නිර්මාණ කාර්යයෙන් මහනුවර හැඩ කල දේවේන්ද්‍ර මූලාචාරියා – Saru News Media

0
3

මහනුවර නම ඇසෙන විටම අපේ මතකයට නැගෙන්නේ දළදා මාලිගාවේ පත්තිරිප්පුව, නුවර වැව සහ මාලිගාවයි. මෙම ස්ථාන තුනේම ඉදිකිරිම් කර්යයන්හි ප්‍රධාන ශිල්පියා දකුණේ අයෙක් යැයි බොහෝ දෙනෙකු නොදන්නවා විය හැකිය. දකුණේ මාතර දෙවිනුවර සිට මහනුවර දක්වා ගොස් රජවරුන් තුන් දෙනෙකු යටතේ ගෘහනිර්මාණ කාර්යයට උර දෙන්නට දේවේන්ද්‍ර මූලාචාරි සමත් විය. ගෘහ නිර්මාණ ශිල්පියෙකු, සිත්තරෙකු, නගර සැලසුම් කරුවෙකු, ඉංජිනේරුවෙකු ආදී බහුවිධ සුරුවිරුකම් වල දක්ෂයෙකු වූ දේවේන්ද්‍ර මූලාචාරියෝ අද පෙනෙන නුවර නගරයේ සැබෑම නිමැවුම්කරුවන් අතර ඉදිරිපෙළ සිටින චරිතයකි.

 

පත්තිරිප්පුව නිර්මාණය කිරීමේදී දෙහිගම නිළමේතුමා ආදීන්ගේද දායකත්වය ගැන සඳහනක් තිබෙන මුත්, පත්තිරිප්පුවේ මූල ආකෘතිය කෙසෙල් පිති වලින් නිමවා ශ්‍රි වික්‍රම රාජසිංහ රජතුමාට පෙන්වනු ලැබූයේ දේවේන්ද්‍ර මූලාචාරි විසිනි. දේවේන්ද්‍ර මූලාචාරී විසින් පත්තිරිප්පුව මෙන්ම ඒ වටා ඇති දිය අගලද සැලසුම් කොට නිමකරන ලදී. පත්තිරිප්පුව තිබූ බිමේ පෙර කල තිබී ඇත්තේ මහනුවර රාජ මාලිගයේ මුළුතැන් ගෙය වේ. එය කඩා මැනවින් සැලසුම් කර ඉදිකරන ලද මෙම අලංකාර පත්තිරිප්පුව පසුකාලීනව ඉදිවූ නිර්මාණ රැසකටම ගුරු කොට ගෙන තිබෙන, නුවර මාලිගය දැක්වීමට අදටද සලකුණක් ලෙස යොදාගන්නා මාහැඟි නිර්මාණයකි.

 

ආචාරියා රවටා කැත්ත සෑදෙව්වා වගේ යැයි පුරාණ කියමනක් අප රට පැරැන්නෝ අතර තවමත් තිබේ. එතැනදි ආචාරියා ය හඳුන්වන්නේ කම්මල් වැඩ සහ ලෝකුරු කර්මාන්ත ශිල්පියාටය. ශිල්ප කිහිපයක කෙළ පැමිණි සහ ශිල්පීන්ට නායක වූ යන අරුතින් මූලාචාරි යන නම පටබැඳී යැයි සැලකිය හැකිය. පුරාණ සිංහල කුල ක්‍රමය අනුව ඒ ඒ කුල වලට පැවරුණු රාජකාරීන් විය. කොත්මලේ ප්‍රදේශය මූලික කරගත් දේවේන්ද්‍ර මූලාචාරියාගේ ශිල්පීන් පරපුර විසින් රාජසිංහ රජතුමාට යුද්ධ කටයුතු පිණිස යුද්ධ ආයුධ නිර්මාණය කොට දී තිබේ. කොත්මලේ සිට මාලිගයට නිතර යාම් ඊම් අපාසු බැවින් උඩුනුවර හන්දෙස්ස අරත්තන ගම දේවේන්ද්‍ර මූලාචාරි වෙත තෑගි ලැබී තිබෙන්නේ මහ රජතුමාගෙන් ලද තෑග්ගක් වශයෙනි.

 

දේවේන්ද්‍ර මූලාචාරියාගේ සත්වන, අටවන පරම්පරාව තවමත් අරත්තන ගමේ ජීවත් වේ. ඒ ගමේ දී ඔහු විසින් පාවිච්චි කරන ලද ගල් පඩි පෙළක් සහ කුරහන් ගලක් තවමත් සුරැකිව පවතී. දේවේන්ද්‍ර මූලාචාරී තුමා සහ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු එකම රූ සෝබාවෙන් යුක්ත වූ බැව් කියවේ. එසේම අවසානයේ මතට හුරු වී විනාශ වීමට මත්තෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ යනු කලාකාමී දක්ෂ නරපතියෙකි. රජුගේ හිත දිනාගෙන කලා කටයුතු සහ නිර්මාණ කාර්යයේ නිරත වූ මූලාචාරි තුමාට ඒ රජතුමාගේ හිත දිනාගැනීමම අවසානයේ නරකට සිටියේය.

 

අද නුවර මැද පවතින නුවර වැව ද දේවේන්ද්‍ර මූලාචාරිගේ නිර්මාණයකි. මධ්‍යකාලීන සිංහල කලා නමැති ග්‍රන්ථය රචනා කල ආනන්ද කුමාරස්වාමි මහතාගේ අදහසක් අනුව දේවේන්ද්‍ර මූලාචාරී යනු චිත්‍ර, මූර්ති, වාස්තු, වාරි හා කාර්මික යන අංශ පහෙන්ම සමර්ථයෙකි. එබැවින් නිර්මාණ කාර්යයන් සිදු කිරීමේදී හුදෙක් වැවක් තැනීම, ගොඩනැගිල්ලක් තැනීමෙන් එහාට ගොස් කලාත්මක ඇසකින් එය පරිසරයට දායාද කිරීමට දේවේන්ද්‍ර මූලාචාරීන් උත්සාහ කරන්නට ඇත.

 

සිංහල වෙහෙර විහාර නම් ජේ. බී. දිසානායකයන්ගේ ග්‍රන්ථයේ සඳහන් වෙන අන්දමට දෙගල්දොරුවේ බිතු සිතුවම් වල මූලිකයා දේවේන්ද්‍ර මූලාචාරියෝය. නුවර යුගයේ දෙගල්දොරුවේ චිත්‍ර සහ මුල්ගිරිගල ලෙන් විහාර චිත්‍ර අතර සමානකමක් පවතී. ඇතැම් ජනප්‍රවාද වලින් දැක්වෙන්නේ දේවේන්ද්‍ර මූලාචාරී යනු දෙවිනුවර පළාතේ සම්භවයක් ඇති අයෙකු බවය. එකල රජ සමයේ දී මහනුවර සිට පහතරට මුල්ගිරිගල දක්වා සිය කලා කෞශල්‍යය පෙන්නුම් කරන්නට දේවේන්ද්‍ර මූලාචාරී සමත් වී තිබේ.

 

වර්තමානයේ දකින්නට තිබෙන මගුල් මඩුව එදා 1815 දී උඩරට ගිවිසුම අත්සන් කල මගුල් මඩුවම දැයි යම් සැකයක් පවතින නමුත් දේවේන්ද්‍ර මූලාචාරී නාමයට මගුල් මඩුව ඉදිකිරීමේ ගෞරවයද අත්පත් වේ. ඩේවි දුටු ලංකාව ග්‍රන්ථයේ ඩේවි සඳහන් කරන අන්දමට රාජ සභාව පැවැත්වීම, අලුත් රජෙකු තෝරා පත්කරගැනීම ආදී වැදගත් කටයුතු කිහිපයක්ම මගුල් මඩුවේදී සිදුකර තිබේ. පසුකාලීනව නිදහසේ අනුස්මරණය තකා නිදහස් චතුරශ්‍රය නිර්මාණය කරන්නේද මහනුවර මගුල් මඩුවේ ආකෘතියක් අනුවය.

 

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ අවසාන සිංහල රාජධානිය, ඩොයිලිගේ ගැට වලට හසුව ඉංග්‍රීසින්ට යටත් වන්නට සිංහල නායකයින්ගේ කුමන්ත්‍රණ හේතු වූ බව නොරහසකි. එසේම රජතුමාගෙන් පැසසුම් ලැබූ නළල් පටක් පැළඳ, රාජ මාලිගාවේ සිංහ සෙයියාවෙන් රජතුමාට රූපයෙන් සමාන දේවේන්ද්‍ර මූලාචාරියා සැරිසරනු එකල නිළමේවරුන්ට නුරුස්සන්නට ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here