන එක ගැන ටිප්ස් ටිකක් කියන්න!

 

අපි ඕනම කෙනෙක්ගේ වටිනාකමක් තියෙනවා. සමහරවිට ඒ වටිනාකම අපිටවත් තේරෙන්නේ නැතිවෙන්න පුලුවන්. ඒත් අපිට ඒ වටිනාකම හොයාගන්න පුලුවන්. හරියට තනි කළු ගලක් ඇතුළේ හැංගිලා තියෙන පිළිමයක්, ගල් වඩුවෙක් ගල පතුරු ගහලා මතු කර ගන්නවා වගේ.  දැන් මොනවද මේ කියන වටිනාකම්? හොඳට මතක තියාගන්න. තමන්ගේ වටිනාකම කියන්නේ “මට රස්සාවක් නෑ, ඉගෙනගෙන නෑ, හැබැයි මට හොඳ හිතක් තියෙනවා” කියන එක නෙවෙයි. තමන්ගේ හොඳ ගතිගුණ වල වටිනාකම අපි ඊලඟට කතා කරනවා. හැබැයි අපි අපේ වටිනාකම අපේ ඉගෙනීමෙන්, අපි සමාජයට ලබාදෙන දායකත්වයෙන්, රැකියාවෙන්, අපි කරන කියන දේවලින් තමයි හදාගන්න ඕන. ඉතින් එහෙම තමන්ට තිබිය යුතු වටිනාකම් හඳුනාගෙන, ඒ වටිනාකම් තමන් ලඟ නැති නම් නිර්මාණය කරගන්න එක, තමන්ට තමන් විදියටම ජීවත් වෙන්න අත්‍යවශ්‍ය වෙනවා.

 

Tips to be comfortable in your own skin

තමන්ගේ ගතිගුණත් තමන්ගේ වටිනාකම නිර්මාණය කරන්න අවශ්‍ය වෙනවා කියලා අපි කිව්වනේ. ඇත්තටම අපි හදාගන්න ඕන හොඳ මෝරල් කෝඩ් එකක්. මොකක්ද මේ මෝරල් කෝඩ් එකක් කියන්නේ? සරලවම කිව්වොත්, හරි වැරදි කියන දේ අපිට පුද්ගලික මට්ටමකින් වෙන් කරලා හඳුනගන්න වැදගත් වෙන නීති රීති සමූහයක් කියලා කියන්න පුලුවන්. අපි පුද්ගලික මට්ටමකින් හදාගත්තට, මෝරල් කෝඩ් එකක් සාමාන්‍යයෙන් තමන් ජීවත් වෙන සමාජයේ අනික් අයටත් පිළිගන්න පුලුවන් වෙන එක හොඳයි. හැබැයි මෝරල් කෝඩ් එකට අපි දාගන්න සමහර නීති රීති සමාජයේ පොදු පිළිගැනීමට වෙනස් වෙන්න පුලුවන්. උදාහරණයක් කිව්වොත්, කොහේ හරි ආයතනයකින් වැඩක් ඉක්මනට කරගන්න පොඩි ගාණක් දෙන එක පොදුවේ අවුලක් විදියට පිළිනොගැනෙන, හැමෝම කරන දෙයක්. හැබැයි අපිට ඒක නොකර ඉන්න පුලුවන්, මෝරල් කෝඩ් එකටත් ඇතුළත් කරගන්න පුලුවන්.

 

Tips to be comfortable in your own skin

තමන්ට තමන් විදියට ඉන්න අවශ්‍ය නම්, මුලින්ම තමන්ව, තමන්ගේ ජීවිතය අවබෝධ කරගන්න වෙනවා. තමන්ට ජීවිතේ කරන්න ඕන මොනවද? තමන්ට අනාගතයේ ඉන්න ඕන කොතැනද කියන කාරණා තමන්ටම හොයා බලලා අවබෝධ කරගන්න වෙනවා. අන්න එතකොට, තමන්ගේ ජීවිතේ කොයි වගේ වෙන්න ඕනද කියලා අනික් හැමෝම ලබාදෙන උපදෙස් වලට අනුව නටන්න අවශ්‍ය වෙන්නෙ නෑ. උදාහරණයක් විදියට ගත්තොත්, තමන් රැකියාව අත්හැරලා බිස්නස් එකක් පටන් ගන්න හිතනවා නම්, ඒක කොයි තරම් ඥාණවන්ත අදහසක්ද කියන එක තමන්ගේ ප්‍රාග්ධනය, බිස්නස් කරන්න තමන්ට තියෙන හැකියාව, ව්‍යාපාර ඥාණය, බිස්නස් සඳහා මේ කාලය යෝග්‍යද, තමන් තෝරගන්න බිස්නස් එක කොයි තරම් සාර්ථක කරගන්න පුලුවන්ද වගේ කරුණු කාරණා මත හොයලා බලලා තීරණය කරන්න ඕන දෙයක්. ඒ කියන්නේ වෙනත් අයගේ අදහස් මත නෙවෙයි, කරුණු, සාධක, දත්ත මත තීරණය කරන්න ඕන දෙයක්. එතනදී අදාළ ක්ෂේත්‍රය ගැන ඉන්න හැබෑ විශේෂඥයන්ගෙන් උපදෙස් ගන්න පුලුවන්. මේ හැම දේම අනුව අපිප්ට පුලුවන් අපිට අවශ්‍ය ජීවිතය මොකක්ද කියන එක අවබෝධ කරගෙන, ඒ ජීවිතේ ලබාගන්න සැලසුම් කරන්න,. අන්න එහෙම කරලා තීරණයක් ගත්තට පස්සේ ආයෙ අනික් මිනිස්සු මොනවද ඒ ගැන කියන්නේ කියන එක අදාළ වෙන්නේ නෑ.

 

Tips to be comfortable in your own skin

අපි ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි, තමන් යම් කිසි දෙයක් කරන්න තීරණයක් තනියම ගන්න බයයි. දෙයක් තනියම කරන්න බයයි. කරලා වරදිනවට බයයි. ඒ නිසා, සමාජේ අනික් අයගෙන් තමන් කරන්න යන දේට, තමන්ගේ තීරණයට අනුමැතිය ලබාගන්න උත්සාහ කරනවා. අන්තිමට දන්නෙම නැතුව තමන් ජීවත් වෙන්නේ අනික් අයට ඕන විදියට වෙලා. අන්න ඒ නිසා, මුලින්ම තමන් හිතෙන හිතෙන විදියට, හැරෙන හැරෙන පැත්තට තීරණ ගන්න එක නවත්තන්න ඕන. ඒ වෙනුවට හොයලා බලලා, විශ්ලේෂණය කරලා, තක්සේරු කරලා, ඥාණවන්තව තීරණ ගන්න පුරුදු වෙන්න ඕන. ඊලඟට, තමන් ගන්න තීරණයක ප්‍රතිඵලය මොකක් වුණත් භාරගන්න පුලුවන් විදියේ එඩිතර කමක් ඇති කරගන්න ඕන. ඊට පස්සේ, තමන් කරන කියන දේවල් වලට අනික් අයගෙන් අනුමැතිය බලාපොරොත්තු වෙන පුරුද්ද නවත්තගන්න ඕන.


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here