නැතුවම බැරි බැටරි සහ එයින් සිදුවන පරිසර හානිය – Saru News Media

0
15

බැටරි කියන්නේ ජීවිතයේ හැමෝටම වැදගත් දෙයක්. අද කාලේ නම් අපි පාවිච්චි කරන ලැප්ටොප්, ස්මාට්ෆෝන්, වල වගේම දැන් කාර් වලත් බැටරි එනවා. සෝලාර් පද්ධති වලට, විදුලියෙන් දුවන කාර් වලට විශාල පරිමාණයේ බැටරි පද්ධති පාවිච්චි වෙනවා. මේ බැටරි දැන් ඉස්සරට වැඩිය තාක්ෂණිකව දියුණුයි. ඒවා වැඩි කාලයක් පාවිච්චි කරන්න පුලුවන් වගේම අනතුරුදායක බවිනුත් සාපේක්ෂව අඩුයි. ඒත් මේ බැටරි පාවිච්චිය කියන්නේ පරිසරයට හානිවෙන වැඩක්. අපි ඒ ගැන ටිකක් බලමු.

 

2016 මැයි මාසෙදි ටිබෙට් රටේ යැක් ගවයෝ වගේම ටැගොන් පළාතේ ගංගාවේ මාළුන් මැරෙන්න ගත්තා. ගංගාවට විෂ ද්‍රව්‍ය එකතු වීම තමයි මේකට හේතුව විදිහට දැක්කේ. ඒ ගැන මිනිස්සු පාරට බැහැලා උද්ඝෝෂණ කරන්නත් ගත්තා. පස්සේ බැලින්නම් මේක ලිතියම් කැණීම් කරන තැනක ඇති වූ කාන්දුවක් නිසා සිදුවූවක්. පහුගිය කාලේ ලිතියම් බැටරි වල භාවිතාව වැඩි වීමත් එක්ක මේ ලිතියම් කැණීම් එම පළාතේ වැඩි වුණා. ඒ එක්ක ඉල්ලුමට සැපයුම දෙන්න කැණීම් කරන පතල් ගාණත් වැඩි වුණා. ඒ අනුව බැටරි හදන්න ගන්න අමුද්‍රව්‍ය ලබාගන්න කරන කැණීම් වලිනුත් සුවිසල් පාරිසරික හානියක් ලෝකෙට වෙනවා. ලිතියම් කියන්නේ කැණීම් කරලා එකපාර නිස්සාරණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, වතුරේ තියලා කාලයක් ගත කරලා තමයි ලිතියම් නිස්සාරණය කරගන්න වෙන්නේ. ඒකත් එක්ක ඒ අපජලය මගින් මිනිසුන්ට, සතුන්ට, පරිසරයට හානි වෙන්න ඉඩ තියෙනවා.

 

සූර්ය බලශක්තිය ගබඩා කිරීමට මේ බැටරි වර්ග යොදාගන්නවා. ටෙස්ලා ​ආදී මුලුමනින්ම බැටරි බලයෙන් දුවන කාර් එහෙමත් දැන් තියෙනවා. අපේ රටෙත් නිසාන් ලීෆ් මොඩල් එක එහෙම ඒ විදිහට ජනප්‍රිය වුණා. එතනදි විදුලිය යොදාගන්න නිසා පොසිල ඉන්ධන භාවිතය අඩු වෙලා, දුම අඩුවෙලා, වායුගෝලයට එමගින් හොඳ බලපෑමක් එනවා කියලා කියනවා. ඒත් ඇත්තටම ඔය විශාල කාර් වල බැටරි වලට අවශ්‍ය මූලද්‍රව්‍ය සොයාගන්න කරන කැණීම් අනෙක් පැත්තෙන් පරිසරයට විශාල හානියක් කරනවා. ටෙස්ලා කාර් එකේ එස් මාදිලියේ බැටරියට ලිතියම් පමණක් කිලෝග්‍රෑම් 12ක් උවමනා වෙනවා. ඒ අනුව වැඩි වැඩියෙන් සූර්ය පද්ධති, වැඩි වැඩියෙන් විදුලි කාර් නිමවෙන විට ඒ සඳහා අවශ්‍ය බැටරි නිපදවන්න විශාල වශයෙන් මේ ලිතියම් වැනි ලෝහ වර්ග කණින්න පටන් අරගෙන තියෙනවා. ලිතියම් විතරක්ම නෙමෙයි, මේ බැටරි වලට අවශ්‍ය නිකල් සහ කොබෝල්ට් සපයා ගන්න වෙන්නෙත් අපේ පෘථිවි ගෝලයේ කොහේ හෝ කරන කැණීම් වලින්ම තමයි.

 

අපේ රටේ බොහෝවිට කුණු වලට සිද්ද වෙන්නේ කොහේ හරි ඉඩමකට ගොඩ ගැහෙන්න. ඒ විදිහට ගොඩ ගැහෙද්දි තවමත් මේ පොලිතින්ය, මේ බැටරිය, මේ ඕගනික්ය කියලා වෙන් වෙන්නේ ඉතා කලාතුරකින්. ඒ වෙන් වුණත් ඕගනික් නොවන කැටගරි එකට බොහෝවිට මේ බැටරිත් ඇතුළත් වෙනවා. මේ ලිතියම් අයන්, කොබෝල්ට් සහ පැරණි අලුත් ඔක්කොම බැටරි ජාති අවසානයේ නවතින්නේ එකම කුණු ගොඩක. මේ කුණු ගොඩ අස්සේ තියෙන බැටරි වල තියෙන අහිතකර ලෝහ හෙමිහිට ඒ කුණු ගොඩ දිගේ වරුසාවට සහ භූගත ජලයේ බලපෑමට අවට තියෙන ජල පද්ධති වලට එකතු වෙනවා. ඒවා ජල මූලාශ්‍ර හරහා පරිසරයට එකතු වෙලා, ජල ගෝලයට, පසට සහ වාතයට එකතු වෙලා මිනිසුන්ට පීඩාවන් ගෙන දෙනවා.

 

ඊයම්, කොබෝල්ට් වැනි බැටරි වල අන්තර්ගත රසායනික බොහොමයක් අපේ සිරුරට හානි කරනවා. පසුගිය කාලේ රජරට වකුගඩු රෝගයටත් ඒ පළාතේ ඇති ආසනික් හේතු වෙන බවට මතයන් පළ වුණා. ඒ විදිහට මේ බැටරි වල තිබෙන අහිතකර ලෝහ වර්ග ජලය හරහා අපේ වගාවන් වලටත් එකතු වෙන්නට පුළුවන්. කඳුකර පළාත් හරහා ගලා එන ජල මූලාශ්‍ර පාවිච්චි කරන අපේ වගේ රටවලටත් මේ බලපෑම් දැඩිව තියෙනවා. මූලික වශයෙන් ජලයට අමතරව මාළු ගොවිපල, සතුන් හරහා වගේම අපි ආහාරයට ගන්නා බත් හරහාත් මේ අහිතකර මූලද්‍රව්‍ය අපේ බඩට යන්න පුළුවන්කම තියෙනවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here