දමිළ ජාතිකයින් හා විවාහ වූ ප්‍රසිද්ධ සිංහල කාන්තාවන් – Saru FM Media

0
184


පහු ගිය දවසක අපි ලංකාවේ සුප්‍රකට පුද්ගලයන්ගේ විවාහ ගැන ආටිකල් එකක් ලිව්වා. මේ ආටිකල් එකට අතළොස්සක පිරිසක් බැනල තිබ්බට බහුතරයකගෙන් ලැබිලා තිබ්බේ ඉතාමත් හොඳ ප්‍රතිචාර. මේ නිසා අපි හිතුවා ඒ ආටිකල් එකේම දිගුවක් විදිහට සිංහල දෙමළ විවාහ ගැන කතා කරන්න. මේ ආටිකල් එක  කියවලත් බනිනවා නම් බනින්න වගේම ප්‍රතිචාර දක්වන අයටත් ප්‍රතිචාර දක්වන්නත් පූර්ණ නිදහස තියනවයි කියන එක අපි මතක් කරන්න කැමතියි.

 

ලංකාවේ ඉතිහාසයේ අපිට මුණගැහෙන සුප්‍රසිද්ධම සිංහල දෙමළ විවාහය විදිහට සැලකෙන පුළුවන් හය වැනි පරාක්‍රමබාහු රජතුමාගේ දියණිය වුණු ලෝකනාථා කුමරිය විසින් “නන්නූර්තුනයා” නම් දෙමළ ජාතික අමාත්‍යවරයා විවාහ කර ගැනීම. මේ විවාහයෙන් පස්සේ ඇයව උලකුඩය දේවිය විදිහට හැඳින්වුණා කියලත් කියවෙනවා. කාව්‍යශේඛරය ලියන්න රාහුල හාමුදුරුවන්ට ආරාධනා කරන්නේ මේ උලකුඩය දේවියමයි. ඔවුන් දෙදෙනාට පුත් රුවනක් ප්‍රාර්ථනා කරමින් තමයි රාහුල හාමුදුරුවෝ සැළලිහිණි සංදේශය ලියන්නේ. ලැබෙන පුත් කුමාරයා ජයබාහු නමින් වසර තුනක් වගේ රජකම් කළත් ඔහුව පහ කරනවා, හය වැනි පරාක්‍රමබාහු රජතුමා විසින් හදාගන්න ගත්ත තවත් පුත් කුමාරයෙක් වුණු සපුමල් කුමාරයා. මෙම සපුමල් කුමාරයා තමයි බුවනෙකබාහු නමින් රජ වෙන්නෙ.

 

 

කැරොලයින් ගුණවර්ධන කියන නම අද වෙනකොට දේශපාලන ලෝකය තුලින් අමතක වෙලා ගිය චරිතයක් වුණත් සමසමාජ පක්ෂයේ ඉතිහාසය තුළ කැරොලයින් ගුණවර්ධන කියන නම අමතක කරන්නම බැහැ. බොරලුගොඩ සිංහයා විදිහට හඳුන්වපු රූපසිංහ ගුණවර්ධන රාළහාමිගේ දියණියක් වුණු ඇය පිලිප් ගුණවර්ධනගේ සහෝදරියක්. පහත රට ප්‍රබල රදළ පවුලකට අයිති වුණත් කැරොලයින් ගුණවර්ධන විවාහය සඳහා තෝරා ගන්නේ එස්.සී.සී ඇන්තනි පිල්ලේ නම් වූ වෘත්තීය සමිති නායකයව. මේ විවාහයට ගෙදරින් දැඩි ලෙස විරුද්ධ වුණත් කැරොලයින් ගුණවර්ධන තඹ සතේකට ඒ විරෝධතා ගණන් ගන්නේ නැහැ. ඔවුන් දෙදෙනා විවාහ වෙනවා වගේම ඇන්තනි පිල්ලේගේ දේශපාලන කටයුතුවලට ඇගේ පූර්ණ සහයෝගය ලබා දීමත් සිදු කරනවා.

 

බොහෝ දෙනෙක් දැඩි දෙමළ ජාතිවාදියෙක් විදිහට හංවඩු ගහන සී.වී. විග්නේශ්වරන්ගේ පුතුන් දෙදෙනා විවාහ වෙලා ඉන්නේ සිංහල තරුණියන් සමග. එක පුතෙක් විවාහ වෙලා ඉන්නේ වාසුදේව නානායක්කාරගේ දියණිය වුණු තරුෂි නානායක්කාර එක්ක. අනෙක් පුතා විවාහ වෙලා ඉන්නේ කේසර ලාල් ගුණසේකගේ ඥාති දියණියක් එක්ක. මේ විවාහ සම්බන්ධකම් හින්දා සමහර අවස්ථා වලදී දෙමළ ජාතිවාදීන් වගේම සිංහල ජාතිවාදීන් විවිධ විරෝධතා විග්නේෂ්වරන්ට වගේම වාසුදේවටත් එල්ල කළා.

 

නිරූපමා රාජපක්ෂ වතාවන් කිහිපයකදී පාර්ලිමේන්තුව නියෝජනය කරන්න සමත් වුණු රාජපක්ෂ පවුලේ සාමාජිකාවක්. ඇගේ පියා වුණු ජෝර්ජ් රාජපක්ෂ, ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ ඥාති සහෝදරයෙකු වෙනවා. ඇය විවාහ වෙලා ඉන්නේ ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන තිරුකුමාර් නඩේසන් සමගයි. විවිධ අවස්ථාවල දී ඇය සිය විවාහය ගැන මාධ්‍යවලට විවෘතව අදහස් පළ කරල තියෙනවා. ඇය කියන විදිහට ඇය බුද්ධාගමට වගේම හින්දු ආගමටත් එක ලෙස ගරු කරනවා.

 


Saru Fm Media