කිරි ආහාරයට ගැනීම කියන දේ අනිවාර්යය නැහැ. ඒත් අපේ රටේ දුප්පත් ජනතාවට ලැබෙන පෝෂණය අඩු කම නිසා කිරි ලබාදීමේ වැදගත්කම අවධාරණය කෙරුණා. එය වැඩිවුණ නිසාදෝ හෝ අපිට කිරි අවශ්‍යම දෙයක් විදිහට ලාංකිකයින් සළකනවා. ඉතින් මේ කිරි වල වැදගත්කම මොකක්ද කියලා අපි ටිකක් සොයා බලමු.
දරවන්ට ගවයින්ගේ කිරි ලබාදීම ලෝකයේ බොහොම ජනප්‍රිය දෙයක්. මව්කිරි තිබුණත් දරුවා මදක් වැඩෙද්දි වෙනත් කිරි වලට යොමු කිරීම දකින්නට තියෙනවා. කිරි මගින් විටමින් ඩී සහ කැල්සියම් දරුවාට ලැබෙනවා. ඉතින් මේ පෝෂ්‍ය පදාර්ථ ගත්තොත් කිරි වලින් නැතුව වෙනත් මාර්ග වලිනුත් අපිට ඒවා ලාබෙට ලේසියෙන් ගන්න පුළුවන්. කැල්සියම් නම් ලංකාවේ කුඩා මාළුන්ගෙන් ලැබෙනවා. ඒ වගේම විටමින් ඩී හිරු එළිය මගින් ලැබෙනවා. දරුවන්ට කිරි ලබාදීමේදී අමතර පැණිරසක් අවශ්‍ය නැහැ. මේ වැඩිපුර සීනි දරුවන්ට වෙනත් ආබාධ ඇතිකරන්නට හේතු වෙන්නට පුළුවන්.
ලංකාවේ ඇතිවෙලා තිබෙන ආර්ථික තත්ත්වයත් එක්ක කිරිපිටි සැපයුම ගැන තියෙන්නේ අවිනිශ්චිත තත්‍ත්වයක්. අනෙක් අතින් කිරිපිටි කියන්නේ පෝෂණය අතින් බැලුවාම එතරම් හොඳ දෙයක් නෙමෙයි. සාමාන්‍ය ගවයින්ගෙන් ලබාගන්න කිරි වලටත් වඩා අපේ පිටිකිරි දියකරලා ගන්න කිරි උකු ගතිය වැඩියි. ඉතින් මේ පිටරටින් එන නිෂ්පාදන අඩු වීමත් එක්ක කිරිපිටි විතරක් නෙමෙයි, අනෙක් දේවලුත් හිඟ වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒවායේ මිලත් වැඩි වන්න ඉඩ තියෙනවා. කොහොම නමුත් කිරි යොදාගන්නා එක් එක් අවස්ථා වලට වෙනත් ආදේශක පාවිච්චි කරන්නට අපට පුළුවන්. ඒ ආදේශක මොනවාද කියලා අපි ටිකක් බලමු.
පොල් කිරි අපේ රටේ නම් බොහොම සුලභ දෙයක්. උතුරු ඉන්දියාවේදී හදන කෑම බොහොමයකට කෙලින්ම කිරි, බටර්, ගිතෙල් වැනි දේ දානවා. ඒ කෑම ලංකාවේ පිළියෙල කරද්දී අපිට පොල්කිරි පාවිචිචි කරන්න පුළුවන්. උදාහරණ විදිහට සව්, කීර් වැනි පුඩින් වර්ග පිළියෙල කරගන්නකොට උතුරු ඉන්දියාවෙදි කිරි දානවා. අපිට ඒ කෑමම ඒ ආකාරයට පොල් කිරි යොදලා හදාගන්න පුළුවන්. කේක් වර්ග වුවත් පොල් මිශ්‍ර කරලා රසවත්ව හදාගන්න පුළුවන්. අපි කොහොමත් කෑම උයද්දි පොල් කිරි එකතු කරනවා. ඒ නිසා පොල් කිරි යෙදීම ගැන අපේ අයට අමුතුවෙන් කියන්න දෙයකුත් නැහැ.
Saru Fm Media