පළමු දරුවාගේ හිත නොරිදෙන විදිහට අලුත උපන් දෙවැනි දරුවාට සමීප කරන්නේ මෙහෙමයි – Saru News Media

0
11

ඔබත් දැනටමත් ගෙදර එහෙ මෙහෙ දුව පනින පුංචි පැටියෙක් ඉන්න, ඒ වගේම දෙවැනි දරුවෙක් වෙනුවෙන් හීන දකින ආදරණීය අම්මා කෙනෙක් නම්, දෙවැනි දරුවාව වැඩිමහල් දරුවා මොන විදිහට පිළිගනීවිද කියලා හිතමින් නිදිනැති රාත්‍රීන් පවා ගෙවනවා ඇති. පුංචි පැටවු කියන්නේ ආදරේ බෙදාගන්න වැඩිය කැමැත්තක් නැති කොටසක්නේ. අම්මාවයි තාත්තාවයි නම් කොහොමටවත් බෙදාගන්න කැමති නැහැ. ඉතින් එහෙමයි කියලා තව පැටියෙක් පවුලට ගෙනෙන හීනය අමතක කරන්න බෑනේ. ඒ නිසා ලොකු බබාව දෙවැනියා පිළිගන්න සූදානම් කරගන්න එකයි වැදගත්. ඉතින් ඒ වෙනුවෙන් ලියවුණු මේ කරුණු ඔයාට ගොඩාක් වැදගත් වේවි.

 

 

නව මාසයක් කියන්නේ ටිකක් ලොකු කාලයක්. අලුත් බබා කුසට ඇවිත් කියලා දැන ගත්තු හැටියේම පුංචි පැටියාට කියන්න එපා අලුතින් චූටි නංගියෙක් මල්ලියෙක් එන බව. එහෙම උනොත් එදා ඉඳන් උදාවෙන හැම දවසකම ‘අදද අලුත් බබා එන්නෙ?’ කියලා දරුවා ඔබෙන් අහන්න පටන් ගනීවී. අලුත් බබා ඉල්ලලා දරුවා හඬා වැටෙන්නත් පුළුවන්. කොහොමත් අම්මාගේ චූටි බණ්ඩිය ටික ටික පේන්න ගන්නකොට ලොකු බබා ප්‍රශ්න අහන්න ගන්න නිසා මුල්ම මාස දෙක තුන වගේ දරුවාගේ මනස පුළුවාන් තරම් අලුත් බබා වෙනුවෙන් සූදානම් කරන්න. අලුත් ආරංචිය දරුවාට දැන් පැවසීම සුදුසුයි කියලා සුදුසු වේලාවේදී අම්මාටම වැටහේවි. එත් වැදගත්ම දේ තමයි, ඔබ පැවසීමට පෙර නිවසට පැමිණෙන කෙනෙක් මඟින් දරුවාට මේ ගැන දැන ගැනීමට ඉඩ නොතියන්න ඕනය කියන එක.

 

ඔබ කළයුතුම වැදගත් දෙයක් තමයි මේ. පියාටත්, දරුවා රැකබලාගන්න යම් කෙනෙක් නිවසේ ඉන්නවානම් ඒ පුද්ගලයාටත් ගර්භණී සමය තුළදී හැකි තරම් දරුවාව ළං කරන්න. අලුත් බබාව ගේන්න රෝහල් ගත වෙන්න සිදු වුනාම ඔබට දින කිහිපයක් රෝහලේ ගත කරන්නට සිදුවෙන්න පුලුවන්. ඉතින් වැඩිමහල් දරුවාට ඔබ නැති අඩුව තදින්ම දැනේවි. එය යම්තාක් දුරට හෝ මඟ හැරගන්න මේ ක්‍රමය දරුවාට උදව් වේවි. දරුවා ලැබීමෙන් පසුවත් ඔබට ශාරීරිකව යථා තත්ත්වයට පත්වෙන්නත් බිළිඳා වෙනුවෙන් වැඩි වේලාවක් යොදවන්නත් සිදු වෙන නිසාත් වැඩිමහල් දරුවාගේ කටයුතු ඔබට අපහසු වෙන්න පුළුවන්. එම නිසා කල් තියාම දරුවාව නිවැසියන්ට හුරු කරන්න. බොහෝ දරුවන් පියාට බොහෝම ලෙංගතු නිසා පියා අමතර වේලාවක් රැගෙන තව තවත් දරුවා සමඟ රැඳෙන එක සුදුසුයි.

 

පළවෙනි පැටියා එන්න ළංවෙද්දි නම් පුංචි උත්සවයක් ගත්තු එක ඇත්ත. එතකොට ඉතින් පොඩි පැටියෙක් ගෙදර හිටියේ නැහැනේ. ඔන්න දෙවෙනියා පිළිගන්න කියලා පිරිසක් එක්ක එකතුවෙලා පාර්ටි දාන්න හදනවානම් ගොඩාක් කල්පනාවෙන්. ඔබේ වැඩිමහල් දරුවාට එය මොන විදිහට බලපායිද කියන්න බැහැ.

 

ඔබේ වැඩිමහල් දරුපැටියාගේ උපතේ සිට ගත්තු ආදරණීය අවස්ථාවන්ගේ ඡායාරූප ඒ ඒ අවස්ථාවන් ගැන කතා කරමින් දරුවාට පෙන්වන්න. ඔබ ගර්භණී අවධියේදී ගත් ඡායාරූප දරුවාට පෙන්වන්න. දරුවා උපන් අවස්ථාවේ නෑදෑ හිතමිතුරන් සමඟ ගත් ඡායාරූප දරුවාට පෙන්වන්න. අලුත් නංගී හෝ මල්ලී වෙනුවෙනුත් අම්මා, තාත්තා, නෑදෑයන් කටයුතු කරන්නේ මේ ආකාරයෙන් බව වටහා ගැනීමට ඔහුට එය සහය වේවි. ඔබත් ඒ බව දරුවාට දැනෙන සොඳුරු බසකින් පවසන්න.

 

දරුවාට සෙල්ලම් කිරීමට මල්ලි බබෙක්, නංගි බබෙක් ගෙනෙන බව පවසන්න එපා. එයින් දරුවාගේ මනස සැකසෙන්නේ දුවන පනින, සෙල්ලම් කරන ඔහු වැනිම කුඩා යහළුවෙක් නිවසට රැගෙන එන බවටයි. එත් යාන්තම් ඇස් ඇරගත් බිළිඳා දැකීමෙන් ඔහුගේ බලාපොරොත්තු සුන් වේවි.

 

ඔබේ දරුවාව හොඳින්ම හඳුනන්නේ ඔබයි. ඔහුගේ පුරුදු හා අවශ්‍යතා හොඳින්ම හඳුනන්නේ ඔබ නිසා ඔබ රෝහල් ගතවීමට ප්‍රථම ඒ සියල්ල රැකබලාගන්නා කෙනා වෙත ලියා හෝ දෙන්න. (දරුවා නින්දට පෙර කිරි වීදුරුවක් බොනවා නම්, දරුවා වඩාත් ආසා කරන සෙල්ලම් බඩු තියෙනවානම්) ඇත්තටම අපි දන්නේ නැහැ දරු ප්‍රසූතියේදී අපට මොනවගේ තත්ත්වයන්ට මුහුණ දෙන්න වේවිද කියලා. බැරිවෙලාවත් හදිසි අවස්ථාවක් එළැඹී සති ගණන් රෝහල් ගත වෙන්න සිදු වුනොත් දරුවාගේ කටයුතු සුපුරුදු පරිදි සිදුවීම ඉතාම වැදගත්.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here