නිර්භීත හිතක් ඇති කරගන්න වැදගත් වෙන උපදෙස් කීපයක්! – Saru News Media

0
7

දැන් ඔය නිර්භීතයි කියන එක සෑහෙන්න මතභේදාත්මක දෙයක්නේ. ඒ කියන්නේ, නිර්භීතයි කියන්නේ මොකක්ද කියන එක ගැන පවා විවිධ මතිමතාන්තර තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, වේගෙන් එන වාහනයක්, කෝච්චියක් වගේ දෙයක් ඉස්සරහට ගිහින් හිටගෙන ඉඳලා, අන්තිම තත්පරේ පැත්තකට පනිනවා වගේ, එහෙම නැතිනම් සෑහෙන්න ප්‍රපාතයක් තියෙන තැනක, වැටෙන්න ඔන්න මෙන්න තියෙන ගැට්ටේ හිටගෙන ඉන්න එක වගේ අති අවදානම්කාරී ක්‍රියාවන් නිර්භීත කමද? සමහරු කියන්නේ එව්වා මෝඩකම් මිසක් නිර්භීතකම් නෙවෙයි කියලා. එතකොට, තමන්ට කොහොමටවත් දිනන්න බැහැ කියලා හිතෙන ගැටුමකට මැදිවෙන්නේ නැතුව පැනලා දුවන එක, එහෙම නැතිනම් අනික් පැත්තේ ප්‍රතිවාදීන් වැඩි නිසා තමන්ට නැව්ගුටි කන්න වෙන අවස්ථාවක කතාබහ කරලා ප්‍රශ්නය විසඳාගන්න උත්සාහ කරන එක බයගුළුකමද නැතිනම් ඥාණවන්ත කමද වගේ ප්‍රශ්න වලට ඕන නම් දවසක් පුරා වාදවිවාද කරන්න පුලුවන්. ඒ නිසා අපි ඒ ගැන පස්සේ දවසක කතා කරනවා.

අපි අද ආටිකල් එක වෙනුවෙන්, නිර්භීතකම කියන්නේ, අවදානමක්, බියවිය යුතු අවස්ථාවක්, දුෂ්කර අවස්ථාවක් සඳහා මුහුණ දෙන්න පුලුවන් ධෛර්යය, මානසික සහ ආධ්‍යාත්මික ශක්තිය කියලා නිර්වචනය කරමු. ගොඩක් වෙලාවට නිර්භීතකම කියන එක අවශ්‍ය වෙන්නේ හරි දේ වෙනුවෙන්, එහෙම නැතිනම් තවත් කෙනෙකු වෙනුවෙන්, සමහර වෙලාවට තමන්ම වෙනුවෙන්. දැන් එතකොට, කොහොමද නිර්භීත වෙන්නේ? ආන්න ඒ නිර්භීත මනුස්සයෙක් වෙන්නේ කොහොමද, නිර්භීත හිතක් ඇති කරගන්නේ කොහොමද කියන කාරණා සම්බන්ධයෙන් තමයි මේ ටිප්ස් කීපය වෙන් වෙන්නේ!

How to be brave

ඇත්තටම අපි බය වෙන දේවල් ඕනෑ තරම් තියෙනවා. කෙනෙක් පත්තෑයෙක්ට බය වෙන එකේ ඉඳලා, දෙතුන් දෙනෙක් එක්ක වලියක් දාගන්න එක දක්වා දේවල් වලට බය වෙන්න පුලුවන්. තවත් කෙනෙක් වලියක් දාගෙන ගුටි කන්න වෙන එකේ ඉඳලා, ජීවිතේ අසාර්ථක වීම දක්වා දේවල් වලට බය වෙන්න පුලුවන්. දැන් මේ මොන දේකට බය වුණත්, අපි ඒ දේවල් වලට බයයි කියලා අවබෝධ කරගන්න එක, පිළිගන්න එක තමයි පළවෙනි පියවර. සාමාන්‍යයෙන් ඕනම මනුස්සයෙක්ගෙන් ඇහුවොත් බයද කියලා, ඒ කෙනා කියන්නේ තමන් කිසිදේකට බය නැහැයි කියලා තමයි ගොඩක් දුරට. ආන්න ඒක තමයි ප්‍රශ්නේ. තමන් බය නැහැ කියලා හිත රවට්ටගෙන ඉන්න ගියොත්, ඇත්තටම ඒ මොහොතට මුහුණ දෙනකොට කරකියා ගන්න දෙයක් නැති වෙනවා. අන්න ඒ නිසා, තමන් බයයි කියන එකත්, තමන් බය වෙන දේවල් මොනවද කියන එකත් තේරුම් ගන්න එක තමයි, නිර්භීත වෙන්න පළමුවෙනි පියවර වෙන්නේ.

How to be brave

සාමාන්‍යයෙන් ගත්තහම, නිර්භීත වෙන එකේ ප්‍රතිලෝමය වෙන්නේ බය වෙන එකනේ. බය වෙන එක කියන්නේ ඇත්තටම සෘණාත්මක සිතුවිල්ලක්නේ. ඇත්තටම අපිට ඔය සෘණාත්මක සිතුවිලි එක්ක කරන්න පුලුවන් දේවල් දෙකක් තියෙනවා. එක්කෝ අපිට සෘණාත්මක සිතුවිලි වලට යටත් වෙන්න පුලුවන්. එහෙම නැතිනම් සෘණාත්මක සිතුවිලි වලට චැලේන්ජ් කරන්න පුලුවන්. මේක සිද්ධ වෙන්නේ ගොඩක් වෙලාවට, අපි දේවල් කරන්න, දේකට මුහුණ දෙන්න බය වෙනකොට. උදාහරණයක් විදියට අපි කියමු, වැදගත් ඉන්ටර්වීව් එකකට මුහුණ දෙන්න තියෙනවා කියලා. අපිට ඒකට මුහුණ දෙන්න බයයි. අන්න එතකොට, තමන්ගේම ඒ බියට හිතෙන් අභියෝග කරන්න. බය වෙන්නේ ඇයි කියලා තමන්ගෙන්ම අහන්න. බය වෙන්න ඇත්තටම දෙයක් තියෙනවද කියලත් තමන්ගෙන්ම අහන්න. ඒ විදියට තමන්ගේ බියට තමන් විසින්ම අභියෝග කරන එක, ඒ වගේ අවස්ථා වලදී නිර්භීත වෙන්න පුලුවන් ක්‍රමයක්.

How to be brave

දැන් අපි කියමු, අපිට ලොකු බයක් තියෙනවා කියලා යම් කිසි ගැටුමක් ඈති වෙලා, අපිට ශාරීරික හානි සිද්ධ වේවි කියලා. එතකොට අපි ඒ බය හිතලා නැති කරගත්තා කියලා, ප්‍රායෝගිකව ඒ තරම් වැඩක් වෙන්නෙ නෑ. අපිට ගැටුමකදී ආත්මාරක්ෂාව උදෙසා සටන් කරන්නේ කොහොමද කියලා මෙලෝ අදහසක් නැති නම්, ගුටි කන්න වෙනවා තමයි. හැබැයි අපි ආත්මාරක්ෂක සටන් කලාවක් එහෙම හදාරලා තිබුණොත් මොකද වෙන්නේ? තව උදාහරණයක් ගමු. අපිට පිරිසක් ඉදිරියේ කතා කරන්න මාරම බයක් තියෙනවා. එහෙම තියෙන අතරේදී ඔන්න අපිට පිරිසක් ඉදිරියේ කතා කරන්න අවස්ථාවක් එනවා. එතකොට ඒ බියට චැලේන්ජ් කරලා හිත හයිය කරගත්තා කියන්නේ ඒ සටනෙන් 50% ක් හරි කියන එක. හැබැයි ඉතුරු 50% සාර්ථක කරගන්න නම්, අපි පබ්ලික් ස්පීකින් ප්‍රැක්ටිස් කරන්න ඕන. ඒකට ඔය ටෝස්ට්මාස්ටර්ස් වගේ සංගමේකට එකතු වෙන්න පුලුවන්. ඕන නම් තනියම ප්‍රැක්ටිස් කරන්නත් පුලුවන්. තමන්ට තියෙන කතාවට සූදානම් වෙන්න පුලුවන්.

How to be brave

සමහර වෙලාවට අපිට දේකට මුහුණ දෙන්න නිර්භීත වෙන්න කලින්, තමන්ගේ බය හඳුනාගන්න එක, ඒ බයට තමන්ගේ හිතෙන්ම චැලේන්ජ් කරන එක වගේ දේවල් කරන්න පුලුවන් තමයි. හැබැයි ඇත්තටම ඒ බයට මුහුණ දෙන්න තමන් නිර්භීතයි කියන එක තේරුම් ගන්න පුලුවන් වෙන්නේ එතනට ගිහිල්ලම තමයි. වෙන විදියකට කියනවා නම්, පීනන්න ඉගෙන ගන්න පූල් එකට බහින්නම වෙනවා. ගොඩ ඉඳන් ඉගෙන ගන්න බැහැනේ. ආන්න ඒ නිසා, තමන් බය වෙන දේ තේරුම් අරගන්නවා වගේම, ඒකට සූදානම් වෙලා, ඊට පස්සේ තවපාරක් හිතන්නේ නැතුව ඒකට කෙලින්ම මුහුණ දෙන්න යෑමෙන් අපි ඒ ගැන තියෙන බය නැතිවෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඒක අපිට නිර්භීත වෙන්න පුලුවන් හොඳ ක්‍රමයක්.

How to be brave

අපි ඇත්තටම නිර්භීත නැහැයි, එහෙම නැතිනම් බයයි කියලා කියන්නේ යම් දේකින් අපි අසාර්ථක වෙන්න පුලුවන් කියන තැනට නේද? ඒ කියන්නේ, අපි විභාගෙට ලියන්න බය වෙන්නේ එතනදී අපි අසාර්ථක වෙයි කියලා. වලියකට යන්න බය වෙන්නේ, එතනදී අසාර්ථක වෙලා ගුටිකන්න වෙයි කියලා හිතෙන හින්දා. ජොබ් එක මාරු කරලා වෙන ජොබ් එකකට යන අවදානම ගන්න බය වෙන්නේ, ඒ ජොබ් එකෙන් අපි අසාර්ථක වෙයි කියන බය නිසා. හරියටම කියනවා නම්, අපි නිර්භීත නොවෙන්නේ ගොඩක්ම වෙලාවට අපි අසාර්ථක වෙන්න තියෙන බය හින්දා. හැබැයි අපිට පුලුවන් නම් මේ අසාර්ථකත්වය කියන දේත් අපේ ජීවිතේ කොටසක් කියන එක අවබෝධ කරගන්න, ඒ කියන්නේ අපිට සාර්ථක වෙන්න නම්, එක මොහොතකදී එක පාරක් හරි අසාර්ථක වෙන්න සිද්ධ වෙනවාය කියන එක පිළිගන්න, වැදගත් වෙන්නේ අසාර්ථකත්වයට බය වෙන එක නෙවෙයි ඒත් නැවත නැවතත් උත්සාහ කරන එක කියලා පිළිගන්න, අන්න එතකොට අපිට මේ අසාර්ථක වීමට තියෙන බය නැති කරගන්න පුලුවන්.

How to be brave

මෙන්න මේ කාරණාව ඇත්තටම උඩින් කතා කරපු කාරණාව එක්ක සම්බන්ධයි. ඒ කියන්නේ, නිර්භීත වෙන්න අදාළම වෙන ගුණාංග දෙකක් තමයි මනා සැලසුම්කරණය සහ වීර්යවන්ත බව. ඒක ඕනම දෙයක් සම්බන්ධයෙන් අපි නිර්භීත වෙන්න තියෙන අවශ්‍යතාවයට අදාළයි. ඒ කියන්නේ, ඕනම දේකට මුහුණ දෙන්න කලින්, ඒ දේට මුහුණ දෙන්නේ කොහොමද කියන එක හරි හැටි සැලසුම් කිරීම. මොකද, අපි කිසිම සැලසුමක් නැතුව දෙයක් කරනවා කියන්නෙම, ඒක අසාර්ථක වෙන්න ඉතාම වැඩි ඉඩකඩක් තියෙනවා කියන එක තමයි. දෙවෙනුව ගත්තොත්, උඩින් අපි කිව්වා අසාර්ථකත්වය කියන්නේ වෙන්න පුලුවන් දෙයක්ය කියන එක පිළිගන්නය කියලා. තෝමස් අල්වා එඩිසන් බල්බ් එක හදන්න කලින් දාස් වාරයක් විතර අසාර්ථක වුණා කියලා අපි පුංචි කාලේ ඉඳලම ඉගෙන ගෙන තියෙනවනේ. ඒක ඇත්ත හෝ බොරු හෝ, අපි අසාර්ථකත්වය කියන්නෙත් ජීවිතේ කොටසක් කියලා පිළිගන්න ගමන්ම, කොයි තරම් අසාර්ථක වුණත් ජීවිතේ තියෙනකල්ම, සාර්ථක වෙනකල්ම නැවත නැවතත් උත්සාහ කරන්න වීර්යය ඇති කරගන්න ඕන. අන්න ඒක නිර්භීත වෙන්න ඉතාම වැදගත්!

How to be brave

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here