ඉන්දියාව කියන්නේ දෙවඟනන් පරයන රුව ඇති ලලනාවන්ට ප්රසිද්ධ රටක්. කාලයක් එක දිගට ලෝකයේ ප්රධාන පෙළේ රූ රැජිණ තරඟවල ඉදිරිපෙළම ඉන්දීය නිරූපිකාවෝ හිටියා. පසුගිය වසරේදී ඒ මතකය අලුත් කරමින් තවත් ඉන්දියානු රූ රැජිණක් පිළිබඳ ප්‍රවෘත්තියක් කරළියට ආවා. කොරෝනා වසංගත තත්ත්වය නිසා එම ප්රවෘත්තියට අදාළ වටිනාකම නිසි පරිදි ලැබුණේ නැහැ. මේ නිසා අපි හිතුවා ඇය පිළිබඳව මෙන්ම මීට පෙර රූ රැජිණ කිරුළ හිමි කර ගත් ඉන්දියානු ලලනාවන් පිළිබඳව මතකය යළි අවදි කරන්න.
දිගු විරාමයකට පසුව ඉන්දියානු තරුණියක් ලෝකයේ ප්රධාන පෙළේ රූ රැජිණ කිරුළ දිනාගත් පළමු අවස්ථාව සනිටුහන් කිරීමට හර්නාස් සන්ධු 2021 වසරේ දී සමත් වුණා. ඒ ඇය ඊශ්රායලයේ පැවති මිස් යුනිවර්ස් තරගයෙන් පළමු ස්ථානය දිනා ගැනීම සමඟයි. ළාබාල වියේදී පටන්ම රූ රැජිණ තරගවලට පෙනී සිටීමට ප්රියතාවයක් දැක්වූ හර්නාස්, කලක් එංගලන්තයේද අධ්යාපනය ලබා තිබෙනවා. තවමත් ඇය තමන්ගේ උසස් අධ්යාපන කටයුතු නිමකොට නැහැ.
2017 වසරේදී මිස් වර්ල්ඩ් කිරුළ ඉන්දියාවට දිනා දීමට මානුෂි සමත් වුණා. ඇයගේ මව්පියන් දෙදෙනාම වෛද්යවරුන් වූ අතර ඔවුන් රාජ්‍ය සේවයේ කටයුතු කරන්නන් වුණා. කිරුළ දිනාගැනීමෙන් අනතුරුව විවිධ සමාජ සේවා කටයුතු සඳහා ද ඇය සිය උපරිම දායකත්වය ලබා දුන්නා. වර්තමානයේදී ඇය බොලිවුඩය තුළ නිළියක ලෙස ගමනක් ආරම්භ කොට තිබෙනවා. ඇගේ පළමු බොලිවුඩ් චිත්රපටිය වූ “ප්‍රිත්විරාජ්” කොවිඩ් තත්ත්වය නිසා තිරගත වීම ප්රමාද වුණා. මේ වන විට ඇය තවත් චිත්රපටි තුනක් සඳහා ගිවිසුම් අත්සන් කොට තිබෙන බව සඳහන් වනවා.
නිකොලේ ෆාරියා 2010 වසරේදී මිස් අර්ත් කිරුළ දිනාගත් පළමු ඉන්දීය තරුණිය බවට පත්වුණා. ඇගේ මෙම ජයග්රහණය ඉන්දියාව තුළ විශාල අගය කිරීමකට හේතු වුණා. ඉන් අනතුරුව සමාජසේවා කටයුතු සඳහා වැඩි නැඹුරුවක් දැක්වූ ඇය සිය අනුග්රාහකයා ලෙස එක්තරා ඔරලෝසු සමාගමක් තෝරා ගත්තේ ඔවුන් තම ලාභයෙන් කොටසක් ළමා සුබසාධනය සඳහා පරිත්යාග කරන නිසයි. ඉන්දියාව තුළ පරිසර සංරක්ෂණය සඳහා සක්රීය දායකත්වයක් ලබාදෙන ඇය ඒ පිළිබඳව විවිධ කටයුතු මෙහෙයවීම සඳහා මූලිකත්වය ගනු ලබනවා.
දෙදාහ වසරේ දී මිස් යුනිවර්ස් තරගය ජයග්රහණය කළ ලාරා දත්තා, ඉන් අනතුරුව බොලිවුඩ් සිනමාවේ කැපී පෙනෙන තරුවක් බවට පත්වුණා. නමුත් ඇගේ සිනමා ගමන එතරම් සාර්ථක එකක් වූයේ නැහැ. කෙසේ නමුත් අදටත් බොලිවුඩය සමඟ පවත්වාගෙන යන සම්බන්ධතාවය ඇය විසින් සම්පූර්ණයෙන්ම අතහැරගෙන නැහැ. මේ වන විට ඇය සිය විවාහ ජීවිතයට සහ ව්යවසායක කටයුතු සඳහා සිය මූලික අවධානය යොමු කර සිටිනවා
Saru Fm Media