න්‍යෂ්ටික ප්‍රහාරයකට මුහුණ දීලා පණ බේරා ගන්න නම්, මේ ටිප්ස් සිහියේ තියාගන්න!

0
29

මේ දවස් වල රුසියානු-යුක්‍රේන යුද්ධය දරුණුවටම ඇවිලීගෙන යනවනේ. දැන් ඒකට අනික් රටවල් සෘජුවම යුද්ධමය වශයෙන් මැදිහත් වෙන්නේ නැති වුණාට, සෑහෙන්න රටවල් රුසියාව එක්ක ගේම ඉල්ලලා, එක එක විදියේ සම්බාධක, තහනම් කිරිලි අරවා මෙව්වා වගේ ප්‍රතිචාර දක්වනවා. ඒ අතරේ සමහරු කියන කතන්දරයක් තමයි, රුසියාව ඔය විදියේ වක්‍රාකාරයෙන් කරන ගේම ඉල්ලීම් ඉවසගෙන ඉන්න එකක් නෑ, අනික් පැත්තට ගේම ඉල්ලන රටවල් වලටත් මොකක් හරි ටොපියක් සෙට් කරයි කියන එක. ඒ අතරේ තවත් අය කියනවා, ඇත්තටම මේ රුසියානු-යුක්‍රේන යුද්ධය කියන්නේ තවත් ආක්‍රමණයක්ම නෙවෙයි, ඊට වඩා තුන්වෙනි ලෝක යුද්ධය ඇවිලෙන්න ඉඩ හදපු පළවෙනි ගිණි පුපුර කියලා. එතනදී ඒ තර්කය විශ්වාස කරන ගොඩක් අය බය වෙන්නේ, වද වෙන්නේ, පළවෙනි සහ දෙවෙනි ලෝක යුද්ධ වලින් ඔය තරම් විනාසයක් ලෝකෙට වුණා නම්, තුන්වෙනි ලෝක යුද්ධෙකදී කොයි වගේ සංහාරයක් වෙයිද කියන එක ගැන තමයි. ඇයි එහෙම හිතන්නේ?

දෙවෙනි ලෝක යුද්ධෙදී හිරෝෂිමා සහ නාගසාකි වලට න්‍යෂ්ටික බෝම්බ දාලා යුද්ධේ ඉවර වුණා. හැබැයි හිරෝෂිමා නාගසාකි වලට දාපු න්‍යෂ්ටික බෝම්බ සෙල්ලම් බඩු ගාණට දාන්න පුලුවන් තරම් ප්‍රබල න්‍යෂ්ටික ආයුධ දැන් ලෝකේ විවිධ රටවල තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, මිනිස්සු 70,000 ක් එක් ක්ෂණයකින් දූවිලි කරලා දාපු හිරෝෂිමා බෝම්බේ වගේ තිස්-හතළිස් ගුණයක් ප්‍රබල න්‍යෂ්ටික ආයුධ දැන් ලෝකේ තියෙනවා. ඒ වගේම, සමස්ත ලෝකෙම ගත්තහම න්‍යෂ්ටික ආයුධ නමදාහකට වැඩි ප්‍රමාණයක් විවිධ රටවල් සන්තකයේ තියෙනවලු. ඒකෙන් න්‍යෂ්ටික ආයුධ 3,700 කට අධික ප්‍රමාණයක් ඇමරිකාව සතුව තියෙනකොට, 4,400 කට අධික ප්‍රමාණයක් රුසියාව සතුව තියෙනවලු. එතකොට හිතාගන්න පුලුවන් නේ, තුන්වෙනි ලෝක යුද්ධයක් ඇවිලිලා, එක රටක් හරි න්‍යෂ්ටික ආයුධයක් පාවිච්චි කරන්න තීරණය කරලා, ඊට පස්සේ ඇවිලෙන න්‍යෂ්ටික යුද්ධය කොයි තරම් ප්‍රබල එකක් වෙයිද කියලා. සම්පූර්ණ ලෝකයම විනාශ වෙලා යන්න තමයි වැඩි ඉඩක් තියෙන්නේ!

හරි, දැන් වෙනවට නෙවෙයි, හැබැයි අපි නිකමට හිතමු මොකක් හරි රටක් නියුක් වලින් ගහගන්න පටන් අරගෙන, මෙහේටත් ඔය නියුක් එකක් වැටුණා කියලා. එතකොට කොහොමද හැබෑට පණ බේරගන්නේ? න්‍යෂ්ටික ප්‍රහාරයකට අහුවෙලා පණ බේරගන්න පුලුවන්ද? අමාරුයි, හැබැයි න්‍යෂ්ටික ප්‍රහාරයට ලක්වෙන කේන්ද්‍රයේ නෙවෙයි නම් ඉන්නේ, පණ බේරගන්න බැහැයිමයි කියලා එකකුත් නෑ. ආන්න ඒ නිසා, දැන්ම තියාම අපි පොඩ්ඩක් දැනුවත් වෙලා ඉමු, න්‍යෂ්ටික ප්‍රහාරයකදී ජීවිතේ ගලවාගන්නේ කොහොමද කියන එක ගැන!

අපි සාමාන්‍යයෙන් හිතන්නේ, න්‍යෂ්ටික බෝම්බයක් පිපිරෙන කේන්ද්‍රයේ අපි හිටියොත් බඩුම තමයි කියලනේ. ඇත්තටම සෑහෙන්න බඩුම තමයි. බෝම්බය පතිත වෙන කේන්ද්‍රයේ ඉඳන් යම් කිසි දුරකින් තියෙන හැමදෙයක්ම වාෂ්පීකරණය වෙලා යනවා කියන එක තමයි අපි සාමාන්‍යයෙන් හිතන්නේ. හැබැයි බ්ලාස්ට් රේඩියස් එක ඇතුළේ ඉඳලා වුණත් බේරෙන්න අවස්ථාව තියෙනවා කියලා ප්‍රායෝගික උදාහරණ වලින් අපිට දකින්න පුලුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, හිරෝෂිමා බෝම්බය පතිත වුණු තැන ඉඳලා මීටර් 1,000 ඇතුළත ඉන්න අය වුණත් සම්පූර්ණයෙන්ම මිය යන්න තියෙන්නේ 93% ක ප්‍රතිශතයක්. ඒ කියන්නේ බ්ලාස්ට් රේඩියස් එක ඇතුළේ ඉඳලත් බේරුණු අය ඉන්නවා. හැබැයි හිරෝෂිමා වල මෙහෙම බේරුණු අය ඉන්නේ එක්කෝ ගොඩනැඟිල්ලක බේස්මන්ට් එකේ ඉඳලා, එහෙම නැතිනම් බොහොම ඝන ගොඩනැගිල්ලක ඉඳලා. එක මනුස්සයෙක් හිරෝෂිමා බෝම්බයේ බ්ලාස්ට් රේඩියස් එක ඇතුළේ ඉඳලා බේරුණාලු, එයාගෙ මන්දිරේ, ඝන පොත් රාක්ක මැද හිටපු නිසා. හැබැයි ඉතින් බොහොම අඩු චාන්ස් එකක් තමයි බේරෙන්න තියෙන්නේ.

න්‍යෂ්ටික ප්‍රහාරයකින් බේරෙන්න තියෙන චාන්ස් එක වැඩි කරගන්න නම්, අර සුනාමි එනකොට බලන්න ගියා වගේ, එළියට වෙලා මොකක්ද වෙන්නේ කියලා බලාගෙන ඉන්න යන්න හොඳ නෑ. හැකි ඉක්මනට ඇතුළට යන්න ඕන. නිකම්ම බිල්ඩින් එක ඇතුළට ගිහින් හිටියට බේරෙන්නත් බෑ. බේස්මන්ට් එකකට යන්න පුලුවන් නම් හොඳයි. ලංකාවේ ගෙවල් වල බේස්මන්ට් නැති වුණාට, ඔය කොළඹ එහෙම තියෙන බිල්ඩින් ඇතුළේ නම් ගොඩක් දුරට බේස්මන්ට් තියෙනවා. එහෙම බේස්මන්ට් නැතිනම්, ගොඩනැගිල්ලේ හැකිතාක් ඇතුළේම තියෙන ශක්තිමත්වම ආවරණය වෙලා තියෙන තැනට යන්න පුලුවන් නම් හොඳයි. හැබැයි දොරවල් ගාව, ජනෙල් ගාව නම් ඉන්න හොඳ නෑ. එතකොට, ඔය භූමිකම්පාවකදී වගේ මේස යටට, ඇඳන් යටට රිංගලා ඉඳලා හරියන්නෙත් නෑ. මෙතනදී හොඳම ආරක්ෂිත ගොඩනැගිලි වෙන්නේ බොහොම ඝනකමට හදලා තියෙන ශක්තිමත් සිමෙන්ති ගොඩනැගිලි.

සාමාන්‍යයෙන් ඔය යුද්ධයක් එහෙම තියෙනකොට, බෝම්බ එහෙම පතිත වෙන අවදානම අඟවන්න සයිරන් නලා තියෙනවා. එහෙම සයිරන් නලාවක් හැඬවෙන ශබ්දය ඇහෙනවා කියන්නෙම ලොකු අවදානමක් අත ලඟ කියන එක. එතකොට අපි කියමු, ලංකාවටත් එහෙම න්‍යෂ්ටික හෝ වෙනයම් බෝම්බ පතිත වීමේ අවදානමක් තියෙනවා, ඒ නිසා පොදු ස්ථාන වලත් සයිරන් හයිකරලා තියෙනවා කියලා. එතකොට සයිරන් වදින්න ගන්නකොටම අපි උඩ කියලා තියෙන විදියට, උපරිම ආරක්ෂිතයි කියලා හිතන්න පුලුවන් ඇතුළකට යන එක සහ හැකිතාක් ඒ අපි යන බිල්ඩින් එක ඇතුළේ සුරක්ෂිතව ඉන්න උත්සාහ කරන එක තමයි කළ යුතු පළවෙනි දේ. එහෙම නැතුව සයිරන් සද්දේ ඇහෙනකොට දඩිබිඩි ගාලා කාර් එකට නැගලා බෝම්බය පතිත වෙන්න පුලුවන් තැනින් හැකිතාක් ඈතට ගිහින් ජීවිතේ බේරගන්න බෑ. මොකද, බෝම්බයක් කියන්නේ එහෙම පැයක් දෙකක් අරගෙන හෙමිහිට එන එකක් නෙවෙයි. සම්පූර්ණයෙන්ම පාර ක්ලියර් තිබ්බත්, අපි උපරිම වේගයෙන් ගියත්, අපිට න්‍යෂ්ටික බෝම්බයක බ්ලාස්ට් රේඩියස් එක පහුකරලා හරි වෙලාවට ඈතට යාගන්න තියෙන හැකියාව අතිශයින්ම අඩුයි.

න්‍යෂ්ටික බෝම්බයක් පිපිරුණහම තියෙන අවදානම තියෙන්නේ ඒ බෝම්බය පිපිරෙන වෙලාවේ ඇතිවෙන ශක්තිය නිසා විතරක් නෙවෙයි, ඒ බෝම්බය පිපිරුණාට පස්සේ එන ෂොක්වේව් එක, ඒ පිපිරීමේ දීප්තිය වගේ හැමදෙයක්ම භයානකයි. හැබැයි ඒ ඇරෙන්න, විශේෂයෙන්ම න්‍යෂ්ටික බෝම්බයක් පිපිරුණාට පස්සේ ඇතිවෙන විකිරණශීලී වාතාවරණයත්, ඒ වගේම සුන්බුන් ආයෙමත් පොළවට පතිත වීමත් භයානකයි. නියුක්ලියර් ෆෝල්අවුට් කියලා කියන්නේ. ආන්න ඒ නිසා, බෝම්බය පිපිරිලා, ඊට පස්සේත් අපි කිසිම හානියක් නැතුව ඉන්නවා නම්, වහාම එළියට යන්න ඇතිවෙන පෙළඹවීම මැඩපවත්වාගන්න ඕන. ඒ නිසා, අඩුම ගාණේ පැය විසිහතරක් යනකල් වත්, ඉන්න තැනම, එළියට යන්නෙ නැතුව ඉන්න එක තමයි කළ යුතු දේ. හරි නම් පැය 72 ක් වත් ඇතුළටම වෙලා ඉන්න ඕන කියලා තමයි සමහර විශේෂඥයෝ කියන්නෙ හැබැයි.

න්‍යෂ්ටික පිපිරීමකට පස්සේ බේරුණත්, ඊට පස්සෙ ඇතිවෙන විකිරණශීලී වාතාවරණය බොහොම අවදානම්. මතක තියාගන්න, විකිරණශීලී විෂවීම කියන්නේ මැරෙන්න තියෙන බොහොම නරකම විදියක්. අන්න ඒ නිසා, විකිරණ වලට පොඩ්ඩක් හරි නිරාවරණය වෙන එක හැකිතාක් අවම කරගන්න අවශ්‍යයි. න්‍යෂ්ටික පිපිරීමකින් පස්සේ යම් වෙලාවකින් එළියට ගියත්, හැකිතාක් දුරට විකිරණශීලී සුන්බුන් අල්ලන්නෙ නැතුව ඉන්න උත්සාහ කරන්න ඕන. එතකොට ඇස්, නාසය, කට අල්ලන්නේ නැතුව ඉන්න උත්සාහ කරන්න ඕන. සාමාන්‍යයෙන් විකිරණ විෂ වීමකට එහෙම දොස්තරවරයෙක් දෙන්නේ පොටෑසියම් අයඩයිඩ් වගේ දෙයක්. හැබැයි න්‍යෂ්ටික ප්‍රහාරයකට පස්සේ ඕවා හොයන්න තියෙයිද කියන්න බැහැනේ. පිපිරුමෙන් බේරුණත්, තමන් විකිරණ වලට නිරාවරණය වෙලා කියලා හිතෙනවා නම්, සම්පූර්ණ ඇඟම තෙමෙන විදියට නාන එකත් හොඳ දෙයක්.

අනිවාර්යයෙන්ම පැකට් කරලා, සීල් කරලා තිබුණු දේවල්, බෝතල් කරපු වතුර එහෙම මිසක් නිරාවරණය වුණු කිසිම දෙයක් කන්න බොන්න හොඳ නෑ. ඒ නිසා හොඳම දේ වෙන්නේ පැකට් කරලා තියෙන කෑම බීම, බෝතල් වතුර එහෙම අවශ්‍ය ප්‍රමාණයට ස්ටොක් කරගන්න එක. මේ විකිරණශීලී වටපිටාවෙන් මිදිලා ඈතකට ගියාට පස්සෙ තමයි ඉතින් වවාගෙන කන දෙයක් ගැනවත් හිතන්න වෙන්නේ. ඒ වගේම අමතක කරන්න එපා, එළියේ හැමදෙයක්ම විකිරණශීලී දුහුවිලි වලින් වැහිලා තියෙන්නේ. අන්න ඒ නිසා ඔය ප්‍රථමාධාර සහ වෙනත් අවශ්‍ය දේවල් වුණත්, නිකම්ම නිරාවරණය වෙලා තියෙන දේවල් භාවිතා කරන්න එපා කියලා තමයි කියන්නේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here