නුවරඑළිය කඳුකරය ආශ්‍රිතව ජනපති නිරීක්ෂණ චාරිකාවක (ඡායාරූප) | Saru News Media

0
18

නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිතව යළි පිබිඳෙන සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා බලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (16) පෙරවරුවේ නුවරඑළිය – උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ් වතු යායේ සංචාරයක නිරත වුණා.

“පිකෝ ට්‍රේල් (Peko Trail) මංපෙත හරහා ජනාධිපතිවරයා පා ගමනින් මෙම සංචාරයට එක් වීම විශේෂත්වයක්.

“පිකෝ ට්‍රේල්” යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය හරහා දිවෙන කිලෝ මීටර් 300ක පමණ කඳු නැගීමේ මාර්ගයක්.

එය ආසියාවේ හොඳම රහසිගත මාර්ගවලින් එකක් ලෙසයි සැළකෙන්නේ.

“පිකෝ ට්‍රේල්” නම් මෙම මංපෙත සුප්‍රසිද්ධ මහනුවර නගරයෙන් ආරම්භ වී දකුණු දෙසින් හැටන් සහ හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය දෙසට ගමන් කරනවා.

ඉන්පසු එය හපුතලේ සහ ඇල්ල හරහා නැගෙනහිර දෙසට ගමන් කර සුන්දර නුවරඑළිය නගරය වටා ගමන් කර අවසන් වනවා.

මෙම මාර්ගය බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ දී විශාල වතුවල සිට කර්මාන්තශාලා වෙත තේ ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කරන ලද්දක්.

“පිකෝ ට්‍රේල්” මාර්ගය ඔස්සේ කිලෝමීටර 3.2ක පමණ දුරක් පාගමනින් ඇවිද ගිය ජනාධිපතිවරයා කෝට් ලොජ් වතුයායේ සේවයේ නිරතව සිටින කම්කරු ජනතාවගේ ද තොරතුරු විමසමින් සුහද කථා බහක නිරත වුණා.

එම ජනතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහව මහත් හරසරින් පිළිගත් අතර, ජනාධිපතිවරයා ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔවුන්ට තම සුබපැතුම් එක්කර සිටියා.

බ්‍රවුන්ස් වැවිලි සමාගම යටතේ පාලනය වන කෝට් ලොජ් වතු යාය හෙක්ටයාර 264ක් වන අතර, මුළු සේවක සංඛ්‍යාව 349ක්.

එම වතු ජනතාව මුහුණ දී සිටින අධ්‍යාපන, සෞඛ්‍ය ගැටළු ඇතුළු මූලික අවශ්‍යතා පිළිබඳ සොයා බැලූ ජනාධිපතිවරයා විශේෂයෙන්ම උසස් පෙළ විභාගයෙන් පසුව පාසල් අධ්‍යාපනය අවසන් කරනු ලබන වතු කම්කරු ප්‍රජාවගේ දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කළා.

එමෙන්ම වතු ජනතාවගේ නිවාස ගැටළුව පිළිබදව ද ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයක් යොමු වුණා.

කෝට් ලොජ් වතු යායේ පිහිටා ඇති කර්මාන්ත ශාලාවේ “ලයිට් බ්‍රයිට් – Light Bright” නම් තේ වර්ගය නිෂ්පාදනය කරනු ලබන අතර, එහි ද නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිවරයා කර්මාන්තශාලාවේ සේවක පිරිස සමඟද සුහද කතාබහක නිරත වුණා.

කඳු නැගීමට පැමිණෙන සංචාරකයන්ට රසවත් නැවුම් තේ කෝප්පයක් රස විදීමට අවස්ථාව නිර්මාණය කිරීම පිළිබඳව ද එහිදී ජනාධිපතිවරයා අවධානය යොමු කළා.

අනතුරුව “පිකෝ ට්‍රේල්” හරහා මෙරට කඳුකරය ආශ්‍රිත සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ හැකියාව පිළිබඳව ද ජනාධිපතිවරයා සොයා ලැබුවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here