දැන් කාලේ ෆේස්බුක් එකවුන්ට් එකක්වත් හැක් නොවී තියාගන්න එක ලේසි නෑ! මෙන්න ඒකට විසඳුම්!! – Saru News Media

0
18

දැන් කාලේ ෆේස්බුක් එකවුන්ට් එකක් නැති කෙනෙක් හොයනවට වඩා ලේසියි, අලියගෙ නැට්ටෙ එල්ලිලා දිව්‍යලෝකේ ගියපු එකෙක්ව හොයාගන්න එක. හැබැයි ඔහොම ඉස්කෝලේ යන සිරිමත් පැංචගෙ ඉඳලා උඩහ ගෙදර බණ්ඩෙ සීයා දක්වා හැමෝටම තියෙන ෆේස්බුක් එකවුන්ට් වලට මේ දවස් වල සෑහෙන ප්‍රශ්න. ඒ කිව්වේ ඔය හැකර්ලගෙ ප්‍රශ්න. හැකර් හැකර් කිව්වට ඉතින් සමහරු නං ඔය ෆේස්බුක් එකවුන්ට් වලට පනින්නේ හැකින්ග් ඉගෙනගෙන නෙවෙයි. තමන්ගේ එකවුන්ට් එකට පාස්වර්ඩ් එක විදියටත් තමන්ගේ නම දාන ජාතියේ මොට්ටරාළලාගේ එකවුන්ට් වලට රිංගන්න හැකින් දැනගෙන තියෙන්න ඕන නෑ! හරි, කොහොම වුනත් දැන් ෆේස්බුක් එකවුන්ට් එකක් පරිස්සං කරන එක ගේමක් වෙලානේ තියෙන්නේ. ආන්න ඒ නිසා අපි කියලා දෙන්න හදන්නේ, තමන්ගේ ෆේස්බුක් එකවුන්ට් එක පරිස්සං කරගන්න කරන්න පුළුවන් දේවල් කීපයක් ගැන.

 

මෙන්න මේ කාලේ ෆේස්බුක් එකවුන්ට් වලට බඩු බනිස් කරගන්න ප්‍රධානතම විදිය. ඔන්න කවුරුහරි ඩයල් එකක් අපිට ඉන්බොක්ස් මැසේජ් එකක් එවනවා, “අයියේ අක්කේ ඔයාගෙ ෆොටෝ දාලා කැත එකවුන්ට් එකක් හදලා, මෙන්න ලින්ක් එක ගිහින් බලන්න” කියලා. ඒක අහපු ගමන් ඇහිල්ලක් බැලිල්ලක් නෑ ඔන්න ලින්ක් එක ඔබලා ගිහින් තමන්ගේ ලොගින් විස්තරත් දෙනවා. ඊට පස්සේ අනික් පැත්ත බලනකොට තමන්ගේ එකවුන්ට් එක හැක් වෙලා. ආන්න ඒ නිසා ඉන්බොක්ස් දෙන ලින්ක් එකක්වත්, වෙන විදියකින් ලැබෙන ලින්ක් එකක්වත් ෂුවර් නැත්තං ඔබන්න යන්න එපා.  

මේකෙම තව පැත්තක් තමයි, ඔය ෆේස්බුක් ටීම් එකෙන්ය කියලා එවන ඊමේල්ස් වල තියෙන ලින්ක් එහෙමත් ඇහිල්ලක් බැලිල්ලක් නැතුව ක්ලික් කරන්න යන්න එපා. ගොඩක් වෙලාවට ඕවා ව්‍යාජ ඊමේල් වෙන්න තියෙන ඉඩ වැඩියි.

 

අපේ සමහරු ඉන්නවා පැයකට ෆේස්බුක් එකට ගියේ නැත්තං ලේ වල ඔක්සිජන් හිඟතාවයක් ඇවිත් මැරෙන්න යනවා. ඒ විදියේ අය මළගෙදරකට ගියත් එතන කාගෙහරි කොම්පියුටරයක් තියෙනවා නං ෆේස්බුක් ලොග් වෙලා මොකද වෙලා තියෙන්නෙ කියලා බලනවා. තමන්ගේ ෆේස්බුක් එකවුන්ට් එක අනාරක්ෂිත කරගන්න ඕකත් එක ක්‍රමයක්. කවදාවත් නොදන්න උපාංගයකින් තමන්ගේ ෆේස්බුක් එකවුන්ට් එකට ලොග් වෙන්න යන්න එපා. හැම වෙලේම තමන්ගේ කම්පියුටරේ සහ/හෝ තමන්ගේ ස්මාට්ෆෝන් එක ඇරෙන්න වෙන උපාංගයක් ෆේස්බුක් යන්න පාවිච්චි නොකරනවා නම් වඩාත් හොඳයි.

 

දැන් තියෙන හැම ආරක්ෂිත සයිබර් සේවාවකම වගේ, ෆේස්බුක් එකෙත් අර ටූ වේ ඕතන්ටිකේෂන් කියලා සිස්ටම් එකක් හදල දීලා තියෙනවා. ඒ කියන්නේ නිකම්ම පාස්වර්ඩ් එක ගහලා ෆේස්බුක් යන්න බෑ. එහෙම පාස්වර්ඩ් එක හරියට ගහලා ඇතුළට ගියත් අහනවා කෝඩ් එකක්. ඒ කෝඩ් එක එක්කෝ තමන්ගේ ෆෝන් එකට එවාගන්න ඕන. එහෙම නැතිනම් ෆෝන් එකේ ෆේස්බුක් ඇප් එක හරහා කෝඩ් එක ලබාගන්න ඕන. එහෙම අරගෙන කෝඩ් එක දුන්නහමත් අහනවා ෂුවර්ද මේ ඔයාමයි ෆේස්බුක් ලොග් වෙන්න හදන්නේ කියලා. ඒක ෆෝන් එකේ ෆේස්බුක් ඇප් එකෙනුත් අහනවා. ඒ ඔක්කොමත් සහතික කළාට පස්සෙ තමයි ඔන්න ෆේස්බුක් එකවුන්ට් එකට යන්න දෙන්නේ. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙච්චර දඟලන්න වෙන එක වාතයි කියලා. හැබැයි ආරක්ෂාවට මේ ක්‍රමේ ඉතාම හොඳයි.

 

මෙන්න මේක නං ඔය කම්පියුටර් හදපු දවසේ ඉඳලම විශේෂඥයෝ මිනිස්සුන්ට කියන දෙයක්. ඒ කියන්නේ පහසුවෙන් අනුමාන කරන්න පුළුවන්, සරල පාස්වර්ඩ් කිසිම දේකට දෙන්න එපා කියන එක. ඉතින් ෆේස්බුක් එකවුන්ට් එක සම්බන්ධයෙනුත් කියන්න තියෙන්නේ ඒක තමයි. තමන්ගේ මැද නම, කෙල්ලගේ නම, කොල්ලට ආදරේට කියන නම, බලුපැටියගේ නම, තමන්ගේ උපන්දිනේ වගේ පහසුවෙන් කෙනෙක්ට අනුමාන කරන්න පුළුවන් පාස්වර්ඩ් ෆේස්බුක් එකවුන්ට් එකට දාන්න එපා. තමන්ට මතක තියාගන්න පුළුවන්, ඒත් සංකීර්ණ, කෙනෙක් නොහිතන පාස්වර්ඩ් එකක් තමයි දාන්න ඕන. ඒක අංක, අකුරු, සංකේත වල එකතුවක් වුනොත් එහෙම තවත් සුපිරි.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here