තලේබාන් සංවිධානය ගැන තොරතුරු දැනගනිමු – Saru FM Media

0
93


තලේබාන් සංවිධානය ගැන ආයෙත් සමාජයේ කතා බහක් ඇති වෙලා තියෙනවා. ඒකට හේතුව කාලයක් ඇෆ්ගනිස්ථානය තු​ළ අන්තවාදී ත්‍රස්තවාදී සංවිධානයක් විදිහට ක්‍රියාත්මක වෙච්ච මේ සංවිධානය ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර අල්ලා ගැනීම සහ ඊට අදාළ පාලන තන්ත්‍රය තමන්ගේ යටතට ගැනීම කියන කාරණාව නිසයි. කලින් කලට මේ සංවිධානය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති අහන්න ලැබෙනවා. ඉතින් මොකක්ද මේ තලේබාන් සංවිධානය කියන එක ගැන තමයි අපි අද කතා කරන්න කල්පනා ක​ළේ. 

 

 

තලිබ් කියන්නෙ අරාබි භාෂාවෙන් ‘ශිෂ්‍යයා’ කියන වචනෙට. එතකොට තලේබාන් කියන්නෙ ශිෂ්‍යයන්ගේ සංවිධානය වගේ තේරුමක් අපිට ගන්න පුළුවන්. ඉතින් මේ සංවිධානය නිල වශයෙන් 1994 දී තමයි ආරම්භ වෙන්නෙ. ඒ මේ සංවිධානයේ ආරම්භක නායකයා වශයෙන් හැඳින්වෙන ‘මුල්ලා මොහමඩ් ඕමාර්’ ගේ නායකත්වයෙන්. ඔහු පකිස්ථානයේ ඇෆ්ගන් සරණාගත කඳවුරුවල හිටපු ශිෂ්‍යයින් පිරිසක් එකතුකරගෙන තමයි මේ සංවිධානය පිහිටුවන්නේ. ඒ විදිහට ටිකෙන් ටික පිරිස් බලය වැඩි කරගනිමින් තලේබාන් සංවිධානය ශක්තිමත් වෙන්න පටන්ගන්නවා. ඔය කාලේදී ඇෆ්ගනිස්ථානය පාලනය ක​ළේ රුසියානු හිතවාදී පාලනාධිකාරයක්. ඉතින් ක්‍රම ක්‍රමයෙන් 2001 වගේ වෙද්දී ඇෆ්ගනිස්ථානයෙන් 90%​ක පමණ ප්‍රදේශයක් මේ තලේබාන් සංවිධානය විසින් අත්පත් කරගන්නවා.

 

 

කලින් කිව්වා වගේ ක්‍රම ක්‍රමයෙන් මේ සංවිධානය රටේ වැඩි කොටසක බලය තමන් සතු කරගන්නවා. විශේෂයෙන් 1994දී කන්දහාර් නගරය ඔවුන් විසින් අත්පත් කරගනු ලබනවා. ඉන් පස්සේ ක්‍රමයෙන් අනෙකුත් පළාත් අල්ලගන්න ඔවුන් සමත් වනවා. ඉන් පස්සේ 1996 දී ඇෆ්ගනිස්ථානයේ අගනුවර වුණු කාබුල් නගරයද තමන්ගේ යටතට ගන්න මේ සංවිධානය සමත් වෙනවා. මේ සංවිධානය මුස්ලිම් අන්තවාදී සංවිධානයක් නිසාම බොහෝවිට ජනතාවට පීඩාකාරී නීති රීති සහ කාන්තාවන් සම්බන්ධව දැඩි නීති පනවන්න කටයුතු කරනවා. විශේෂයෙන් කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහනම් කරන්න ඔවුන් පියවර ගන්නවා. ඒ නීතිරීති වගේම ඉතාම දැඩි දඬුවම් ක්‍රම පවා ඔවුන් විසින් අනුගමනය කරනු ලබනවා. 

 

 

ඉතාම වේගයෙන් බලය අත්පත් කරගත්තු මේ ත්‍රස්තවාදී සංවිධානයට නොහිතපු විදිහට තමන්ගේ බලය අත අරින තැනට වැඩ සිද්ද වෙනවා. ඒ ඇමරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වෙච්ච ත්‍රස්තවාදී ප්‍රහාරය එක්කයි. ඒ ප්‍රහාරය ඇමරිකාවට ගොඩක් දැනෙන ප්‍රහාරයක් වුණා. ඉතින් ඒ ප්‍රහාරයට වගකිව යුතු අල්කයිඩා සංවිධානය ඇමරිකාවේ ප්‍රධාන සතුරෙක් බවට පත් වුණා. පස්සේ අල්කයිඩා සංවිධානයේ නායක විදිහට නම් කෙරුණු ඔසාමා බින් ලාඩන් ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටින බවට ඇමරිකාව නිවේදනය කරනවා. ඒ අනුව වහාම තමන්ගේ හමුදා මෙහෙයුම් ඇෆ්ගනිස්ථානය තු​ළ ආරම්භ කරනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ඇමරිකාව විසින් තලේබාන් සංවිධානය කාබුල් නගරයෙන් පලවා හරිනවා. ඉන් පස්සේ හමීඩ් කර්සායි ජනාධිපති ධුරයට පත් වෙනවා. ඉන් පස්සේ නැවත තලේබාන් සංවිධානය ඇෆ්ගන් කඳුකර ප්‍රදේශ වලට පලා යනවා. 

 


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here