නව නිමැවුම් ජනයාට සමීප කළ සෝනි (SONY) ගමන – Saru News Media

0
9

ලෝකය වෙනස් කළ නිෂ්පාදන ලොවට බිහිකළ නම් අපි දන්නවා. තෝමස් අල්වා එඩිසන්, ගුග්ලිඑල්මෝ මාර්කෝනි, ජෝන් ලොගී බෙයාඩ්, චාල්ස් බැබේජ් ආදී නම් ඉලෙක්ට්‍රොනික නිමැවුම් වෙනුවෙන් ලෝ පතල වෙලා තියෙනවා. ඒත් පසුකාලීනව අපේ ගෙදර තියෙන මට්ටමට ඉලෙක්ට්‍රොනික භාණ්ඩ දියුණු කරන්න විශාල ඉලෙක්ට්‍රොනික සමාගම් වලින් ලොකු දායකත්වයක් ලැබුණා. ඉතින් අපි ඒ විදිහට තවමත් ඉලෙක්ට්‍රොනික ලෝකයේ ජනප්‍රිය සෝනි ගමන්මග සහ නිෂ්පාදන ගැන දැනගමු.

 

ඉබුකු මසරු සහ මොරිටා අකියෝ කියන දෙන්නා එකතුවෙලා මුලින්ම පිහිටුවාගන්නේ සෝනි ටෙලිකොමියුනිකේශන් ඉන්ජිනේරු සමාගම කියලා එකක්. 1946 ඒක පටන් ගද්දි ජපානය ලෝක යුද්දෙන් හොඳටම බැටකාලා නට්ටන් වෙලා හිටියේ. ලෝක යුද්ධයෙන් පස්සේ ඇතිවුණ ආර්ථික අර්බුදයත් එක්ක මිනිස්සු බඩු භාණ්ඩ මිලදීගන්නවත් හොරයි. ඒත් සෝනි කියන නමින් තමුන්ගේ ව්‍යාපාර ආරම්භ කරන්නේ 1958 දී. සෝනි සමාගමේ මුල්ම නිෂ්පාදනය රයිස් කුකර් එකක්. නමුත් ඒක එච්චර හොඳ එකක් වුණේ නැහැ. ඒ වෙද්දි මිනිස්සුන්ට තිබුණ ප්‍රශ්නයක් තමයි රේඩියෝ රෙපෙයාර් කරගන්න එක. ඒ නිසා සෝනි මුල් කාලේදි මිනිස්සුන්ගේ රේඩියෝ රෙපෙයාර් කරන වැඩ සහ අලුත් භාණ්ඩ නිපදවීම කියන කාර්යයන් දෙකම එකම වහලක් යටදි කළා.

 

සෝනි සමාගමේ පොකට් රේඩියෝ තමයි මුලින්ම හොඳට අලෙවි වුණේ. ඔවුන් 1957දි නිපද වූ පොකට් රේඩියෝව බොහොම ජනප්‍රිය වුණා. 1962 දී සමාගම ඇමරිකාවේ නිව්යෝක් නගරයේ ජපාන ධජය යටතේ සිය වෙළඳාම් ආරම්භ කරනවා. 1964 දී සෝනි සමාගම එම්-ඩී 5 නැමැති ට්‍රාන්සිස්ටර් ඩෙස්ක්ටොප් සර්කියුලේටරය හදනවා. 1971දී ජපාන සෝනි සමාගම ඔවුන්ගේ ප්‍රථම රූපවාහිනිය නිපදවූවා. එවකට පැවති රූපවාහිනී වලට වඩා වර්ණ අතින් සාර්ථක මේ කලර් ටීවී එක සෝනි සමාගමේ පසුකාලීනව වැඩිම අලෙවියක් තිබූ භාණ්ඩයක් වුණා. ට්‍රාන්සිස්ටර් තාක්ෂණය සමග වඩාත් කුඩාවට තත්ත්වයෙන් ඉහළ මේ සෝනි ටීවී එක ජපන් බඩු ගැන ලෝකයේ ජනතාව අතර තිබුණ මතය වෙනස් කරන්නට සමත් වුණා.

 

සෝනි සමාගම 1975 දී වී සී ආර් තාක්ෂණයට යොමු වුණත් මුල් කාලයේදී ඔවුන්ට වීඩියෝ පට නිපදවීම සාර්ථක කරගන්න බැරිවුණා. ඒත් 1988 දී ඔවුන් වී එච් එස් තාක්ෂණය හඳුන්වා දුන්නා. දැන් නම් වී එච් එස් පට අපි අතර නැහැ. ඒත් 1990 කාලයේදී ලංකාවෙත් වී එච් එස් පට කුලියට දෙන, විකුණන තැන් ජනප්‍රියව තිබුණා. ඒ වගේම සෝනි සමාගමේ ජනප්‍රියම බඩුවක් තමයි වෝක්මන් කියන පෝටබල් රේඩියෝ එක. ඒක දැන් ජනප්‍රිය වෙලා තියෙන තැන තැන ගෙනියන සුපිරි ෆෝන් වගේ ඒ කාලේ ධනවතුන් අත තිබුණ හොඳ කෙළි බඩුවක් වුණා. වෝක්මන් එකට දැම්මේ කැසට් පීස්.

 

එවකට ලෝකයේ (1970-80) සංයුක්ත තැටි නිපදවීමේ තාක්ෂණය තිබුණේ ෆිලිප්ස් සමාගමට. ජපානයේ එම තාක්ෂණය එතරම් සාර්ථක වුණේ නැහැ. ඒ නිසා සෝනි සමාගම ෆිලිප්ස් එක්ක එකතු වෙලා දැනට තිබෙන ප්‍රමාණයේ සීඩී එක වෙළඳපොලට ඉදිරිපත් කළා. අදටත් තිබෙන ඩීවීඩී, සීඩී ආදිය නිපදවන්නේ ඒ තාක්ෂණයේම දිගුවක් විදිහට තමයි. ඒ එක්ක සීඩී එකක් දාන්න පුළුවන් වෝක්මන් කරළියට ආවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here