Google search engine
Home ගොසිප් පුවත් දැන් හැදෙන ළමයි ගන්න දෙයක් නෑ කියන්නෙ ඇයි?

දැන් හැදෙන ළමයි ගන්න දෙයක් නෑ කියන්නෙ ඇයි?

0
9

youth-generation-issue

ශිවන්ත  පුතාගේ තාත්තා විදේශගත වෙලා තියෙන්නේ ඔහුට යන්තම් අවුරුදු පහක් පිරුණට පස්සෙලු එදා ඉඳලා තාත්තා නැති අඩුව දැනෙන්න නොදී ශිවන්තව බලාගෙන තියෙන්නේ ඔහුගේ අම්මා. මේ අම්මත් ටිකක් තරුණ වයසේ කෙනෙක්. ඉතින් තමන්ගේ සැමියා නැතිව දැනෙන පාලුව, තනිකම ගැන මේ අම්මා නිතරම පුතා එක්ක කියලා තියෙනවා,හරියට නිකන් දුක කියනවා වගේ
ඉතින් ඔහොම යනකොට තාත්තා රට ඉන්න නිසා අම්මා වෙනත් සබඳතාවක් ඇති කරගනීවි කියලා ශිවන්තට බයක් ඇතිවෙලා.

ඒ පාර මේ දරුවා අර අම්මගේ අප්පොච්චා වගේ හැසිරෙන්න පටන් අරන්. තාත්තට කෝල් ගන්න වෙලාවට ඇරෙන්න අම්මගේ ෆෝන් එක ඇයගේ අතට දෙන්නේ නැහැලු. ඒ විතරක් නෙවේ අම්මට තනියම එළිපහලියටවත් බහින්න ඔහු ඉඩදීලා නැහැ. එයාගේ කීමට පිටින් ගියොත් වෙනත් සම්බන්ධයක් තියෙන බව තාත්තට කියනවා කියල මේ දරුවා මවට තර්ජනය කරලත් තියෙනවා.
ශිවන්තව මගේ ළඟට එක්කරගෙන ආවේ ඔහුගේ ආච්චී. එතකොට ඔහුට අවුරුදු පහළොවයි. පස්සේ මම ඔහුට වගේම ඔහුගේ මවටත් නිසි උපදේශන ලබාදීලා ඔවුන්ගේ ප්‍රශ්නය නිරාකරණය කළා.
ශිවන්තගේ අම්මා විතරක් නෙවේ නොදැනුවත්කම නිසා ගොඩක් දෙමව්පියෝ දරුවොත් එක්ක තමන්ගේ ප්‍රශ්න කියන්න, දුක බෙදාගන්න යනවා. ඒ විතරක් නෙවේ දරුවෙකුට නොගැළපෙන පවුල් වගකීම් දරුවන්ගේ කර පිටට පටවනවා. දෙමාපියෝ දරුවන්ට අම්මා තාත්තා වෙනවා මිසක් දරුවව අම්මා තාත්තගේ අප්පොච්චා කරගන්න සිරිතක් නැහැනේ. එහෙම කරන්න ගියොත් නොහිතන සංකීර්ණ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියන එක ගැන තමයි අද මං කතා කරන්නේ.
පවුලක් ඇතුළේ දෙමාපියන්ට සහ දරුවන්ට පැවරුණු භූමිකාවක්, වගකීම් සමුදායක් තියෙනවා.
ඔය කිව් භුමිකා දෙපාර්ශවය අතර හුවමාරු වෙන එකෙන් තමයි මේ ගැටලු ඇතිවෙන්නේ. මේකට අපි කියන්නේ ළමා මාපියකරණය කියලයි. මේක අපි අවස්ථා දෙකකට වෙන් කරනවා. එකක් තමයි භෞතික මැදිහත්වීම. අනෙක චිත්තවේගීය මැදිහත්වීම.
මුලින්ම අපි භෞතික මැදිහත්වීම ගැන කතා කරමු. පුංචි කාලේ ඉඳලම දරුවෙක්ට වැඩ පවරන්න ඕන ඇයි කියලා අපි ගිය සතියේ කතා කළා. හ

ැබැයි දරුවෙක් කියන්නේ කුඩා වැඩිහිටියෙක් නෙවෙයි, දරුවෙක් කියන්නේ වැඩෙමින් පවතින මනුෂ්‍යයෙක්ට. ඔහුගේ මනස, ශරීරය වැඩිහිටියෙක්ට සාපේක්ෂව ඉතා කුඩයි. ඉතින් දරුවගේ මනසට සහ ගතට දරාගන්න පුළුවන් තරමට විතරක් වගකීම් පවරන්න දෙමාපියෝ බුද්ධිමත් වෙන්න ඕනේ.
හිතන්නකෝ පවුලක අම්මා විදේශගත වෙනවා එහෙම නැතිනම් මිය යනවා. එතකොට තමන්ගේ සහෝදර සහෝදරියන්වත් බලාගෙන අම්මා වගේ වැඩ කරන්න වෙන්නේ ඒ ගෙදර වැඩිමල් දරුවට නැත්නම් ගැහැනු දරුවෙක්ට.එතකොට පියා මියයන අවස්ථාවකදී පවුලේ පිරිමි දරුවට ඒ පවුලේ බර කරට ගන්න සිද්ධ වෙන තැන් තියෙනවා.
ඒ වගේම ගෙදර තවත් රෝගී දරුවෙක් ඉන්නවා නම් හෝ තනි මවක් එක්ක හැදෙන දරුවෙක් නම් සාමාන්‍ය දරුවෙක්ට වඩා වැඩි වගකීම් කොටසක් ඒ දරුවට පැටවෙනවා.
මේ වගේ දේවල් නිසා විතරක්ම නෙවේ කම්මැලිකමට දරුවන්ට ගෙදර වැඩ සේරම පවරලා අත පිහදාගන්න අම්මලත් මට හමුවෙලා තියෙනවා.
දරුවෙක්ට වයස දහතක් දහඅටක් වෙනකල්වත් දෙමාපිය රැකවරණය අවශ්‍යයි. දෙමාපිය රැකවරණය ළමයට ලැබෙනවා වෙනුවට ළමයා දෙමාපියන්ටයි පවුලටයි රැකවරණයක් වෙන්න ගියාම ඒක ඒ දරුවට දරුණුවටම බලපානවා.
මූලිකම දේ තමයි ළමයට ඔහුගේ ළමා කාලය අහිමි වෙන එක. වෙන ගෙවල්වල දරුවෝ සතුටින් සෙල්ලම් කරලා, පාඩම් කරලා ඉන්නකොට මේ මාපියකරණයට ලක්වුණු දරුවට එහෙම අවස්ථාවක් නැති නිසා ඔහුට බලවත් චිත්තපීඩාවක් ඇති වෙනවා. ඔවුන් තමන්ට ළමා කාලයක් නොදුන්න අම්මා, තාත්තාට වෛර කර කර ජීවිත කාලෙම තැවෙන්න වුණත් බැරි නැහැ. අනික පාඩම් කරන්න කාලවේලාව මදිවෙන නිසාත්, මානසික ඒකාග්‍රතාවය පවත්වාගන්න අපහසු වෙන නිසාත් දරුවගේ අධ්‍යාපනයට ඍජුවම බලපෑම් ඇති වෙනවා.
අනික මේ වගේ දරුවෙක් අවුරුදු දහය පැන්න හැටියේ තමන්ගේ තනි මතයට කටයුතු කරන්නත් පටන්ගන්නවා. අනවශ්‍ය විදියට ස්වාධීන වෙන්න ගිහිල්ලා ගැටලු ඇතිකරගත්ත තරුණියක් මෑතකදී උපදේශනයකදී මට හමුවුණා.

ඇයත් පුංචි කාලෙදිම පවුලේ වගකීම් සියල්ල කරට ගත් තැනැත්තියක්.
මෙතැනදී ඔවුන්ගේ සිතුවිල්ල වෙන්නේ මම මගේ වැඩ තනියම කරගන්න නිසා මට කාවවත් අවශ්‍ය නැහැ කියන එකයි.
ඒ විතරක් නෙමෙයි ඔවුන්ට සමාජය ගැන වෛර්සහගත සිතිවිල්ලක්, අවිශ්වාසයක් ඇති වෙන්නත් පුළුවන්, ඒ නිසාම ඔවුන් විවාහය පවා ප්‍රතික්ෂේප කරනවා.
මේක ඒ දරුවට විතරක් නෙවේ පවුලේ අනිත් දරුවන්ටත් බලපානවා. පවුලේ බර කරට ගන්න දරුවා ඒ පවුලේ අනිත් දරුවන්ව අනවශ්‍ය විදියට පාලනය කරන්න බලනවා. පුංචි දරුවෙක්ට දෙමාපිය කුසලතා නැහැනේ. ඉතින් ඒකෙන් වෙන්නේ අර අනිත් දරුවන්ගේ ජීවිතවලටත් ඒක අයහපත් විදියට බලපාන එකයි.
” උඹලට දැන් සැප වැඩියි. ඒ කාලේ අපි හැදුනේ අරමයි, මෙහෙමයි” කියන වැඩිහිටි පරපුරක් බිහිවෙන්න හේතුවෙලා තියෙන්නේ මේ කරණාවම තමයි. පුංචි කාලේ මාපියකරණයට ලක්වෙන දරුවන් තමන්ගේ දරුවන්ටත් තමන් ගතකළ ජීවිතයම අත් කරලා දෙන්න බලනවා. නැත්නම් තමන්ගේ අතීත තතු කිය කියා දරුවන්ව මානසිකව වට්ටන්න බලනවා.
පවුලේ බර කරට ගන්න හැම දරුවටම මෙහෙම වෙනවා කියලා මම කියන්නේ නැහැ. නමුත් බහුතරයක් දෙනා අතර මේ ලක්ෂණ දැකගන්න පුළුවන්.
ඊළඟ කාරණාව තමයි චිත්තවේගීය මාපියකරණය.
භෞතික මාපියකරණයටත් වඩා මේක දරුවෙක්ගේ මානසික යහපැවැත්මට බලපාන්න පුළුවන්. නිරෝගී අඹු-සැමි සබඳතාවක් නැති නිවෙස්වල දරුවන් අතර මේ තත්ත්වය සුලබයි.
තමන්ගේ සැමියා විදේශගතවෙලා නම් නැත්නම් මත්පැන්වලට හෝ වෙනත් සබඳතාවලට යොමුවෙලා නම් ඒ ප්‍රශ්න තමන්ගේ දරුවෝ එක්ක කියන අම්මලා ඉන්නවා. “ඔයාගෙ තාත්තා මට මෙහෙම කරනවා” කියලා අඬ අඬ දරුවන්ට කියන අම්මලත් අපි දකිනවා. ඒකෙන් වෙන්නේ දරුවා එයාගේ තාත්තා ගැන වෛර බැඳගන්න එකයි. තාත්තගෙන් අම්මව බේරගන්න තාත්තලාව මරලා දාපු පුතාලා ගැන කතා එහෙම කොච්චරනම් ඇහෙනවද?
අම්මා ළමයට තමන්ගේ ප්‍රශ්න කියන්න ගියාම දරුවා තමන්ගේ ළමාකම පැත්තක තියලා අම්මාගේ ප්‍රශ්න විසඳන්න යනවා.
ඔන්න හිතන්නකෝ දරුවෙක් අම්මගේ ප්‍රශ්නට විසඳුමක් දුන්නා කියලා. ‘හරි මට තමයි අම්මගෙ ප්‍රශ්න විසඳන්න පුළුවන්” කියලා තමා එතනින් එහාට එයා හිතන්නේ. ඊටපස්සෙ එයා අම්මා කියන දේවල් අහන්නෙ නැහැ. මොකද අම්මගේ ප්‍රශ්න විසඳන්නෙත් එයා නම් අම්මා කියන දේවල් අහන්නේ මොකටද කියන මතයේ තමයි දරුවා ඉන්නේ. පස්සේ දරුවා අම්මගේ පාලනය තමන්ගේ අතට ගන්නවා. ඒ විතරක් නෙවේ සහෝදර සහෝදරියන්වත් පාලනය කරනවා. තාත්තා කෙනෙක් ගැන ලාංකික සමාජයේ දරුවන්ගේ හිතේ ඇති කරලා තියෙන ප්‍රතිරූපයත් එක්ක දරුවෙක් තාත්තව පාලනය කරන්න යනවා අඩුයි. ඉතින් මේක ගොඩක් වෙන්නේ අම්මලාට නිසා තමයි මම අම්මලා කියන වචනය දිගටම භාවිත කළේ.
ඊළඟ දේ අම්මගේ ප්‍රශ්න ටික ඔලුවට ගත්තම දරුවා මානසික පීඩාවකටත් ලක්වෙනවා. ඒ නිසා ඔහුට විශාදය, කාංසාව වගේ මානසික ගැටලු පවා ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම දරුවගේ පෞරුෂයට විතරක් නෙවේ විවාහ ජීවිතයටත් මේ කාරණා බලපාන්න ඉඩ තියෙනවා.
දරුවන් මාපියකරණයට ලක්වන්නේම මේ පිළිබඳව වැඩිහිටියන්ගේ ඇති නොදැනුවත්කම නිසයි. ඒ නිසා ශිවන්තගේ අම්මට ඇති වුණා වගේ ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ දරුවන්ට ඇඟිල්ල දික්කරලා වැඩක් නැහැ.
දරුවෙක්ට වගකීම් පවරන එකේ සීමාව කොතැනද කියන එක දෙමව්පියෝ තේරුම් ගන්න ඕනේ. ඒ වගේම වැඩිහිටියන්ගේ ප්‍රශ්න දරුවන්ගේ ඔලුවලට ඔබන්නේ නැතුව ඒවා වැඩිහිටියන්ම විසඳගන්න එක හොඳයි කියන එකත් කියන්න ඕනේ.
කතාවක් තියෙනවනේ අම්මා තාත්තා දරුවන්ට යාළුවෙක් වගේ වෙන්න ඕන කියලා, ඒක හරි, හැබැයි කොයිම වෙලාවකවත් දරුවව අම්මා තාත්තාගේ යාළුවෙක් කරගන්න යන්න එපා. ඒක ඒ ළමයගේ ජීවිතේට කරන බලවත් වරදක්.

ජ්‍යේෂ්ඨ මනෝ විද්‍යා  උපදේශක / මනෝ චිකිත්සක
ආචාර්ය සුරංග අමරකෝන්
සටහන – සෙව්වන්ද හෙට්ටිආරච්චි

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here