තෙත් කලාපය තුළ තේ වගාවෙන් හරිත කාන්තාර බිහි කිරීම වහා නතර කළ යුතු ය | Saru FM Media

0
513


වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2010 වසරේ දී අවසන්වරට ප්‍රකාශිත වනාන්තර වැස්ම පිළිබඳ සංඛ්‍යා ලේඛණවලට අනුව වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ හෙක්ටයාර 1,96,573 කි. එය මෙරට මුළු භූමි ප්‍රමාණයෙන් 3% ක් නැතහොත් තෙත් කලාපයේ මුළු භූමි ප්‍රමාණයෙන් 13% ක් පමණ වේ. එය මුළු ලෝකයේ ම වැසි වනාන්තර වැස්මෙන් 0.011% කි.

මෙරට ආකාර තුනකින් යුත් වැසි වනාන්තර අතුරෙන් පහතරට වැසි වනාන්තර හෙක්ටයාර 1,23,302 ක් (1.9% ක්), උප කඳුකර වැසි වනාන්තර හෙක්ටයාර 28,513 ක් (0.4% ක්) හා ඉහළ කඳුකර වැසි වනාන්තර හෙක්ටයාර 44,758 ක් (0.7 ක්) පමණ ඉතිරි වී තිබේ. මෙම සංඛ්‍යා ලේඛණ මීට වසර 13 කට පෙර මෙරට වැසි වනාන්තරවල තත්ත්වය වන අතර අද වන විට තේ වැනි වාණිජ වගා බිම් ව්‍යාප්ත කිරීමට සැලකිය යුතු වැසි වනාන්තර ප්‍රමාණයක් ඉවත් කර තිබේ.

මෙම වනාන්තර එළි පෙහෙළි කිරීම හේතුවෙන් වැඩි ම වර්ශාපතනයක් ලැබෙන තෙත් කලාපයේ ජලය රඳවා ගන්නා ජල පෝෂක බිම් අහිමි වීම හා වැසි වනාන්තර තුළ ජීවත්වන සීමිත ව්‍යාප්තියක් ඇති ඉතා ම දුර්ලභ ජීවී විශේෂවල පැවැත්මට දරුණු බලපෑම් එල්ල වීම සිදු ව තිබේ.

නමුත් ලංකාවේ ඉතිරි වී ඇති ඉතා ම ස්වල්පයක් වන වැසි වනාන්තර තුළ මෙරටට ආවේණික ජීවී විශේෂ අතුරෙන් 90% ක් පමණ ජීවත් වේ. ඊට අමතර ව වඳවීමේ තර්ජනයට දරුණු ලෙස ලක් වී ඇති ජීවී විශේෂ අතුරෙන් 99% ක් ම වාර්තා වන්නේ මෙම වැසි වනාන්තර තුළ ය.

ලෝකයේ නිවර්තන වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ හෙක්ටයාර බිලියන 1.84 කි. එය පෘථිවියේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 12% ක් පමණ වේ. නැතහොත් පෘථිවියේ සමස්ත ගොඩබිම් ප්‍රදේශවලින් 3.6% කි. ලෝකයේ වැසි වනාන්තර ව්‍යාප්ත ව ඇත්තේ දකුණු ඇමරිකාව, කැරිබියන් දූපත්, මධ්‍යම අප්‍රිකාව, මැඩගස්කරය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, නැගෙනහිර හා අග්නිදිග ආසියාව, නිව් ගිනියාව හා පැසිෆික් දූපත්වල පමණි.

මෙම වනාන්තර තුළ භෞමික ජීවීන්ගෙන් 50% ක් ජීවත් වේ. ලෝකයේ හඳුනාගෙන ඇති ජීවීන්ගෙන් 75% ක් පමණ වැසි වනාන්තරවලට ආවේණික වේ. ලෝකයේ මෙතෙක් හඳුනාගෙන ඇති සපුෂ්ප ශාක අතුරෙන් 2/3 ක් වැසි වනාන්තරවලින් වාර්තා වේ. ලෝකයේ මෙතෙක් හඳුනාගෙන ඇති සත්ත්ව විශේෂ අතුරෙන් 50% ක් ජීවත් වන්නේ වැසි වනාන්තර තුළ ය. ස්වාභාවික ඖෂධවලින් 1/4 ක් සොයා ගෙන ඇත්තේ ද මෙම වනාන්තරවලිනි. මෙම වනාන්තරවල අවම වශයෙන් කාබන් මෙටි්‍රක්ටොන් බිලියන 250 ක් පමණ ගබඩා කර තබනු ඇතැයි වාර්තා වේ.

මෙවන් වූ සුවිශේෂී වනාන්තර දැව ලබා ගැනීම හා කටුපොල් වැනි වාණිජ වගාවන් ව්‍යාප්ත කිරීම සඳහා සීග්‍රයෙන් එළි පෙහෙළි කරනු ලැබේ. මේ නිසා සෑම පැයකට ම ලෝකයේ වැසි වනාන්තර අක්කර 6000 ක් විනාශ කරන බව හඳුනාගෙන තිබේ.

ලංකාවේ ද තේ වගා බිම් ව්‍යාප්ත කිරීම සඳහා වර්තමානය වන විට වැඩි ම වැසි වනාන්තර ප්‍රමාණයක් ඉවත් කිරීම සිදු වී ඇත. යටත්විජිත යුගයේ වර්ෂ 1881 වන විට මෙරට වනාන්තර ආවරණය මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 84 ක් විය. වර්ෂ 1900 දී එය සියයට 70 දක්වා පහළ වැටී තිබුණි. ඊට හේතුව කෝපි හා තේ වගාවන් ව්‍යාප්ත කිරීම සඳහා ශීඝ්‍රයෙන් තෙත් කලාපයේ වනාන්තර එළි කිරීම ය.

ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසුව වනාන්තර පිළිබඳ ව පුළුල් සමීක්ෂණයක් සිදු කෙරුනේ 1956 – 1961 වසර වල ය. එහි දී වන ආවරණය සියයට 44.2 ක් නැතහොත් හෙක්ටයාර 28,98,842 ක් බව හඳුනා ගැනින. වනාන්තර මහ සැලැස්ම සැකසීම සඳහා 1982 – 1985 වසර වල ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් නිදහසින් පසුව සිදු කරන ලද දෙවන වනාන්තර සමීක්ෂණයට අනුව ලංකාවේ වන ආවරණය සියයට 37.5 ක් නැතහොත් හෙක්ටයාර 24,58,250 ක් බව අනාවරණය විය. ලෙග් හා ජුවෙල් විසින් සකස් කරන ලද සිතියම් අනුසාරයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සකස් කළ පරිපාලන වාර්තා වලට අනුව වර්ෂ 1992 වන විට ලංකාවේ වන ආවරණය සියයට 31.2 ක් නැතහොත් හෙක්ටයාර 20,46,599 ක් වන බව හඳුනා ගැනින. එම වාර්තාවලට අනුව තෙත් කලාපයේ වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 2,13,495 ක් වන අතර එය සියයට 3.23 ක ප්‍රතිශතයකි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 1996 වසරේ වාර්තා වලට අනුව වන ආවරණය සියයට 29.6 ක් නැතහොත් හෙක්ටයාර 19,42,219 ක් බව සඳහන් වේ. 2010 වසරේ දී අවසන් වරට සිදු කළ වන ආවරණය පිළිබඳ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යයන වාර්තා වලට අනුව ලංකාවේ වන ආවරණය සියයට 29.7 ක් නැතහොත් හෙක්ටයාර 19,51,472 ක් බව සඳහන් වේ. මෙම එක් එක් අධ්‍යයන වල දී වනාන්තර හා වනාන්තර දර්ශ පිළිබඳ ව එක් නිර්ණායකයක් මත පදනම් ව අධ්‍යයන සිදු කර නොමැති බැවින් වන වැස්මේ ප්‍රතිශතය පිළිබඳ ව නිවැරදි සංසන්දනාත්මක අවබෝධයක් ලබා ගත නොහැකි ය.

1960 සිට 2010 වසර දක්වා ගෙවුණු වසර පනහ තුළ දී ලංකාවේ වනාන්තර 9,47,370 ක් එළිපෙහෙලි කර තිබේ. වර්ෂ 1992 සිට 2010 දක්වා ගත වූ වසර 18 ක කාලය තුළ තෙත් වනාන්තර හෙක්ටයාර 16,922 ක් ඉවත් කර තිබේ. මේ වසර වන විට එම අගය තවත් කිහිප ගුණයකින් ඉහළ ගොස් ඇත. මේ සඳහා ප්‍රධාන හේතු සාධක ය තේ වගා බිම් ඇති කිරීම ය.
මෙරට දේශීය නොවන වාණිජ වගාවන් ගේ ස්ථාපිත කිරීම ආරම්භ වන්නේ බි්‍රතාන්‍ය යටත්විජිත යුගයේ ය. පළමු ව මෙය කෝපි වගාවෙන් ආරම්භ විය. නමුත් කෝපි පළමු ව වගා කරන්නේ බි්‍රතාන්‍යයන් නොව 1740 දී ලන්දේසීන් ය. එතැන් සිට ලන්දේසීන් විසින් මෙරට කෝපි වගාව ක්‍රමානුකූල ව වගා කිරීම අත්හදා බලා ඇති අතර 1833 දී බි්‍රතාන්‍යයන් විසින් කෝල්බෲක්-කැමරන් ප්‍රතිසංස්කරණ කොමිෂම ගෙන ඒමෙන් පසුව මහ පරිමාණ වාණිජ වගාවක් ලෙස මෙම වගාව ස්ථාපිත කෙරින. ඒ සඳහා කඳුකරයේ වනාන්තර ශීඝ්‍රයෙන් එළි කර ඇති අතර අලි – ඇතුන් ජීවත් වූ තෙත් කඳුකර වනාන්තර ශීඝ්‍රයෙන් එළි කර එම සතුන් තෙත් කලාපයෙන් වඳ කර කෝපි වගාව ස්ථාපිත කර තිබේ. 1860 වනවිට ලංකාවේ කෝපි නිෂ්පාදනය කරන ප්‍රධාන රටවල් අතරට එක් වූ අතර 1870 වනවිට මෙරට කෝපි වගාව අක්කර 275,000 ක් දක්වා පැතිර තිබී ඇත. ඒ අතර තුර කෝපි වගාවට දිලීර රෝගයක් පැතිරීම හේතුවෙන් ශීඝ්‍රයෙන් මෙම වගා බිම් විනාශ වීම ආරම්භ විය.

මේ අතරතුර 1867 දී ජේම්ස් ටේලර් විසින් නුවර, ලූල්කඳුර ප්‍රදේශයේ හෙක්ටයාර 8 ක භූමි ප්‍රදේශයක පළමු ව තේ වගාව ආරම්භ කෙරින. ඉන් පසුව 1872 දී පළමු තේ කර්මාන්තශාලාව ස්ථාපිත කළ ජේම්ස් ටේලර් පළමු ව තේ අපනයනය කළේ 1873 වසරේ දී ය. එසේ ආරම්භ කළ තේ වගාව අද වන විට කඳුකරයේ හා පහතරට තෙත් කලාපයේ හෙක්ටයාර 221,969 ක් පුරා පැතිර තිබේ. 1867 වසරේ දී හෙක්ටයාර 8 කින් ආරම්භ වූ තේ වගාව අද වන විට මෙතරම් භූමි ප්‍රමාණයක් දක්වා ව්‍යාප්ත කිරීමට නොයිඳුල් කඳුකර, උප කඳුකර හා පහතරට තෙත් කලාපීය වනාන්තර විශාල ප්‍රතිශතයක් එළිපෙහෙළි කර තිබේ. අද වන විට තවදුරටත් කඳුකර වනාන්තර හා පහතරට තෙත් වනාන්තර එළිපෙහෙළි කරමින් අඛණ්ඩ ව තේ වගාව ව්‍යාප්ත කරමින් පැවතීමට ප්‍රධාන හේතුව ඒ සඳහා පවතින වෙළෙඳපොළ ඉල්ලුම ය. ඒ හේතුවෙන් මේ වන විට රක්ෂිත වනාන්තර පවා නීති වීරෝධී ව එළිපෙහෙළි කරමින් තේ වගාව ව්‍යාප්ත කෙරේ.

වැසි වනාන්තර එළි කරමින් ඇති කරන තේ වගා බිම් හරිත පැහැ කාන්තාර වැනි ය. එහි ජීවී විවිධත්වය ඉතා ම පහළ අගයක පවතී. තේ වගා බිම්වලට භාවිත කරන අධික කෘෂි රසායනික හේතුවෙන් හා ශාක ස්ථර නොමැති වීමෙන් මෙම වගා බිම් ජීවී විවිධත්වයෙන් අඩු කාන්තාර තත්ත්වයට පරිවර්තනය වේ. මේ නිසා හරිත පැහැයෙන් යුත් තේ වගා බිම් හරිත කාන්තාර ලෙස හැදින්විය හැකි ය.

මේ නිසා වනාන්තර පද්ධති ආශ්‍රිත ව තේ වගා බිම් ව්‍යාප්ත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස හුදෙකලා වූ වනාන්තර කුට්ටි ඇති වන අතර එම වනාන්තර කුට්ටි අතර තේ වගා බිම් තුළින් බොහෝ ජීවීන් ගමන් නොකරයි. මේ නිසා ජීවී ගහනයන් වනාන්තර කුට්ටි තුළ හුදෙකලා කිරීමට ද තේ වගා බිම් හේතු වේ.

මේ සඳහා ප්‍රධාන වශයෙන් ම දායක වන්නේ වතු සමාගම්වලට හා මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට අයත් විශාල තේ වගා බිම් ය. සුළු පරිමාණ තේ වගා බිම් පවත්වාගෙන යන බොහෝ ග්‍රාමීය ජනතාව බහු බෝග වගා බිමක් ලෙස තේ වගා බිම් පවත්වා ගෙන යනු ලැබේ. ග්‍රාමීය ජනතාව ගේ තේ වගා බිම් තුළ හා ඒ වටා බොහෝ ශාක විශේෂ වගා කරනු ලැබේ. කුරුදු, කෝපි, ගම්මිරිස්, එනසාල්, කරාබුනැටි, පුවක්, පොල්, වල්ලපට්ටා හෙවත් අගාව්‍රඩ් වැනි වාණිජමය භෝගවලට අමතර ව කොස්, දෙල්, කරපිංච, ගොරකා, කටුඅනෝදා, කෙසෙල්, දූරියන් වැනි ශාක විශේෂ බොහොමයක් වගා කෙරේ.
ඊට හේතු ව ග්‍රාමීය ජනතාව ගේ කුඩා වගා බිමකින් උපරිම ඵලදායීතාවය ලබා ගැනීමට හා විවිධ ආදායම් මාර්ග විවෘත කර ගැනීමට මෙන් ම ආහාර ස්වෛරීභාවය ඇති කර ගැනීම සඳහා ය. නමුත් තේ වගා බිම් පවත්වා ගෙන යන වතු සමාගම්වලට හා මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට මෙවැනි වගා බිම් පවත්වා ගෙන යාමට අවශ්‍ය නැත. එපමණක් නොව තේ පර්යේෂණායතනය විසින් නිර්දේශ කරන්නේ ද ඒක බෝග වගාවක් ලෙස තේ වගා බිම් ඇති කිරීම ය.

මේ නිසා තේ වගා බිම් පාරිසරික ගොවිතැනේ සංකල්ප හා කෘෂි වන වගාවේ සංකල්ප මත පදනම් ව ගොඩනැගීම තුළින් භූමියේ ඵලදායීතාව වැඩි කර ගැනීමෙන් ජීවී පද්ධතියක් බවට පත් කළ හැකි ය. එවිට තේ වගා බිම්වලින් ආදායම් උත්පාදන මාර්ග බොහොමයක් විවෘත වීම, ආහාර අවශ්‍යතාව සැපිරීම, පාංශු ඛාදනය අවම වීම, බාහිර යෙදවුම් සඳහා යන පිරිවැය අවම වීම තුළින් වැඩි ලාබයක් ලබා ගත හැකි වීම, ජල සුරක්ෂිතතාව ඇති වීම, වනාන්තර කුට්ටි ජාල ගත වීම තුළින් වනාන්තර පද්ධති ඇති වීම, කාලගුණික හා දේශගුණික විපර්යාස වලින් ඇති වන බලපෑම් සහ ආපදා තත්ත්වයන් අවම වීම වැනි ප්‍රතිලාභ රැසක් ලබා ගත හැකි ය.

එපමණක් නොව හරිත කාන්තාර තත්ත්වයේ පැවති තේ වගා බිම් ස්වභාවීකරණයට ලක් වීම තුළින් බොහෝ ජීවීන් ගේ පැවැත්ම තහවුරු වීම ද සිදු වනු ඇත. මේ සියලූ ම ප්‍රතිලාභ තුළින් එක ම වගා බිමක් තුළ විවිධ ආදායම් උත්පාදන මාර්ග ගොවීන්ට විවර වීම හේතුවෙන් තවදුරටත් වනාන්තර එළි කරමින් සිදු කරන තේ වගා බිම් ව්‍යාප්ත කිරීම නතර කළ හැකි ය. ඒ සඳහා වන ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට රජයට බලපෑම් කළ යුතු ය. ඒ තුළින් තේ වගා බිම්වල වහල් කම්කරු සේවය වෙනුවට සුළු පරිමාණ නිෂ්පාදකයෙක් බිහි කළ යුතු ය.

සජීව චාමිකර

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය




Saru FM Media